"ශ්‍රී ලංකාව ගොඩනැගීම උදෙසා වූ ප්‍රතිපත්තිමය රාමුවක්".(නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර විසිනි.)


ශ්‍රී ලංකාව ගොඩනැගීම උදෙසා වූ පළමු වගකීම ඇත්තේ ජනතාව අතේය. ඒ වගකීම ඉටුකරලීම උදෙසා ජනතාව වඩා උගත් - වැදගත් - නිහතමානී - කාරුණික ජනතා නියෝජිතයන් පත් කර ගැනීමට පියවර ගත යුත්තේය. එදා දකුණු කොරියාවේ සිදු කළ ආකාරයෙන් ජනතාව අතර මූල්‍යමය ලෙස ශක්තිය ඇති පුරවැසියන් උක්ත ගති ගුණ ඇති පුරවැසියන්ට මැතිවරණයකට තරඟ කීරීමට අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය ලබා දිය යුත්තේය. අප එසේ නොකරන්නේ නම් සෑම කල්හීම අපි නරීන්ට කුකුළන් භාර දෙමින් සිටිනු ඇත.

ඉන්පසු සැබෑ ජාති මාමක රජයක් පිහිටුවා අප විසල් මහා සැලැස්මක් (master plan) ගොඩනංවා එය ක්‍රියාත්මක කළ යුත්තේය. එම සැලැස්මේ පදනම විය යුත්තේ සමාජ යුක්තිය හා කාරුණිකත්වයයි. (Social justice and benevolence )ධන වාදය මගින් සමාජය මත පටවා ඇති පීඩනය (Depression) අවම කරලීමට අප පියවර ගත යුත්තේමය.


ඒ උදෙසා බුදු රජාණන් වහන්සේ කූට දත්ත සූත්‍රයේ අනුශාසනා කළ ආකාරය අනුව යමින් සම්පත් බෙදී යාම නිසි පරිදී සිදු නොවන ධනවාදී අර්ථ ක්‍රමයෙන් බැහැරවූ අර්ථ ක්‍රමයක් ඇති කිරීමට අප උත්සුක විය යුතු අතර ඒ හරහා දිළිඳුකම පිටු දැකීමට අප කටයුතු කළ යුතුය. ඒ මගින් සංවර්ධනයේ ප්‍රතිලාභ සියල්ලන් අතර බෙදී යාමට සලස්වා සමාජ අසහනය පිටු දැකිය යුතුවෙයි.

කූට දත්ත සූත්‍රයේ බුදුරදුන් දේශනා කළ පරිද්දෙන්ම අප දුප්පතුන්ට නැගී සිටීමට අත හිත දෙන සමාජ සුබ සාධන පද්ධතියක් ගොඩනැඟිය යුත්තේය. ඒ හරහා ඔවුනට ඔවුන්ගේම නිෂ්පාදන හා සේවා ආරම්භ කරලීමට අත හිත දිය යුත්තේය. ජනතාව බදු බරින් මිරිකවන මේ ක්‍රමය අවසන් කළ යුතුය. බුදුරදුන් දේශනා කළ පරිද්දෙන්ම බදු ක්‍රියාත්මක කළ යුත්තේ මී මැස්සා මල නොතලා රොන් ගන්නා සේ ධාර්මික ලෙසය. එනමුත් අද සිදු වන්නේ ධනපතින්ගේ ආදායමෙන් ආදායම් බදු 10% ක් පමණක් ලබා ගෙන සෙසු සමස්ත බදු බර අහිංසක පොදු ජනතාව මත පටවා ජනතාවගේ ලේ උරා බීමයි.


උක්ත බදු ප්‍රතිපත්තිය වෙනස් කොට ජනතාවගේ ජීවන වියදම සැහැල්ලු කිරීම ජනතා හිතවාදී රජයක මූලිකම ප්‍රතිපත්තියයි. ඒ හරහා ජනතාවට ආත්ම විශ්වාසය හා බලාපොරොත්තුව ලබා දිය යුතුය.


මත්ද්‍රව්‍ය, සිගරට්, මත්පැන්, සූදුව හා නිති විරෝධී ආනයන / අපනයන අප මුලින් උපුටා දැමිය යුත්තේය.


දැඩි විනය, නීතිය හා ක්‍රමානුකූල භාවය ක්‍රියාත්මක කළ යුත්තේය. අපරාධ මුලින් උපුටා දැමිය යුතුය. අධිකරන ස්වාධීන කළ යුතු අතර නීතියේ පාලනය ( rule of law) ස්ථාපිත කළ යුතුය.


