G7 කියන තරම් රසද?


හැම දේශපාලනඥයාම එකයි. ඔවුහු ගංගා නැති තැන්වල පවා පාලම් තැනීමට පොරොන්දු වෙති
– නිකිටා කෘෂෙව්

ලොව ප්‍රමුඛ “කාර්මික” රටවල් හත හෙවත් G7 එකතුවේ මේ වසරේ සමුළුව නිමා වී දින කිහිපයක් ගත වී ඇත. එය ශ්‍රී ලංකාවට විශේෂයෙන් මෙවර වැදගත් වූයේ මෙරට ඉතිහාසයේ පළමු වරට මෙරට නායකත්වයට ආරාධනා කොට තිබීම හේතුවෙනි. රටපුරා එය සමරනු ලැබීය. බොහෝ දෙනෙකු උජාරුවෙන් ජනාධිපති මෛත්‍රී බැලීමට පෝලිමේ ආ රාජ්‍යය නායකයින් ගැන ලියා ඇත්තේ, තම සෙනෙහස දොරේ ගලා ගිය අයුරෙනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අනුව එය ජපානය විසින් සිදු කළ ආරාධනයකි. ජපානය එහි සභාපති ධූරය දරන අතර, මෙවර පැවැත් වූයේ 42 වැනි G7 සමුළුවයි. මීළඟ සමුළුව ඉතාලි ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් ඉතාලියේ පැවැත්වීමට අදාළ සමුළුව අවසානයේ එහි නියෝජිතයින් තීන්දු කළෝය.

වඩාත් ප්‍රඥාගෝචරව අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ට ලබා දී තිබූ කෙටි කාලයේදී රට හමුවේ ඇති අභියෝග වඩාත් නිරවුල්ව ප්‍රකාශ කිරීම සහ ඒ සඳහා සහාය ඉල්ලා සිටීම සැලකිය යුතු වැදගත් කාරණයකි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ කෞශල්‍ය වඩාත් මැනවින් විදහා පෑ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, තම කෙටි කතාව තුළ රටේ ඇති ගැටලුව සියුම්ව සඳහන් කිරීමට සමත් විය. අදාළ සමුළුව අවසානයේ “කාර්මික” රටවල් කීයක නායකයින් මෙරටට ආධාර, ණය හෝ “ණය ආධාර” ලාබාදීමට එකඟ වූයේද යන්න තවමත් නිශ්චිත නැතත්, ඒ සඳහා සුභවාදී බලාපොරොත්තු ආණ්ඩුව සතු සැටියෙකි.

දිනෙනේ දින දුර්වල වෙමින් පවතින ආර්ථිකයේ ශක්තිය සහ ක්‍රමිකව වැඩි කරන බදු හමුවේ රටේ සාමාන්‍ය ජන ජීවිතය මහත් අපහසුතාවයට පත්වෙමින් තිබේ. එසේම කිසිඳු දේශපාලනඥයකු තමන්ගේ වැටුප් හෝ වැඩි වියදම් කපාහැරීමක් ගැන තවමත් වාර්තා වී නැත. මේ නිසා, දේශපාලනඥයා මූලිකව තැනී ඇති කොල්ලකාරී ආර්ථිකය තව දුරටත් පවතින අතර, එහි වන්දිය සාමාන්‍යය ජනතාවට බදු ලෙස ගෙවීමට සිදු වේ. රටේ පවතින ආර්ථික අසමතුලතභාවය වැලැක්වීම සඳහා ආණ්ඩුවට නිශ්චිත වැඩපිළිවෙලක් තිබේද යන්න, විෂයභාර ඇමතිවරයා පැහැදිලි කළ යුතු මූලික කාරණයක් වුවද මේ දක්වා එය සිදු වී නැත. ඒ වෙනුවට පසුගිය ආණ්ඩුව කළ වැරදි යලි යළිත් සඳහන් කරමින්, සියලු දුෂ්කරතා එම ආණ්ඩුව මත පටවමින් සිටිති.

කෙසේ වෙතත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට අනුව, මෙරට ආර්ථිකය ගොඩගැනීම සඳහා ජපානය පූර්ණ සහය ලබා දීමට පොරොන්දු වී ඇත. රාජ්‍යය ණයබරින් ලෝකයේ වැඩිම රට බවට පත් වී ඇති ජපානය මේ වන විට ආර්ථිකමය වශයෙන් බරපතළ තත්වයකට ඇද වැටී තිබේ. එවැනි තත්වයක් යටතේ ජපානය ශ්‍රී ලංකාවට සහය දීමට ඉදිරිපත් වීම පැසසිය යුතු කාරණයක් සේම මනා සිහියෙන් කියවිය යුතු ආර්ථික ගැටලුවකි.

