මාධ්‍යට සුදු පිරුවට ඇන්දවීම...(උපුටා ගැනීමකි.)


මාධ්‍ය කර්මාන්තයේ ඉදිරි පියවරක් තැබීම සඳහා මාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වන ලේකම් කාර්යාලය විසින් සුවිශේෂී වාර්තාවක් සකස් කොට අගමැතිවරයා වෙත මේ වනවිට බාර දී තිබේ. එම අධ්‍යයනය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා එම ලේකම් කාර්යාලයේ සභාපති ආචාර්ය ප්‍රදීප් වීරසිංහ මහතා සම්බන්ධ කරගතිමු.
-අමිත් මධුරංග (අද පුවත්පත.)


"ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය සහ මාධ්‍ය වෘත්තිය පිළිබඳ තක්සේරුවක් සඳහා මහජන විශ්වාසය ගොඩනැගීම" නම් වාර්තාව සකස් කිරීම සඳහා පසුබිම සැකසුණු ආකාරය මුලින්ම පැහැදිලි කළොත් ?
අද ජීවත්වන මිනිසුන්ගේ දෛනික ජීවිතයේ සිතුම් පැතුම්, මතවාද, ආකල්ප, විශ්වාස ආදී සියල්ල තීරණය කරන ප්‍රධානතම බලවේගය බවට පත්වී තිබෙන්නේ ජනමාධ්‍යයයි. සමාජ දේශපාලන, සංස්කෘතියේ දිශානතිය තීරණය කරන්නේ ජනමාධ්‍යයයි. ඒ විදියට ජනමාධ්‍ය විසින් සමස්ත සමාජය රාමුගත කරනවා. මෙවැනි බලසම්පන්න සමාජීය ආයතනයක් මානව සංහතියේ යහපත උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක භූමිකාව කොතෙක් දුරට ඉටුකරනවාද කියන කාරණය බරපතළ ලෙස සැලකිල්ලට ගතයුතුයි. පසුගිය දශක දෙක තුළ තාක්ෂණයේ වර්ධනය සහ අන්තර්ජාලය මේ සඳහා ප්‍රබලව බලපෑවා.

මේ නිසා ලංකාවේ තිබෙන ජනමාධ්‍ය කර්මාන්තය වර්තමානයේ සිදුවන ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියට බුද්ධිමය සංවාදයකට කොතරම් සූදානම්ද කියන ගැටලුව කාලීන වශයෙන් මතුවෙලා තිබුණා. පසුගිය දශකය තුළ අපේ රටේ ජනමාධ්‍ය කර්මාන්තය රාමුගත වුණේ මූලික වශයෙන් උතුරු නැගෙනහිර තිබුණු යුද්ධය මතයි. 71, 87-89 තරුණ නැගිටීම් සහ යුද්ධය විසින් ඇති කරන ලද ප්‍රචණ්ඩත්වයට ආණ්ඩු දැක්වූ ප්‍රතිචාර මත අපේ මාධ්‍ය කර්මාන්තය සමස්තයක් ලෙස හැඩගැසුණා.
ලංකාවේ මාධ්‍ය නීතිය, ආචාරධර්ම, මාධ්‍ය අන්තර්ගතය, ජනමාධ්‍යවේදියාගේ භූමිකාව සහ ග්‍රාහකයා වන රටේ සාමාන්‍ය පුරවැසියාත් ජනමාධ්‍යවලින් අපේක්ෂා කරන දේ තීරණය කළේ සම්පූර්ණයෙන්ම යුද්ධය සහ ප්‍රචණ්ඩත්වය මතයි. යුද්ධය යම් ආකාරයකට අවසන් වූ පසු ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අලුත් බලාපොරොත්තු තිබුණා. යුද්ධයට කලින් තිබුණු සමාජ, දේශපාලන, ආර්ථික ස්වරූපය ඒ ආකාරයටම ඉදිරියට යෑමක් අපට දකින්න ලැබුණා. 2015 ජනවාරි 08 වැනිදායින් පසුව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශාල බලාපොරොත්තුවක් ආවා. රාජ්‍ය ව්‍යුහයන් ප්‍රතිසංස්කරණයට භාජනය වීමක් සහ යහරාජ්‍ය පාලනය ක්‍රියාත්මක වීමක් අපේක්ෂා කළා. සංහිඳියාව සහ සාධාරණත්වය ඇති කරන බව එම කණ්ඩායම මැතිවරණයට පෙර පොරොන්දු වී තිබුණා.
එහි ප්‍රධාන අංශයක් තමයි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කිරීම.එය කෙළින්ම ජනමාධ්‍යයේ භාවිතයත් සමග බද්ධ වෙනවා. එහිදී රටේ පුරවැසියාට විවිධ අදහස් මත සහ තොරතුරුවලට නිදහසේ ප්‍රවේශ වීමට අවස්ථාව තිබිය යුතුයි. ඒවා ප්‍රකාශ කිරීමට නිදහස තිබිය යුතුයි.


