එක්සත් ජාතික පක්ෂය ඩිජිටල් වේ...(ඉෂාර ලක්මිණ.)


සමහරු බලාපොරොත්තු වුණේ වැඩවසම් යුගයේම සිටීමටයි. නමුත්, එක්සත් ජාතික පක්‍ෂය බලයේ සිටින සෑම අවස්ථාවකම රට ඉදිරියට ගියා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අද (23) එක්සත් ජාතික පක්‍ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කරමින් “සිරිකොත” පක්‍ෂ මුලස්ථානයේ පැවැති උත්සවයේ දී අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා පැවසීය. වැඩිදුරටත් සිය අදහස් ප්‍රකාශ කරමින් එතුමා මෙසේ ද පැවසීය,

"එක්සත් ජාතික පක්‍ෂය හිතන්න බැරි දේවල් කර ඉදිරියට යන පක්‍ෂයයි. ශත වර්ෂයකට පෙර එෆ්.ආර්. සේනානායක,ඩී.බී. ජයතිලක, ඩී.එස්. සේනානායක, ඊ.ඩබ්ලිව්. පෙරේරා, ඩී.ආර්. විජයවර්ධන, ඩබ්ලිව්.ඒ.ඩී. ද සිල්වා, අර්නස්ට් ද සිල්වා යන මහත්වරුන් එක් වී රට නිදහස් කර ගැනීමට තීරණය කළා. අපට රට නිදහස් කර ගත හැකි යැයි එදා කිසිවෙකු සිතුවේ නැහැ. අවුරුදු 30 කට පසු ශ්‍රී ලංකාව නිදහස ලබන විට දේශපාලන භූමිකාවේ සිටියේ ඩී.එස්. සේනානායක මහතා පමණයි. එතුමාගේ නායකත්වය යටතේ රට ඉදිරියට ගෙන යාමට සහ රට ආරක්‍ෂා කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය බිහි කළා.

අද අපි එක්සත් ජාතික පක්‍ෂයේ 70 වැනි සංවත්සරයට ළඟා වෙමින් සිටිනවා. එක්සත් ජාතික පක්‍ෂය ආරම්භ කරන අවස්ථාවේ සිටි සාමාජිකයන් නොසිටියත් අලූත් සාමාජිකයන් රැසක් සිටිනවා. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල, ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන වැනි නායකයන් පක්‍ෂය සමග එක්වුණා. වෙනත් කවුරුත් නොසිතූ ලෙස ඩී.එස්. සේනානායක මහතා එදා පක්‍ෂය බිහි කළා.

රජ රට වැව් ප්‍රතිසංස්කරණය කරල ජනතාවට ඉඩම් ලබා දුන්නා. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ලබා දුන්නා. මාර්ග කටයුතු සංවර්ධනය කර රට ඉදිරියට යන්නට නායකත්වය දුන්නා. ගල්ඔය ව්‍යාපාරය ඇරඹුවේ ද නිදහසින් පසුවයි. නිදහස් රටක් වශයෙන් රට දියුණු කිරීමට ඩී.එස්. සේනානායක මහතා පියවර රාශියක් ගනු ලැබුවා. ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා රටට අවශ්‍ය විදුලි බලය ලබාදුන්නා. ලක්‍ෂපාන විදුලි බලාගාරය ඉදි කළේ එතුමාගේ කාලයේදීයි. කොළඹ වරායේ එළිසබෙත් ජැටිය ඉදි කළා. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා යටතේ සෞඛ්‍ය සේවය දියුණු කළ අතර පළාත් පාලන සභා ආරක්‍ෂා කිරීමට කටයුතු කළා. එමෙන්ම එම්.ඩී. බණ්ඩා මහතා සහ නුගවෙල මහතා යටතේ ද රට ඉදිරියට ගෙන ගියා.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වූ අතර එක්සත් ජාතික පක්‍ෂයේ කාන්තා පෙරමුණේ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ද පක්‍ෂයෙන් ඉවත් වුණා. අවුරුදු 40 ක කාලයක් පුරා රට පාලනය කර තිබෙන්නේ එදා එක්සත් ජාතික පක්‍ෂයෙන් දේශපාලනයට පිළිපන් සාමාජිකයින් බව කිව යුතුයි.