මෙහිදී වඩාත් මැනවින් විමසා බැලිය යුතු කාරණයක් තිබේ. එනම් G7 සමුළුව සහ එහි සාමාජික රටවල්වල සැබෑ තත්වය සහ ශ්‍රී ලංකාව වැනි රටකට ඊට සහභාගී වීම් සඳහා අරාධනා කළේ මන්ද යන්නය. 2015 ජනවාරී මාසයේ මෙරට සිදු වූ දේශපාලන වෙනස ජාත්‍යන්තර වශයෙන් වඩාත් වැදගත් ආස්ථානයක් හිමකර ගත් කාරණයකි. එය ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තරව වඩාත් මැනවින් භාවිතා කළ බවද අවිවාදිතය. එසේම ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ වෙළඳපොල සම්බන්ධයෙන් ඇල්මක් දක්වන බොහෝ දෙනෙකු, ඇති වූ දේශපාලන වටපිටාව තුළ තමන්ගේ ස්ථාවරය ශක්තිමත් කිරීමට උත්සහ කළහ.

එම තත්වයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තියක් මෙන්ම, එය ජාත්‍යන්තර වෙළඳපොල තුළ ශක්තිමත් කිරීම සඳහා කෞශල්‍යයෙන් පිරිණු විදේශ ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය වේ. මෙම කාරණයේදී වත්මන් ආණ්ඩුව සැබවින්ම අභියෝගාත්මක වූ ව්‍යාකූල තත්වයකට තල්ලු වී ඇති ස්වභාවයක් දක්නට ලැබේ. රටේ ආර්ථික ප්‍රතිපත්තිය, මහා බැංකුවේ අධිපති සහ මුදල් අමාත්‍යවරයා ඔස්සේ නිර්මාණය වන්නේද? නොඑසේනම්, රටේ නායකත්වය එනම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මගපෙන්වීම ඔස්සේ ක්‍රියාත්මක වන්නේද? යන්න පැහැදිලි නැති කාරණයකි. එය විරින් විට විවිධ හැඩයන් ගෙන ඔබ මොබ සැරිසරමින් සිටින තත්වයට පත්වී ඇති සැටියෙකි.

ඊට සමගාමීව මෙරට විදේශ ප්‍රතිපත්තිය මුහුණ දී ඇත්තේද එවැනිම උභාතෝකෝටිකයකටය. එනම් විදේශ ප්‍රතිපත්තිය, නිර්මාණය කොට ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යවරයා වන මංගල සමරවීර මහතා මූලික කරගෙනද? නොඑසේනම් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මූලික කරගෙනද යන්න අපැහැදිලි කාරණයකි.

මෙරට විදේශ ප්‍රතිපත්තිය කුමක්ද යන්නට ඇති එකම සාක්ෂිය, හිටපු අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක මහත්මිය විසින් පසුකාලීනව වඩාත් මැනවින් ලෝකය හමුවේ තැබූ “නොබැඳි” ජාතීන්ගේ ප්‍රතිපත්තියයි. එය රාජ්‍යය තාන්ත්‍රික කටයුතු වලදී ශ්‍රී ලංකාව වැනි රටකට වඩාත් මහෝපකාරී වූ ප්‍රතිපත්තියක් වූ බව සැලයි. මන්ද, ශ්‍රී ලංකාව අවට සිටින චීනය, ඉන්දියාව මෙන්ම රුසියාව රටේ ආර්ථික සහ අනෙකුත් කරනාවලදී අතිශය වැදගත් වේ. එසේම G7 රටවල් නියෝජනය කරන රටවලට, මෙරට ශ්‍රමය සහ නිෂ්පාදන විකිණීම සඳහා වැදගත් ප්‍රතිපත්තියක් තිබිය යුතුවේ. මීට උචිත එකම ප්‍රතිපත්තිය වූ කලී නොබැඳි පිළිවෙතයි.