එය තහවුරු වෙන්න වටපිටාවක් රටේ නිර්මාණය වෙන්න ඕන. ඒ සඳහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු වෙන්න ඕන. රටේ තියෙන සමාජ විවිධත්වයට ගැළපෙන මාධ්‍ය භාවිතාවක් නිර්මාණය වෙන්න ඕන. රටේ තියෙන්නේ බහුවාර්ගික, බහු සංස්කෘතික සමාජයක්. ඒ වගේම ප්‍රාදේශිය සහ ප්‍රජා අනන්‍යතා සහිත ප්‍රජා කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සිටිනවා. මෙම විවිධත්වය ජනමාධ්‍යවලින් ප්‍රකාශයට පත්වුණොත් පමණයි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කියන එක එන්නේ. සමාජයේ තිබෙන විවිධ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමේ වටපිටාව හදලා දෙන එක තමයි ජනමාධ්‍යයේ කාර්යභාරය වියයුත්තේ.


රටේ ඇති වී තිබෙන ප්‍රතිසන්ධාන වැඩපිලිළිවෙළ ශක්තිමත් වෙන්නෙ එසේ කටයුතු කිරීමෙන් පමණයි. මේවාට ගැළපෙන මාධ්‍ය කර්මාන්තයක් රටට අවශ්‍ය වෙනවා. ඒ සඳහා ජනමාධ්‍ය කර්මාන්තය සමස්තයක් වශයෙන් ගෙන සලකා බැලීමේ අවශ්‍යතාව පැනනැගුණා.


මෙම අධ්‍යයනයට අවශතාව මතුවුණේ එම කරුණ මතයි.යම්කිසි රටක ජනමාධ්‍යවල දැන් තිබෙන භාවිතව ‍මොකක්ද? ජනමාධ්‍යවල වාතාවරණය මොකද්ද? ප්‍රජාතන්වාදය ශක්තිමත් කරන්න, සංවර්ධන ක්‍රියාදාමය ශක්තිමත් කරන්න, ජනමාධ්‍ය තුළ මොනවාගේ ප්‍රතිසංස්කරණයක්ද වෙන්න ඕන කියන එකට අදාළ ක්‍රමවේදයක් පැරීසියේ තිබෙන යුනෙස්කෝ මූලස්ථානයේ හදලා තිබෙනවා. මෙම අධ්‍යයනය සඳහා ආදර්ශ කරගත්තේ එම නිර්දේශයයි. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කිරීම, බහුවිධ මාධ්‍ය කර්මාන්තයක් රට තුළ ඇති කිරීම ආදිය එහි ඉලක්කයි.