රට ඉදිරියට ගෙන යාම සඳහා ඩී.එස්. සේනානායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල යන මහත්වරුන් යටතේ විශාල කාර්ය භාරයක් ඉටු කර තිබෙනවා. ඩඩ්ලි සේනානායක මහතාගේ නායකත්වය යටතේ පළමු මහවැලි යෝජනා ක්‍රමය ඉදිරියට ගෙනාවා. පොල්ගොල්ල යෝජනා ක්‍රමය ද ආරම්භ කළේ මේ නායකයින් යටතේයි. ඉන් අනතුරුව ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වය යටතේ ඊට වඩා විශාල පිම්මකින් රට ඉදිරියට ආවා. විවෘත ආර්ථිකය ආරම්භ කර ලෝකය සමග එක් වුණා. වෙළෙඳ කලාප, නව අගනුවර බිහි කර කොළඹ වරාය ද දියුණු කිරීමට පියවර ගත්තා. නිවාස ව්‍යාපෘති ඇති කර ලංකා ඉතිහාසයේ නොතිබුණු සංවර්ධනයක් ඇති කර රටක් වශයෙන් ඉදිරියට ගියා.

එක්සත් ජාතික පක්‍ෂය බලයේ සිටින සෑම අවස්ථාවකම රට ඉදිරියට ගියා. සමහරු මෙයට විරුද්ධ වූ අතර තවත් සමහරු අකමැති වුණා. සමහරු බලාපොරොත්තු වුණේ වැඩවසම් යුගයේම සිටීමටයි. ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමේ වැඩපිළිවෙළ විවෘත කර තිබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි.

2015 වසරේ අප තවත් ඉදිරියට ගියා. පක්‍ෂය එකට එක්ව ක්‍රියා කර පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමට වැඩ කටයුතු කළා. අගෝස්තු මාසයේ දී ජාතික ආණ්ඩුවක් ඇති කිරීමට ද අප ක්‍රියා කළා. අද තිබෙන්නේ 60-70 දශකයට වඩා වෙනස් ලෝකයක්. අප සැම විටම බැලිය යුත්තේ රට ඉදිරියට යන මාර්ගයයි. අප ලෝකය සමග එක්වී වැඩ කටයුතු කර රට ඉදිරියට ගෙන යා යුතුයි. ඒ අනුව කොළඹ මහා පුරවරයක් ඇති කරන අතර මහනුවර නගරය ද දියුණු කරනවා. දකුණු පළාත දියුණු කිරීමට ද පියවර ගන්නා අතර හිස්ව තිබෙන ගුවන් තොටුපොළ, වරාය දියුණු කිරීමට පියවර ගනිමින් කර්මාන්ත ශාලා ඇති කර රට දියුණු කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනවා.

කොළයට පමණක් සීමා වී තිබුණු මහා මාර්ග කටයුතු ක්‍රියාවට නංවනවා. කිසි විටෙක තමන්ගේ සාක්කුවට මුදල් දමා ගැනීමට බලාපොරොත්තු වන්නේ නැහැ. සංචාරක ව්‍යාපාරය ද දියුණු කිරීමට පියවර ගෙන තිබෙනවා.

