ඝාතන සදහා යොදා ගත් වාහනයක් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් මතුවෙයි...



මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධාකාර දූෂණ අක්‍රමිකතාවලට යොදාගත් බව කියන වාහනයක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ගාල්කර තබා ඇති අයුරු සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා පා.ම ආනන්ද අලුත්ගමගේ මහත්වරුන් විසින් අද මාධ්‍යවේදීන් කණ්ඩායමක් සමග ගොස් මාධ්‍ය ඉදිරියේ හෙළිදරව් කළේය.


එහිදී නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා කියා සිටියේ මෙම වාහනය පසුගිය රජය සමයේ ක්‍රීඩා අමාත්‍යංශය සතු වාහනයක් බවත්, එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා බවත්ය.

එම අවස්ථාවේදීම ඔහු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් ජී.ඊ 2034 අංක තහඩුව සහිත එම වාහනය ලියාපදිංචි කර ඇතිදැයි විමසූවිට අදාළ නිලධාරියා එවැනි අංකයක් සහිත වාහනයක් ලියාපදිංචි කර නැති බව කියා සිටියේය.

සාමාන්‍ය පුද්ගලයෙකු ලියාපදිංචි නොකළ වාහනයකින් ගමන් කළහොත් ඔහුට අත්වන ඉරණම ගැන එහිදී අදහස් පළකළ ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මෙම වාහනය මනුෂ්‍ය ඝාතන, පහරදීම් ඇතුළු දූෂණ වංචා රැසකට සම්බන්ධ බවත්, ඊට අදාළව නාවලපිටිය හා කුරුඳුවත්ත පොලිසිවල පැමිණිලි ඇති බවත්, මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

ඔහු පැවසුවේ ‍ඉහත කී චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩු ඇති බවත්, මෙම අංකය සහිත වාහනය ද උසාවිය විසින් පොලිසියට සොයන ලෙස දැනුම්දි ඇති බවත්ය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ද දූෂණ වංචා චෝදනා රැසක් එල්ල වී තිබියදී එවැනි පුද්ගලයෙකු කෝප් කමිටුවට පත්කර ‍ඇතැයිද හිටපු අමාත්‍යවරයාගේ ඥාති සහෝදරයෙකු ද වන ආනන්ද අලුත්ගමගේ මහතා එහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

කෙසේ වුවද දැන් එම වාහනය මෙතැන ඇති බවත්, වගකිව යුතු නිලධාරීන් මේ ගැන සොයාබැලිය යුතු බවත්, නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා අවධාරණය කළේය.

ඔහු කියා සිටියේ ඇමතිවරු කෝටි දෙකේ, තුනේ වාහන මිලදී ගැනීමට කතා කරන අවස්ථාවක මෙවැනි වාහන එකතැන දිරාපත් වීමට නොදී ප්‍රයෝජනයට ගත යුතු බවයි.

මෙම වාහනය පසුගිය මැයි 13 වැනිදා සර්විස් කර ඇති බවත්, අවසන් වරට එය මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයට පැමිණ ඇත්තේ 2016.05.14 වැනිදා බවත්, එය කිලෝමීටර් තුන්ලක්ෂ ගණනක් ධාවනය කර ඇති බවත්, මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පොලිස් මුරපොළ නිලධාරීන් වෙත මාධ්‍යවේදින් කැටුව යමින් නියෝජ්‍ය ඇමතිවරයා තහවුරු කරගත්තේය.

ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සුසංයෝගය රටට වැඩදායක මෙහෙවරක් කරන බවත්, පැවසූ ඒ මහතා අගමැතිවරයා විදෙස් ගමනක් ගියද ඔහුගේ බිරිඳ රැගෙන යනු ලබන්නේ තමන්ගේ මුදලින් ටිකට් පතක් මිලදී ගෙන බවය.

එසේම රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වුවහොත් "අපේ මැතිවරු ඇමතිවරු පර්මිට් එකයි කපයිද දන්නැ
අපිට ඉන්දියන් වාහන තමයි ගන්න වෙන්නේ" කියු බවත්, රංජන් රාමනායක මහතා එහිදී පැවසීය.

අගමැතිවරයා රටේ ජනතාව ගැන හිතන ජනතාවට ආදරය කරන අයෙකු බවත්, ඔහු සැමවිටම අනවශ්‍ය වියදම් කප්පාදු කරමින් සිටින බවත්, බඩේ පටි තද කර ගන්න කියන්නේ රටේ ආර්ථිකය හැදීමට බවත්, අගමැති ජනපති සුසංයෝගය මේ රටට ආදර්ශයක් බවත්, ඔහු පෙන්වාදුන්නේය.



උපුටා ගැනීම 'අද දෙරණ' වෙබ් අඩවියෙනි.

Powered by Blogger.