දැනට රටේ තිබෙන ජනමාධ්‍ය අයිති වන්නේ රජයට සහ ව්‍යාපාරික අංශයට පමණයි. බහුවිධ යන්නෙන් අදහස් කරන්නේ මහජනතාව හෙවත් ප්‍රජාවට අයිති විකල්ප ජනමාධ්‍ය යන්නයි. ඒ සඳහා මාධ්‍ය අන්තර්ගතය තුළ විවිධත්වය තිබිය යුතුයි.ඒ තුළ ජනවාර්ගික විවිධත්වය, ප්‍රජා විවිධත්වය, ප්‍රාදේශිය විවිධත්වය ආදිය ප්‍රකාශයට පත්විය යුතුයි. රටේ මාධ්‍ය සංවර්ධනය සඳහා වන මෙවැනි දර්ශක යුනෙස්කෝව හදලා තිබෙන්නෙ ඒ නිසයි. එබැවින් අපේ අධ්‍යයනය සඳහා එම දර්ශක පාදක කරගත්තා.

අධ්‍යයනය ආරම්භ කළ ආකාරය සහ ඒ සඳහා දායක වූ පිරිස් ගැන සඳහන් කළොත්?

ගිය වසරේ මාර්තු මාසයේ ආරම්භ කළ පසු අධ්‍යයනය අවසන් කිරීමට වසර එකහමාරක් ගතවුණා. ඒ සඳහා මාධ්‍ය කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් සම්බන්ධ කරගත්තා. මාධ්‍ය සංවිධාන, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාත්‍යන්තර මාධ්‍ය සහාය ආයතනය, දේශීය සිවිල් සමාජය නියෝජනය වන පරිදි සාඩ් සංවිධානය සම්බන්ධ වූ 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙයට සම්බන්ධ වුණා.


ඒ තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥවරුන්, ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය සංවිධානවල සභාපතිවරුන් වැනි අය සිටියා. මොවුන් එකතු කරලා මාධ්‍ය ප්‍රතිව්‍යුගතකරණය සඳහා වන ලේකම් කාර්යාලය නිර්මාණය කළා.අධ්‍යයනය සිදුකිරීමට මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ අදහස් ලබාගත්තා. මහජනතාවගේ අදහස් ලබාගැනීමට රටම අාවරණය වන පරිදි සමීක්ෂණයක් සිදුකළා. ඉන්පසුව ජාත්‍යන්තර විශෙෂඥයන්ගේ අදහස් ලබාගෙන අවසන් වාර්තාව සකස් කළා. එහි නිර්දේශ 101 ක් තිබෙනවා.

එහි සඳහන් ප්‍රධාන නිර්දේශ මොනවාද?
ස්වාධීන විද්‍යුත් නියාමන කොමිසමක් පිහිටුවීම, පුවත්පත් මණ්ඩලය අහෝසි කර පුවත්පත් පැමිණිලි කොමිසම ශක්තිමත් කිරීම සහ අන්තර්ජාල සයිබර් සාක්ෂරතාවක් ඇති කිරීම සඳහා මෙමගින් යෝජනා කරනවා.එහි ප්‍රධාන එකක් තමයි ලංකාව තුළ ස්වාධීන ව්ද්‍යුත් මාධ්‍ය කොමිසමක් පිහිටුවන්න ඕන කියන එක. මේ වනවිට සමාජයේ නිර්දේශ සාකච්ඡා වෙමින් තිබෙනවා. රටක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු වෙන්න නම් මාධ්‍ය කර්මාන්තය තුළ බහුවිධකමක් හා විවිධත්වයක් තිබිය යුතුයි.


අනෙක් මාධ්‍යවලට වඩා විද්‍යුත් මාධ්‍ය ප්‍රබලයි. විද්‍යුත් මාධ්‍ය හිමිකාරත්වයේ එම බහුලකම තිබිය යුතුයි. රජයට හා පෞද්ගලික අංශයට වාගේම ප්‍රජාවට අයිතිය තිබෙන විද්‍යුත් මාධ්‍යයටද තිබිය යුතුයි. එවැනි මාධ්‍ය කර්මාන්තයක් ලංකාව තුළ දක්නට නොලැබීම ප්‍රධාන ගැටලුවක්. ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක් විදියට දකිනවා.


