වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේට මීගමුවේදී ප්‍රහාරයක්!.......




වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ මහතාට මීගමුවේදී අද එල්ල වූ මැර ප්‍රහාර රජය තරයේ හෙළාදකියි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනි ගුණතිලක මහත්මිය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම නිවට බියගුළු ක්‍රියාව රජයේ තරයේ හෙළාදකින බවයි.

අද පෙරවරුවේ මීගමුව නගර සභා රැස්වීම වාර්තා කිරීමට ගොස් එම භූමියෙන් පිටතට පැමිණි අවස්ථාවේදී ඒ මහතාට මෙම ප්‍රහාරය එල්ල වී තිබිණ.

නිදහස් ජනමාධ්‍ය සංස්කෘතිය ආරක්ෂා කිරීම රජයේ ප්‍රතිපත්තිය වන බවත්, පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ නියම් හා අනියම් ආකාරයේ ජනමාධ්‍ය මර්දනය කිනම් ආකාරයකින් හෝ මතු නොවීමට කටයුතු කිරීම වෙනුවෙන් රජය ගැඹුරින් පෙනී සිටින බවත් එම නිවේදනයේ දැක්වෙයි.

ඒ සමගම නිදහස් මාධ්‍ය සම්ප්‍රදාය ගරු නොකරන දූෂිත බලවේග රටේ අහුමුළුවල තවමත් ක්‍රියාත්මක වෙමින් ඇති බවත්, වහාම මේ පිළිබඳ සොයාබලා ෆ්‍රෙඩි ගමගේ මහතාට ආරක්ෂාව සලසන ලෙසට ද රජය පොලීසියට දැනුම්දී ඇති බවත්, එකී නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.



වෙබ් මාධ්‍යවේදීන් වශයෙන් රාජකාරි කටයුතු කර ගෙන යාමේදී මතු වන ගැටලු වලට සාර්ථකව විසදුම් සෙවීමට අපට මහත් සේ උදවු වන මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ මහතාට එල්ල වූ බියගුලු,නීච ප්‍රහාරය ලංකා ඩී.එන්.ඒ. අපත් හෙළා දකින අතර එහි වරදකරුවන් නීතිය හමුවට පමුණුවා දඩුවම් දෙනතුරු අප වෙබ් මාධ්‍ය කරුවන්ගේ සංගමයේ සියලු සාමාජිකයින් අවධානයෙන් සිටින බවත් ලංකා ඩී.එන්.ඒ. අප සදහන් කර සිටිමු!


පසුගිය වකවානුව තුළදී මෙන් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන වාතාවරණයක් රට තුළ ඇතිවේ නම් අප නිහඩව බලා නොසිටින බවත් අවධානයෙන් යුක්තව සදහන් කරමු!



ඉෂාර ලක්මිණ


Share on Google Plus