තම වගාවන්හි සැබෑ ප්‍රතිලාභ ගොවියන්ට ලැබිය යුතුය. වර්තමානයේ එම ප්‍රතිලාභ ලබා ගන්නේ අතර මැදි වෙළෙන්දන්ය.


රටේ දිගට - හරහට නව දියුණු මාර්ග පද්ධතියක් සකස් කළ යුතු අතර, කම්කරු- වැඩකරන ජනතාවට විශේෂ නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ යුත්තේය.


දුම්රිය රේල් පාරවල් දෙකක් වන පරිද්දෙන් (Double line) රට පුරා, රේල් පාරවල් ඉදිකොට දුම්රිය ප්‍රවාහනය විධිමත් කළ යුත්තේය.


ජාතික ආදායමෙන් 6% ක් අධ්‍යාපනයට වෙන් කළ යුතු අතර ඒ හරහා නිදහස් අධ්‍යාපනය බල ගැන්විය යුත්තේය. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ශක්තිමත් කළ යුතු අතර පෞද්ගලික විශ්ව විද්‍යාල වලට අවසර දීම අවම කළ යුත්තේය. විකල්පය වනාහි මුදල් සහිත පුරවැසියන්ට රාජ්‍ය සරසවි වලින්ම බාහිර උපාධි හැදෑරීමයට ඉඩ ප්‍රස්ථාව සැලසීමයි. එම ධනය රාජ්‍ය විශ්ව විද්‍යාල දියුණු කිරීමට වෙන් කරළිය යුත්තේය.


සමූහ තාක්ෂණ විද්‍යා කඳවුරු හා කෘෂිකර්ම පුහුණු කඳවුරු හරහා විරැකියාව දුරු කළ හැක්කේය. ගොවි හමුදාවක් යළි ගොඩනැගිය යුතුය.


සියලු විශ්ව විද්‍යාල උපාධි උගතුන් සෑහෙන පඩියකට පාසල් ගුරුවරුන් ලෙස බඳවා ගත යුත්තේය.


ලංකාවේ කෘෂි කර්මය විනාශ කරන CIC වැනි බහු ජාතික සමාගම් පන්නා දැමිය යුතුය. බටහිර රටවල් කාබනික කෘෂි කර්මයට යොමු වෙද්දී, ඔවුහු මෙහි රසායනික පොහොර කෘෂි කර්මය වපුරති. තවද කෘමි නාශක - වල් නාශක වපුරා ලංකාවේ පස හා වැව් ජලය විනාශ කරති. උතුර - නැගෙනහිර රජරට පුරාවට පැතිරී ඇති දැවැන්ත වකුගඩු ප්‍රශ්නයට මූලික හේතුව කෘමි නාශක හා වල් නාශකය. ඒ හේතුවෙන් මිය ගිය ප්‍රමාණය 30 වසරක යුද්ධයෙන් මියගිය ගණනට වඩා වැඩිය.


ජාතික ඖෂධ ප්‍රතිපත්තිය වහා ස්ථාපිත කළ යුතු අතර, ඖෂධ මාෆියාව මුලින් උපුටා දැමිය යුතුය. නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කළ යුතුය. ජාතියේ සෞඛ්‍ය හා ශරීර ශක්තිය නගා සිටුවීමට මුල් තැන දිය යුතුය. තරුණයන්ගේ සෞඛ්‍ය නගා සිටුවීමට පියවර ගතු යුතු අතර ඔවුන් ක්‍රීඩාවට වඩ වඩා යොමු කළ යුතුය.


ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් හා කල්ලි කණ්ඩායම් වලින් මුදවිය යුතු අතර ක්‍රිකට් වලට සීමා නොවී සියලු ක්‍රීඩා ජාතියේ නාමයෙන් නගා සිටුවිය යුතුය. සියලු තැන්හි දක්ෂයාට තැන දිය යුතුය. සතර අගතියෙන් අප මිදිය යුතුය. සතර සංග්‍රහ වස්තුවෙන් සියල්ලන්ට සංග්‍රහ කළ යුතුය.


ගැබිනි මව්වරුන්ට සුවිශේෂී ආර්ථික සහන පැකේජයක් ලබා දිය යුත්තේය.


