ගෝඨා දේශපාලනයට පැමිණීම හෙවත් බණ්ඩාට නගරය පැමිණීම




ගෝඨා දේශපාලනයට එන බවක් කියයි. 

ආරක්ෂක ලේකම් කාලයේත් ඔහු සිටියේ දේශපාලනයේ ම තමා ය.  ඔහු රාජ්‍ය නිලධාරීන්ට උඩින් පමණක් නොව නීතියටත් ඉහළින් සිටියේ ය. 

ඔහුගේ දෑතේ ලේ ගෑවී නැති බව ඔහු කියයි. භෞතිකව ගත් කල එය ඇත්ත ය. ඔහු කිසිදු ඝාතනයකට භෞතිකව සම්බන්ධ වන්නට නැත. 

ඔහු මෙන් ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ද වැරදිකරු වන්නේ මේ රටේ ඝාතන සංස්කෘතියක් ඇති කිරීම සම්බන්ධයෙනි. එය නීතිය ඉදිරියේ ඔප්පු කරන්නට බැරිකම නීතියේ ගැටලුවක් මිස යුක්ති ධර්මයේ ගැටලුවක් නො වේ. 

මහා පරිමාණ දූෂණ සම්බන්ධයෙන් ද තත්වය එයයි. මහින්ද රාජපක්ෂ දැවැන්ත දූෂණ සංස්කෘතියක් නිර්මාණය කළේ ය. 

රාජ්‍ය ත්‍ර‍ස්තවාදය ද ඇතුළුව ත්‍ර‍ස්තවාදය හා රාජ්‍ය මට්ටමෙන් මහජන දේපල අපහරණය කිරීම මානව වර්ගයාට එරෙහි අපරාධයක් ලෙස විග්‍ර‍හ කරන නීතියක් මානවයා විසින් සංවර්ධනය කර ගත යුතු ය. 

එය කිරීමට බැරිකමක් නැත. හෙරොයින් විකිණීම හා හොර සල්ලි අච්චු ගැසීම / පරිහරණය වැනි ක්‍රියා සම්බන්ධයෙන් එසේ කර තිබේ. 

ගෝඨා වැනි බලයෙන් අන්ධ වී කටයුතු කළ දේශපාලකයකු මහජන නියෝජිත සභා දේශපාලනයට එන එක හොඳ ය. එය එක්තරා අන්දමින් ඔහු පුනරුත්ථාපනය වීමට ඉවහල් වනු ඇත. 

සරත් ෆොන්සේකා මිලිටරි මානසිකත්වයෙන් බොහෝ දුරට ගැලවී ප්‍ර‍ජාතාන්ත්‍රික දේශපාලනයට අනුගත වූ පරිද්දෙන් ගෝඨාට ද වෙනස් වන්නට හැකියාව තිබේ.  

ඝාතන හා දූෂණ සංස්කෘතිය සම්බන්ධයෙන් ඔවුන්ගේ වගවීම ඇති කරන්නට වර්තමාන ආණ්ඩුවට උවමනාවක් හෝ හැකියාවක් නැති එකේ කපන්න බැරි අත ඉඹ ගත්තා ම අපට මොක ද? 

හැබැයි, කවුරු අමතක කළත්, අපි නම් ඒ ඉතිහාසය අමතක නො කරන්නෙමු

http://www.w3lanka.com/

Powered by Blogger.