දේශපාලනික සහ ආර්ථිකමය වශයෙන් සංක්‍රාන්ති සමයක් පසුකරමින් සිටින මෙරටට වැදගත් වන්නේ රටේ නිෂ්පාදිත ආර්ථිකය ශක්තිමත් කළ හැකි වැඩපිළිවෙලකි. මැදපෙරදිග “වහල් සේවයක් බඳු” තත්වයෙන් මෙරට ශ්‍රමය කොල්ලකන අප්‍රසන්න වැඩපිළිවෙලට පිළිතුරු ලබාදිය හැක්කේ රටේ නිෂ්පාදිත ආර්ථිකය දියුණුකොට, හොරු නොවන සහ රටේ නීතියට වගකියන ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ඇති කිරීමෙනි. ලබා දෙන සහනාධාර ( පොහොර සහනාධාරය වැනි) ඊටත් වඩා වැඩියෙන් ලබාදීමේ වැඩපිළිවෙලක් සහ රටේ සාමාන්‍යය ආර්ථිකය ව්‍යාකූල නොකිරීම මෙහිදී අතිශය තීරණාත්මක වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කතාව තුළ ඍජුව සඳහන් නොවන නොබැඳි ප්‍රතිපත්තියක ඇති ගුණය දක්නට ලැබුණි. නමුත්, G7 සමුළුව අවසානයේ අදාළ සාමාජික රටවල් නිකුත් කළ නිවේදන ඉතා ප්‍රවේශමෙන් කියවීමේදී පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව කෙතරම් ප්‍රවේශම් විය යුත්තේද යන්නය.

G7 සමුළුවට අයත් සාමාජික රටවලට, අනෙක් රටවලට දේශපාලනික කාරණා අලලා බලපෑම් කිරීම හැරෙන්නට, එම රටවල ඇති නීතියට වගකියන නව ආයෝජකයින් හඳුන්වාදීම හෝ එකී රටවල ආර්ථිකය දියුණු කිරීමට දායක විය හැකිද? මෙය සැබැවින්ම අස්ථීර කාරණයකි. මන්ද සාමාජික රටවල් සියල්ලම පාහේ උග්‍ර ණයබරක හිර වී සිටිති. රාජ්‍යය ණයබර ඉහවහා ගොස් තිබේ.

පවතින ආර්ථික අසමතුලිතභාවයෙන් සහ ණයබරින් ගොඩ ඒම සඳහා G7 සමුළුව යෝජනා කරන මූලික කාරණය වූ කලී වෙළඳපොල නිදහස්කරණයයි. මෙය සැබවින්ම නිදහස්කරණයෙන් ඔබ්බට ගිය බහුජාතික සමාගම් මූලික කරගත් අන්තනෝමතික ආක්‍රමණයකට වෙළඳපොල නතු කිරීමය. වෙළඳපොල නිදහස් කරණය හෝ නිදහස වෙළඳාම ( ෆ්‍රී ට්‍රේඩ්) කියා දෙයක් වර්තමානයේ නැති අතර එවැන්නක් තිබුනේ 70 දශකයේ සහ 80 දශකයේ පමණි.

මෙය, ඉන්දියාව සමග ක්‍රියාත්මක කිරීමට යෝජිත සීෆා ගිවිසුමට වඩා විස්තාරණය වූවකි. එහිදී G7 නායකයින් යෝජනා කරන මූලික වෙළඳ ගිවිසුම් කිහිපයකි. එනම් ට්‍රාන්ස් ෆැසිෆික් පාර්ට්නශිප් ( ටි. පි. පි.), ජපාන-යුරෝපා සංගම් ඉකොනොමික් පාර්ට්නාශිප් ඇග්‍රිමන්ට් ( ඊ. පි. ඒ.), ටි. ටි. අයි. පි සහ සි. ඊ. ටි. ඒ. ආදී ගිවිසුම්ය.

මින් ට්‍රාන්ස් ෆැසිෆික් පාර්ට්නශිප් හෙවත් ටි. පි. පි. ගිවිසුම සඳහා අත්සන් කරීමට මෙරට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කැමැත්ත පලකොට ඇති බවට වූ පුවත් මීට පෙර ප්‍රසිද්ධ විය. විශේෂයෙන් ඔහු අමෙරිකා එක්සත් ජනපදයේ, රාජ්‍යය ලේකම් සහ අනෙකුත් ඉහළ පෙළේ නිලධාරීන් හමු වූ අවස්ථාවලදී නිකුත් වූ පුවත් නිවේදන වල අදාළ ගිවිසුම අත්සන් කොට සාමාජික රටක් වීම් සඳහා ලංකාවේ කැමැත්ත පල වූ බව වාර්තා වී තිබේ. නමුත් මෙය, මෙරට දේශීය දේශපාලනය තුළ තවමත් සංවාදයට බඳුන් වී නැති කාරණයකි. අනෙක් අතින්, විදේශ කටයුතු ඇමතිවරයා, මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක කාරණයක් ගැන සරලව සඳහන් කිරීම සැබවින්ම ගැටලුකාරී වේ. රටේ ආර්ථික ප්‍රතිපත්තිය විදේශ රටකදී සඳහන් කිරීම සඳහා ඔහුට ඍජු බලයක් තිබේද යන්න අපැහැදිලි කාරණයකි.