අපේ එකම අරමුණ තරුණ තරුණියන් සඳහා හොඳ රැකියා ලක්‍ෂ 10 ක් බිහි කර ශක්තිමත් මධ්‍යම පන්තියක් ඇති කිරීමයි. ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ හැකියාවෙන් ඉදිරියට යන මාර්ගය සලසා දීමට අප ඇපකැප වෙනවා. එසේම ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවා ඉදිරියට යන ගමන ආරම්භ කරන අතර රටේ ජාතික සමගිය ඇති කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම අපේ අරමුණයි. සෑම දරුවෙකුටම වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කර ඊට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. ලෝක ආර්ථිකය සමග රට එකතු කර ඉදිරියට යන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුයි. වරාය නගරයකට පමණක් සීමා වී තිබූ පෝට් සිටි ව්‍යාපෘතිය ඉන්දියන් සාගරය මැද පිහිටි මූල්‍ය නගරය බවට පරිවර්තනය කර තිබෙනවා.

ඉන්දියන් සාගරය මැද පිහිටි පොහොසත් රටක් ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසයේ සනිටුහන්ව තිබුණා. අපට අවශ්‍ය වන්නේ ස්වල්ප පිරිසක් නොව, සෑම කෙනෙක්ම පොහොසත් කිරීමටයි. එයින් ප්‍රධාන වන්නේ තොරතුරු තාක්‍ෂණයයි. මේ රටට පරිගණක, ජංගම දුරකථන, අන්තර්ජාල පහසුකම්, වයි-ෆයි, රූපවාහිනී හඳුන්වා දුන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි. අද ඔබ ජීවත් වන්නේ විද්‍යුත් යුගයකයි. ඒ විද්‍යුත් යුගයට මේ තරුණයන් ඇතුලූ විය යුතුයි.

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වය යටතේ සාමාජිකත්ව කාඩ් පත රුපියලකට විකුණමින් සාමාජිකයන් බදවා ගත් කාලයේ සිටි අයගෙන් අද මෙතැන සිටින්නේ මමත්, ජෝන් අමරතුංග අමාත්‍යවරයාත් පමණයි. ගෙයින් ගෙට ගොස් සාමාජිකයන් බඳවා ගැනීමට අප එදා පියවර ගත්තා. අද එම ක්‍රමය වෙනස් විය යුතුයි. ඒ අනුව එහි මූලික අඩිතාලම වන්නේ ඉලෙක්ට්‍රොනික් සාමාජික කාඩ් පතයි. මෙය ආරම්භයක් පමණයි. තමන්ගේ ජංගම දුරකථනය ඔස්සේ පක්‍ෂ මූලස්ථානය සමග සම්බන්ධතා පැවැත්වීමට අවස්ථාව සැලසෙනවා. සමාජ මාධ්‍ය ජාල, වෙබ් ශාඛා මගින් සම්බන්ධතා පැවැත්විය හැකි ද යන්නත් අත්හදා බැලිය යුතුයි. මෙම ස්ථානයේ සිටින තවත් පැරණි සාමාජිකයෙක් වන සමරකෝන්, මා වැනි අයට සාම්ප්‍රදායික ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. අනෙකුත් පිරිසට නව ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා. විද්‍යූත් යුගයට අයත් තරුණයන් ඇතුලූ සියලූ දෙනා වෙනුවෙන් නව ඉලෙක්ට්‍රොනික් කාඩ්පත් ක්‍රමය හඳුන්වා දී තිබෙනවා.

තවත් වසර 5 ක් ගත වන විට ඔබත් රටත් දියුණු වනවා. අප මේ සියලූ දේ කරන්නේ මේ පක්‍ෂය රට ඉදිරියට ගෙන යන පක්‍ෂය නිසයි. එක්සත් ජාතික පක්‍ෂය රට හදන පක්‍ෂය ලෙස ආඩම්බරයෙන් කිව හැකියි. මේ පක්‍ෂය බාර ගැනීමට තවත් පරම්පරාවක් සිටිනවා. ඒ පරම්පරාව වන්නේ මේ තරුණ පිරිසයි. ඒ සඳහා තරුණයන්ට මේ පක්‍ෂය සමග එක් වී පක්‍ෂය භාර ගන්නැයි මා ආරාධනා කරනවා. අපේ පළපුරුද්ද ලබාගෙන වගකීම් බාර ගැනීමට ඉදිරියට පැමිණෙන්න. තමන්ගේ තරුණ ජවයෙන්, අලූත් ක්‍රමවේදයන් ඔස්සේ ඉදිරියට යන්න. එක්සත් ජාතික පක්‍ෂයේ 70 වැනි සංවත්සරය නව ජවයකින් සැමරීමට පියවර ගත යුතුයි.

