මහ බැංකු අධිපතිට කුමක් සිදුවේද?.....


2016.06.05 'ඉරිදා සත්හඩ පුවත්පතේ' පළ වූ ලිපියකි...

මහ බැංකු අධිපතිට සේවා දිගුවක්

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කිරීම වෙනුවෙන් ආණ්ඩුව පොදු එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තා වෙයි.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට, මහ බැංකු අධිපතිවරයාගේ ක‍්‍රියා කලාපය හේතුවෙන් යහපාලන ආණ්ඩුව අපහසුතාවට සහ අපකීර්තියට පත්වන බව පවසමින් ඔහුගේ සේවා කාලය දීර්ඝ කිරීමට විරුද්ධව සිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් සමඟ සිදු කළ සාකච්ඡා එකඟතාව මත මෙම තීරණයට පැමිණ ඇත. ඒ අනුව එළඹෙන ජුනි මාසයේ අග පටන් අවසන් වීමට තිබූ අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සේවා කාලය තවත් වසරක කාලයකට දීර්ඝ වනු ඇති බව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ සිටින දූෂණ විරෝධී සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් කිහිපදෙනකු අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු එජාපයේ ප‍්‍රබලයන් කිහිපදෙනෙකුව මුණගැසී ආණ්ඩුව ගත් තීරණය පිළිබඳ සිය විරෝධය පළකර ඇති බව ද වාර්තා වෙයි. එහි දී තමන් ගැන නොසිතා පක්ෂය ගන්නා තීන්දු හේතුවෙන් තමන්ට පාරේ බැස යන්නට නොහැකි තත්ත්වයක් ඇති වන බවත් තීන්දුව වෙනස් නොකරන්නේ නම් තමන්ට සිය කාර්යාල කාමර අත්හැර පිටව යන්නට සිදු වන බවත් දූෂණ විරෝධී සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් කිහිපදෙනා පවසා ඇත.

ඒ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ ප‍්‍රබලයකු ඔවුන්ට අවධාරණය කර ඇත්තේ රටේ ආර්ථිකය මේ අයුරින් හෝ පවත්වා ගත්තේ වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ සහයෝගය නිසා බවත් ශ‍්‍රීලනිපයේ අයට තේරෙන දේ මෙතන ඉන්න අය තේරුම් නොගැනීම ගැටලූ සහගත බවය. එසේම මහ බැංකුවක් පාලනය කිරීම ඔය කෑ ගහන මහත්වරුන්ට සරල ලෙස පෙනුණත් එය ලේසි පහසු කටයුත්තක් නොවන බවත් තම පාර්ශ්වයේ සිටිමින් වැඩ කරන්නේ විපක්ෂයට ඕන විදිහට නම් ඒ අය මොන තීන්දුව ගත්තත් පක්ෂයට ගැටලූවක් නැති බව ද එම ප‍්‍රබලයා දූෂණ විරෝධී සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් කිහිපදෙනාට අවධාරණය කර ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ තවත් පිරිසක් ජොන් අමරතුංග අමාත්‍යවරයාගේ බෑනා වන දිනේෂ් වීරක්කොඩි මහතා මහ බැංකුවේ අධිපති ධුරය සඳහා ගෙන ඒමට සූදානමක් පවතින බව ද වාර්තා වෙයි. ඒ වෙනුවෙන් මේ වන විට ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා සමඟ නොනිල සාකච්ඡා සිදුවෙමින් ඇති බව ද වාර්තා වන අතර 2015 වර්ෂයේ දී ද දිනේෂ් වීරක්කොඩි මහතාගේ නම මහ බැංකුවේ අධිපති ධුරය සඳහා යෝජනා විය. කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපතිවරයකු වන දිනේෂ් වීරක්කොඩි මහතා මේ වන විට සංචාරක මණ්ඩලයේ උපදේශකවරයකු ලෙස කටයුතු කරයි.

- සංජය ලියනගේ( 'ඉරිදා සත්හඩ පුවත්පත'.)
Powered by Blogger.