ශ්‍රී ලංකාව ටි. පි. පි. ගිවිසුම අත්සන් කිරීම සඳහා යොමු වන්නේ නම් එය ජාතික වශයෙන් පුළුල් විමසීමකට ලක්කළ යුතු අතර, එහි ඇති හෙළි වී ඇති සහ තවමත් හෙළිනොවූ කාරණා ගැන මනා අවබෝධයක් තිබිය යුතු වේ. අදාල ගිවිසුම සරලව ගතහොත්. මෙරට ආර්ථිකය මෙන්ම ඊට අදාළ සියලුම ක්ෂේත්‍ර වල සම්පූර්ණ බලය මෙරට ජනතාවට අහිමි වීමකි. කෙටියෙන්ම කිවහොත් අදාල ගිවිසුම රටක ස්වාධිපත්‍යට එල්ල කරන ප්‍රභල ප්‍රහාරයකි. අදාල ගිවිසුමේ කිසිඳු කොන්දේසියක් සාමාන්‍යය ජනතාවට වාසිවන ලෙස සහ ඔවුන්ගේ මූලික අයිතීන් තහවුරු වන ලෙස සකස් කොට නැත.

ටි. ටි. පි. ගිවිසුම සම්බන්ධයෙන් මා සමග මීට සති කිහිපයකට පෙර අදහස් දක්වූ ආචාර්ය පොල් ක්‍රෙග් රොබර්ට් සඳහන් කළේ අදාළ ගිවිසුම කිසිඳු නිදහස් වෙළඳාමක් ගැන නොතකන බවත් එය බහුජාතික සමාගම් කිහිපයකගේ වුවමනාවන් ඉටුකිරීම සඳහා තැනූ එකක් බවය. ඔහු, ප්‍රකට ආර්ථික විශේෂඥයකු වන අතර ඇමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ පරිපාලනය සමයේ මහාභාණ්ඩාගාරයේ අතිරේඛ ලේකම්වරයෙකු වශයෙන් සේවය කළේය. රටක ස්වදේශීය ආර්ථිකය දියුණු කිරීමටනම් මෙවැනි ගිවිසුම්වලින් හැකිපමණ දුරස්වීම දුරදර්ශී ක්‍රියාවක් බව එහිදී මතු කරනු ලැබූ මූලික කාරණයක් විය.

G7 සමුළුව සඳහා මෙරට නායකත්වයට ආරාධනා කිරීම සඳහා ප්‍රධාන හේතුව වත්මන් ආණ්ඩුව ටි. පි. පි. ගිවිසුමට අත්සන් කිරීමට කැමැත්ත ප්‍රකාශ කිරීම දැයි ස්ථීරවම දන්නේ නැත. නමුත්, ශ්‍රී ලංකා ආණ්ඩුව තම ආර්ථික සහ විදේශ ප්‍රතිපත්තිය විෂයෙහිලා මුහුණ දී සිටින්නේ අභියෝගකාරී තත්වයකට බව ඉතා පැහැදිලිය. චීනය, තම ප්‍රභල අකමැත්ත ප්‍රකාශ කරමින්, G7 සමුළුව අවසානයේ නිකුත් කළ පිටු 32 කින් සමන්විත ප්‍රකාශන විවේචනය කරනු ලැබුවේ එය අනවශ්‍ය දේශපාලන කාරණා මතු කිරීම සඳහා භාවිතා කොට ඇති බවට චෝදනා කරමිනි. අදාළ ප්‍රකාශනය සහ ඊට ආදාළ පසුබිම් ලේඛණ යලි යළිත් කියවීම සහ ඒවායෙහි පේළි අතර ඇති සැබෑ තේරුම අවබෝධ කරගැනීම ඉදිරි දේශපාලන කටයුතු ශක්තිමත් කරගැනීම සඳහා නුවණට හුරු යැයි සිතේ.

එය තේරුම් ගැනීමට හැකිවන්නේ යම් සේද, G7 සමුළුවේ ඇති සැබෑ රසය විඳීමට හෝ විඳවීමට නායකත්වයට සහ ඔහු වටා සිටින ප්‍රතිපත්ති තීරකයින්ට හැකිවනු ඇත.


නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa

Share on Google Plus