පරිසරය හා පස විනාශ කරන ප්ලාස්ටික් හා පොලිතීන් වහා තහනම් කළ යුත්තේය.
ගහකොළ - සතා සිව්පාවා ආදරයෙන් ආරක්ෂා කළ යුත්තේය. ඒ උදෙසා ගතයුතු සියලු පියවර ගත යුත්තේය.
ගංගා ඇල දොල දූෂණය අවම කරළීමට උපරිම පියවර ගත යුත්තේය.


ලංකාව ස්වයංපෝෂිත කරවන සියලුම ආකාරයේ කර්මාන්ත දියුණු කළ යුතුය.
නව ආයෝජකයන්ට බදු සහන දී ඔවුන් දිරිමත් කළ යුතුය.


මහජන ප්‍රවාහන සේවාවන්හි ගුණාත්මක භාවය දියුණු කළ යුත්තේය. මගී ආරක්ෂණ ක්‍රමවේද දියුණු කළ යුත්තේය.

විදුලි බල මාෆියාව අතු ගා දමා ජනතාවට සාධාරණ මිලට විදුලි බලය සැපැයෙන ක්‍රමවේද සකස් කළ යුතුය.


ගව ඝාතනය තහනම් කළ යුතුය.
අන්‍යාගමිකකරණ විරෝධී පනත සම්මත කළ යුතුය.


මේ සියල්ලට ඉහළින් ලංකාවේ ජනතාව සැබෑ දේශමාමකයන් ලෙස තම මව්බිමේ දියුණුව උදෙසා කැපවීමෙන් වැඩකිරීමට සූදානම් විය යුත්තේය.


එමෙන්ම ඔවුන් තම ආකල්පද විප්ලවීය වෙනසකට ලක් කර ගත යුතුය. ඇස්. මහින්ද හිමියන් වරක් මෙසේ ලීවේය.

“ජීවත් වුනත් මැරුණත් උන් මට මොකද?
මාවත් මගේ අඹුවත් රැකුනොත් මදිද?
මේවත් හිතන මිනිසුන් උසුලන වැළඳ
තීටත් අපොයි මිහිකත විලිබිය නැතිද?”

ජනතාව තම මෙබඳු පටු ආකල්ප ඉවත් කර ගත යුත්තේමය.


තමන් ගැන පමණක් පටු ආත්මාර්ථකාමී හැඟීමෙන් නොසිතා, දැල උසුලාගෙන ගිය වටුවන් රැළ මෙන් මහා පරාර්ථකාමී ගුණයක්ද සහිතව ඔවුන් කටයුතු කළ යුත්තේය. සැම විටම ප්‍රශ්නය ඇත්තේ ව්‍යවස්ථාවේ දේශපාලඥයන් හෝ දේශපාලන ක්‍රම වල පමණක් නොවන බව අප අවබෝධ කරගත යුතුය. ප්‍රශ්නය අප තුළද - අපේ ආකල්ප තුළද ඇත්තේය.


උදාහරණයක් ලෙස ලංකාවේ බොහෝ දෙනා බිස්කට් පැකට්ටුවක් කෑවද එහි ප්ලාස්ටික් කොළය බසයේ ජනේලයෙන‍් එළියට විසි කිරීමට පුරුදු වී සිටිති. කසළ බැහැර කිරීම පිළිබඳ විනය අප තුළ නොමැත.

මහජන දේපළ වගකීමෙන් භාවිතා කිරීමේ විනයද අප තුළ අවමය.
තවද අයිතිවාසිකම් වලට සටන් වදිනවාක් මෙන්ම අප අපගේ යුතුකම් මැනවින් ඉටු කරලීමට උත්සුක විය යුතුය.
අයිතිවාසිකම් ආරක්ෂා වන්නේ යුතුකම් මනාව ඉටු කළහොත්ය.
එසේ නොකළොත් අපට සදාකාලිකව තුන්වන ලෝකයේ දුප්පත් රටක් වී සිටීමට සිදුවනු ඇත.


“The great problems of this country cannot be solved through speeches and resolutions, but by blood and iron”
-Otto Von Bismark



“ මේ රටේ මහා ප්‍රශ්න විසඳාලිය හැක්කේ ප්‍රසිද්ධ කථා පැවත්වීමෙන් හෝ යෝජනා සම්මත කරලීමෙන් නොව, ලෙයින් සහ යකඩින්ය.” -ඔටො වොන් බිස්මාක්.



 සටහන -නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර විසිනි.



















Share on Google Plus