දෙවැනි කරුණ තමයි පසුගිය දශක දෙක තුළ ලෝකයේම විද්‍යුත්
කර්මාන්තය තුළ අලුතින් ඩිජිටල් තාක්ෂණය එකතු වීම, අන්තර්ජාලය විද්‍යුත් මාධ්‍ය සමග සම්බන්ධ වීම, කේබල් තාක්ෂණය පැමිණීම, දුරකථන කර්මාන්තය විද්‍යුත් කර්මාන්තය සමග සම්බන්ධ වීම වැනි බරපතළ වෙනස්වීම් සිදුවුණා. මෙම කරණා නිසාම විද්‍යුත් කර්මාන්තය තුළ බරපතළ සංකීර්ණ ගැටලු රාශියක් නිර්මාණය වුණා. එම ගැටලු විද්‍යුත් මාධ්‍ය කර්මාන්තයට ලොකු බලපෑමක් කරලා තිබෙනවා වගේම විද්‍යුත් මාධ්‍ය හිමිකරුවන්ගේ භූමිකාවට, අන්තර්ගතයට සහ සමාජයට විශාල බලපෑමක් කරලා තිබෙනවා. මේ අලුත් දියුණුවට ගැළපෙන විද්‍යුත් මාධ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීම අවශ්‍යයි.


ඊළඟට මෙම තාක්ෂණය නිසා ජනමාධ්‍ය කර්මාන්තය සම්බන්ධව රටේ අධිකරණ පද්ධතියේ බරපතළ ගැටලු ඇතිවෙලා තිබෙනවා. අලුත් තත්ත්වය ඔස්සේ එන ගැටලුවලට මුහුණදීමට දැනට තිබෙන නීති ප්‍රමාණවත් නැහැ. උදාහරණයක් හැටියට මාධ්‍ය ආයතන අතර ඇතිවන ගැටුම්, තරංග මාලා වෙනස් කිරීමේ ප්‍රශ්නවලට රටේ නීති නැහැ. අලුත් තාක්ෂණය පැමිණීම නිසා බුද්ධිමය දේපළ ගැටලු නිර්මාණය වෙලා තිබුණාට ඒවා විසඳීමට නීති නැහැ.මේ අකාරයට විද්‍යුත් මාධ්‍යයේ ඇති වූ වෙනස්කම් විශාල වශයෙන් සමාජයට බලපපාන්න පටන් අරන් තිබෙනවා. මාධ්‍යවල අන්තර්ගතය වෙනස් වෙලා තිබෙනවා. සමාජයට කරන බලපෑම යහපත් එකක් වියයුතු වුණත් එහෙම වෙලා නැහැ. ඒ නිසා මෙවැනි විද්‍යුත් මාධ්‍ය කොමිසමක් රටට අවශ්‍ය වෙනවා. මෙවැනි කොමිසමක් පිහිටුවද්දි මාධ්‍යවේදීන්ගේ, සමාජයේ, පුද්ගලයාගේ නිදහස සහ ආයිතිවාසිකම් තහවුරු වෙන්න ඕන.


