මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ වෙනුවෙන් පැවැත්වූ විරෝධතාවයේ බැනරයකට වැරදුනාද? (ඉෂාර ලක්මිණ.)



වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ මහතාට මීගමුව මහා නගර සභාව මාසික රැස්වීම වාර්තා කිරීමට ගොස් නැවත නිවස බලා පිටත්ව යන අතරතුරදී මීගමුව උප නගරාධිපති දයාන් ලංසා මහතාගේ ආධාරකරුවන් දෙදෙනෙකුගේ මැර ප්‍රහාරයට ලක් වීමට සිදු විය.



වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ මහතා විසින් මීගමුව මහා නගර සභාවේ සිදු වූ වංචා දූෂණ සහ ටෙන්ඩර් උල්ලංඝනයන් රැසක් පිළිබදව මාධ්‍ය හෙළිදරව් කිරීම පිළිබදව උරණ වූ මීගමුව උප නගරාධිපති දයාන් ලංසා මහතා විසින් මෙම ප්‍රහාරය මෙහෙයවූ බවට ප්‍රබල සැකයක් පවතී.


මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ මහතා වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු ලෙසද ක්‍රියා කරනු ලබයි.ඊයේ (20) දින කොළඹ කොටුවේදී දයාන් ලංසා මහතාව මෙම ප්‍රහාරය සම්බන්ධව වගකිව යුතු නිසා වහාම ඔහුව අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමක් කරන ලෙසට ඉල්ලමින් මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාධරයින් පිරිසක් එක්ව පැවැත්වූ උද්ඝෝෂණයේදී ප්‍රදර්ශනය කළ බැනර් වල ලියා තිබුනේ "මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේට පහර දීම සැලසුම් කළ 'රාජපක්ෂ රෙජීමයේ මීගමු නියෝජිතයා' වහාම අත් අඩංගුවට ගනු!" යනුවෙන්ය.


නමුත්, මේ වන විට දයාන් ලංසා සහ ඔහුගේ සොහොයුරු නිමල් ලංසා අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වමින් යහපාලනය වෙත එක්වී අවසන්ය.එනයින් ඔහු තව දුරටත් රාජපක්ෂ රෙජීමයට අයත් නොවේ.අපට පුදුමය නම් ෆ්‍රෙඩී ගමගේ මහතාට එරෙහි ප්‍රහාරයේ වගකීම තවදුරටත් පරාජිත රාජපක්ෂ රෙජීමය වටාම ගොණු කරන්නේ ඇයිද යන්න ගැටලුවකි.


ඉෂාර ලක්මිණ


Share on Google Plus