අද අප මේ දිනය විශේෂයෙන්ම තෝරා ගත්තේ දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඡන්ම දිනය නිසයි. ඒ එතුමාව සිහිපත් කිරීමටයි. එතුමාගේ කාර්යභාරය ඉදිරියට ගෙන යමින් ඉදිරි වසර පහ තුළ නිවාස ලක්‍ෂ 5 ක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා.

තමන්ගේ අනාගතය වන්නේ තමන් බලාපොරොත්තු වන අනාගතයයි. තව අවුරුදු 2 – 3 කින් ලෝකය තවත් වෙනස් විය හැකියි. ඒ වෙනස අනුව ලෝකය සමග අත්වැල් බැඳගෙන රට ඉදිරියට ගෙන යා යුතුයි.

තමන්ගේ ජංගම දුරකථනය ඔස්සේ මෙම ඉලෙක්ට්‍රොනික් සාමාජිකත්වයට ඇතුල් විය හැකියි. සාම්ප්‍රදායික සාමාජික කාඩ් පත විකුණා පළපුරුද්ද ඇති මම සාමාජිකයන් බඳවා ගැනීමට ලංකාවේ සෑම ප්‍රදේශයකටම යනවා මා එනතුරු බලා නොසිට තමන්ට පුරුදු තැනකට ගොස් සාමජිකත්වය ලබා ගෙන මා පැමිණෙන විට එය මට පෙන්වන්න.

එක්සත් ජාතික පක්‍ෂය නොමැතිව රට ඉදිරියට යන්නේ නැහැ. එක්සත් ජාතික පක්‍ෂය නොමැතිව අනාගයත් නැහැ. ඒ අනාගතය ගොඩනගා ගැනීමටත් ඒ අනුව තමන්ගේ ජීවිතය ගොඩනගා ගැනීමටත් මා මේ තරුණයන්ට මෙන්ම ඔබ සියලූ දෙනාටම ආරාධනා කර සිටිනවා. සැප්තැම්බර් 10 වැනි දා පවත්වන අපේ 70 සංවත්සරයට සහභාගි වන ලෙසත්ල සැප්තැම්බර් 17 වැනි දා පැවැත්වෙන ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 110 වන ජන්ම දිනය සැමරීමට සහභාගි වන ලෙසත් ඉල්ලා සිටිනවා.

සෑම සාමාජිකයෙක්ම තවත් සාමාජිකයෙක් හෝ දෙදෙනෙක් බඳවා ගන්නා ලෙස ඉල්ලා සිටින අතර එම සාමාජිකයින් සමග අලූත් පක්‍ෂයක් ගොඩනගා අලූත් රටක් හදන්න නායකත්වය දීමට සූදානම් බව ප්‍රකාශ කර සිටිනවා. "

ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ආසියාවේම ප්‍රථම වරට සාමාජික හැදුනුම්පත් ඩිජිටල් ක්‍රමවේදයට හදුන්වා දුන් දේශපාලන පක්ෂය ලෙස 'එක්සත් ජාතික පක්ෂය' අද ඉතිහාසයට එක් විය.රනිල් වික්‍රමසිංහ යනු,නව තාක්ෂණය සමග මුසු වීමට දැඩි කැමැත්තක් දක්වන නවීන නායකයෙක් ලෙස 1980 දශකයේ සිටම ලෝකය හදුනාගෙන සිටියේය.ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණය ගෙන ඒමේදී පුරෝගාමී වූ දේශපාලන නායකයාද ඔහුය.


ඉෂාර ලක්මිණ

Share on Google Plus