විද්‍යුත් මාධ්‍ය ක්‍රියාත්මක වෙන තරංග මාලා මහජනතාව සතු සීමිත පොදු දේපළක්. ඒක ඉන්දියාවේ සහ ලංකාවේ නඩුවලින් තීරණය කරලා තිබෙනවා. ආණ්ඩුව විසින් එය අයිති කරගෙන කළමනාකරණය කිරීම සුදුසු නැහැ. එය සිදුකළ යුත්තේ ස්වාධීන ආයතනයක් විසිනුයි. ලංකාවේ මෙය දීර්ඝ කාලයක් තිබුණෙ ඉතාමත් අවිධිමත් විදියට. මෙතනදි ගුවන් විදුලි මධ්‍යස්ථාන හා රූපවාහිනී මධ්‍යස්ථාන ආරම්භ කිරීමට බලපත්‍ර ලබාදෙන එක සිදුවෙනවා. මෙම බලපත්‍ර දීම ලංකාවේ ඉතාම රහසිගත, ගුප්ත අවිධිමත් ස්වරූපයක් ගත්තා. ඒවා බොහෝවිට දුන්නෙ දේශපාලන ගජමිතුරන්ට පමණයි. ඒ නිසා විද්‍යුත් මාධ්‍ය රටේ ජනතාවට අවශ්‍ය පරිදි සකස් වෙලා නැහැ. පිහිටුවීමට නියමිත ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසම සියලුම බලපෑම් කණ්ඩායම්වලින් නිදහස්ව පිහිටුවිය යුතුයි.


ඕනෑම කෙනෙකුට මුදල් තිබෙනවා නම් කඩදාසි මිලදීගෙන පුවත්පතක් ආරම්භ කරන්න පුළුවන්. නමුත් සල්ලි තිබුණට රූපවාහිනියක් හෝ ගුවන් විදුලියක් ඒ අකාරයට ආරම්භ කරන්න බැහැ. ඒක විද්‍යුත් තරංග මාලා එක්ක යන දෙයක්.රට තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කිරීම සඳහා බහුවිධ මාධ්‍ය කර්මාන්තයක් හැදීමට බලපත්‍ර දීමේදි විවෘත, විනිවිදභාවයෙන් යුතු, මහජනතාවට වගවන ක්‍රමවේදයක් හදන එක ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. එම බලපත්‍ර දුන්නට පස්සෙ මහජන යහපත සහ ප්‍රජාතන්ත්‍රවාදය අනුව සමාජයට අනුව කටයුතු කරනවද කියලා නිරීක්ෂණය කිරීම සඳහා මගපෙන්වීම මෙම අධ්‍යයනයෙන් යෝජනා කරනවා.


මුද්‍රිත හා අන්තර්ජාල මාධ්‍ය පිළිබද ඇති නිර්දේශ?
ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ කර්තෘ නිදහසට තිබෙන ප්‍රධාන බාධාවක් තමයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය. එය එක්තරා විදියක මාධ්‍ය නිදහස පාලනය කිරීමට තිබෙන පොලීසියක් විදියට හඳුන්වන්න පුළුවන්. ලංකාවේ තිබෙන මාධ්‍ය සංවිධාන මෙය අහෝසි කරන්නැයි පසුගිය දශක දෙක තුළ ඉල්ලා සිටියා. මෙහි අධ්‍යක්ෂවරු පත් කරන්නේ ජනාධිපතිවරයා විසින්. ඒ නිසා දැඩි ලෙස දේශපාලනීකරණය වූ ආයතනයක් ලෙස මෙය හැඳින්විය හැකියි. මෙයට යම් අධිකරණ බලයක් තිබෙනවා. යම් අවස්ථාවක මාධ්‍යකරුවෙක් ගෙන්වලා මූලාශ්‍රයක් ඉල්ලුවොත් ඔහු එය ලබාදීමට බැඳිලා සිටිනවා. ඒ නිසා ගවේෂණාත්මක මාධ්‍යකරුවන් අධෛර්යමත් වෙනවා.


පුවත්පත් මණ්ඩලය හරහා ආණ්ඩුවට පුළුවන් වාර්තාකරණය වාරණය කරන්න සහ පාලනය කරන්න. මේක අහෝසි කිරීම ඉතාම කාලෝචිත අවශ්‍යතාවක්. එයට විකල්පය ලෙස මාධ්‍ය පුවත්පත් කර්මාන්තය විසින් ආයතනයක් හදාගන්න ඕන. ඒ සඳහා දැනට කර්තෘ සංසදය එකතු වී පුවත්පත් පැමිණිලි කොමිසම හදාගෙන තිබෙනවා. පාඨකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට එයට නෛතික බලයක් නැහැ. ඒ නිසා එම ආයතනයට නීතිමය බලයක් ලබාදිය යුතුයි.



ඊළඟට සමාජ මාධ්‍යවල නිදහස තහවුරු කිරීම අවශ්‍යයි. කිසිම බලපෑමක් නොකර අන්තර්ජාල මාධ්‍යවලට නිදහසේ ක්‍රියාත්මක වීමට වාතාවරණයක් හැදිය යුතුයි. සමාජ මාධ්‍ය නිසා රට තුළ ගැටලු ගණනාවක් ඇති වෙලා තිබෙනවා. ජන වර්ග අතර සහයෝගිතාවට බාධා එල්ල වී තිබෙනවා. යම් යම් පුද්ගලයන් අපකීර්තියට පත්වීම, අසත්‍ය ප්‍රචාර ගෙනයාම ආදිය නිසා මානව හිතවාදී සමාජයට බාධා වෙනවා. ඒවා සිදුවෙලා තිබෙනවා. ඒවාට විකල්පයක් අවශ්‍යයි. ඒ නිසා අන්තර්ජාල මාධ්‍ය සඳහා ආචාරධර්ම පද්ධතියක් අවශ්‍යයි. රට තුළ මහජනතාව අතර සයිබර් සාක්ෂරතාවක් ඇති කිරීම අවශ්‍යයි. එවිට මහජනතාවට සත්‍ය අසත්‍යතාව පහසුවෙන් තේරුම්ගත හැකියි.පෞද්ගලික සන්නිවේදන මෙවලම් ලෙස දුරකථන හා ඊමේල් භාවිත කරනවා. ආණ්ඩුව මේවාට හොර රහසේ සවන් දෙනවා නම්, දත්ත ලබාගන්නවා නම් පෞද්ගලික නිදහස අහිමි වෙනවා. අධිකරණමය අපරාධයක් නොවන අවස්ථාවක හැර විද්‍යුත් සන්නිවේදන මාධ්‍යයන්වලට නිදහසේ හැසිරීමට ඉඩ ලබාදිය යුතු බවත්, ඒවාට නියාමනයක් අවශ්‍ය බවත් මෙමගින් යෝජනා කරනවා.


මේ වනවිට මෙම වාර්තාවට ලැබි තිබෙන රාජ්‍ය අනුග්‍රහය කොයි වගේද?
එය අගමැතිවරයාට ඉදිරිපත් කර තිබෙනවා. රජය පිළිඅරන් තිබෙනවා රජයේ ජනමාධ්‍ය පිළිබඳ ප්‍රතිපත්ති සහ මාර්ග සැකැස්ම නමින්. ලංකාවේ ජනමාධ්‍ය සංවර්ධනය කරන්න රජය සකස් කරලා තිබෙන ප්‍රතිපත්ති සැලැස්ම විදියට පිළිඅරන් තිබෙනවා. මේකේ තිබෙන නිර්දේශ එක එක අයට කරන්න පුළුවන්. රජයට කොටසක් තිබෙනවා. සිවිල් සමාජයට, මාධ්‍ය කර්මාන්තයේ යෙදී සිටින අයට කරන්න දේවල් තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුවහොත් මාධ්‍ය කර්මාන්තයේ ඇති විය හැකි වෙනස්කම් කවරේද?

මෙහි ප්‍රධාන අරමුණ මාධ්‍ය කර්මාන්තය ශක්තිමත් කිරීමයි. මාධ්‍ය ආර්ථිකය ශක්තිමත් කිරීම ඒ යටතේ එන තවත් අදහසක්. ඒ සඳහා අවශ්‍ය නිර්දේශ මගපෙන්වීම් කරනවා. මාධ්‍ය ආර්ථිකය දැනට තිබෙන්නේ විවෘත කාර්යක්ෂම තැනක නොවෙයි. වෙළෙඳ දැන්වීම් සමග යද්දි ව්‍යාපාරික කණ්ඩායම්වලට අයත් මාධ්‍ය ආයතනවල කර්තෘ නිදහස තහවුරු විය යුතුයි. එහිදී වෙළෙඳ දැන්වීම්කරුවන්ගේ සහ අයිතිකරුවන්ගේ බලපෑමෙන් කර්තෘවරුන් නිදහස් විය යුතුයි. මාධ්‍යකරුවන්ගේ අයිතීන් ශක්තිමත් වීමට නම් වෘත්තීය සමිති ශක්තිමත් විය යුතුයි කියා මෙම වාර්තාවෙන් යෝජනා කරනවා. කර්තෘ නිදහස ඇතුළෙ දැන්වීම් ප්‍රතිපත්තිය, ලිපි ප්‍රතිපත්තිය මොකද්ද කියන එක නිර්දේශ කිරීමට මාධ්‍ය මණ්ඩලයක් අවශ්‍ය බවද මෙහි නිර්දේශ කරනවා. ඒ වගේම හිමිකරුවන් අතර දැනුවත් කිරීම අවශ්‍ය වෙනවා.

මෙම වැඩපිළිවෙළ දිහා රජය ඇතුළු මාධ්‍ය කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්වයන් කොයි අකාරයට බලාවිද?

සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලකයන් මාධ්‍ය කර්මාන්තයේ දැනට තියෙන ක්‍රමයට කැමතියි. මහජනතාව ගොනාට අන්දගෙන තමන්ගේ ප්‍රතිපත්ති වර්ධනය කරගැනීමට මෙම ක්‍රමය මගින් හැකියාව ලැබෙන බව ඔවුන් සිතනවා. ප්‍රත්පත්ති සම්පාදකයන් ගොඩක් වෙලාවට මෙවැනි යෝජනාවකදි නොදැක්කා වගේ ඉන්න පුළුවන්. මාධ්‍ය හිමිකරුවන් මොකක්ද වෙන්නෙ කියලා බලාගෙන ඉඳීවි. මාධ්‍යකරුවන් වැටුප් ලබන සේවකයන් නිසා ඔවුන් මේක හීනයක් වගේ කියලා බලන්න පුළුවන්. මෙම තත්ත්වය හරි ගියොත් මාධ්‍ය කර්මාන්තය වෘත්තීයමය වශයෙන් ශක්තිමත් වෙනවා හරියට වෛද්‍ය වෘත්තිය වගේ.


තොරතුරු දැනගැනීමේ පනත කඩිනම් කිරීමට කුමන පෙළඹීමක්ද මේ හරහා ඇති කරන්නේ?
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා දැනට හදලා තිබෙන මෙම පනත ලෝකයේ පනත්වලින් හත්වැනි ස්ථානයේ තිබෙන්නේ. පනතේ යම් යම් අඩුපාඩු තිබෙනවා. සීමා කිරීම් තිබෙනවා. මෙම පනත සම්මත වුණොත් රටේ පුරවැසියන්ට සාර්ථකව තොරතුරු දැනගන්න පුළුවන් රජයේ ආයතනවල රාජ්‍ය කොටස් 25% ක් තිබුණොත් පමණයි. නමුත් ඒක 10% දක්වා අඩු කළ යුතුයි. මෙම පනත යටතේ රාජ්‍ය නොවන සංවිධාන ආමන්ත්‍රණය කරලා නැහැ. ජනමාධ්‍යවල හිමිකරුවන් කවුද, මාධ්‍යවල තිබෙන අන්තර්ගතය ගැනත් ජනතාව දැනගන්න ඕන. ඒක පනතේ නැති වීම අඩුවක්.


2016.06.13 'අද පුවත්පතින් උපුටා ගැනීමකි. (ඉෂාර ලක්මිණ.)


Share on Google Plus