විරුද්ධවාදීන් මරණවා කියන ඇමති කවුද?(උපුටා ගැනීමකි.)





"අපිට විරුද්ධ වෙන හැම කෙනෙක්ම මරලා දානවා" කියා චම්පික රණවක ප්‍රකාශ කළේ යැයි භික්ෂුණ් වහන්සේ නමක් තමන් සමග පැවසූ බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසයි.


පළමුව මරන්නේ අපි සමග සිට ගිය අය බවද ඔහු එම භික්ෂූණ් වහන්සේට පවසා ඇතැයිද, උන්වහන්සේ විසින් තමන් වහන්සේට පැවසූබව නාලක හිමියන් සඳහන් කරයි.


පිවිතුරු හෙළඋරුමයේ උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් පැවිදි හඬ සංවිධානය විසින් නාරාහේන්පිට අභයාරාමයේදී අද (21) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව හෙළි කළේය.

ජාතික හෙළ උරුමයේ දුර්දාන්ත පුද්ගලයින් දෙදෙනෙකු සිටින බවත්, එක් අයෙක් චම්පික ඇමතිවරයා බවත්, අනෙක් කෙනා අතුරලියේ රතන හිමියන් බවත්, උන්වහන්සේ පැවසීය.

ත්‍රස්ත විරෝධී ව්‍යාපාරයේ සිටි හිමිනමක් දිනක් රණවක ඇමතිවරයා හමුවීමට ගොස් තමන්ගේ පංසලටද ගොඩ වූ බවත්, එහිදී චම්පික රණවක මහතා විසින් ඉහත ප්‍රකාශය පැවසූයේ යැයි උන්වහන්සේ තමන් සමග කියා සිටි බව නාලක හිමියන් සඳහන් කළේය.

එම ප්‍රකාශය කළ හිමිනම දැන් සිවුරු හැර ඇති බවත්, තමන් එම ප්‍රකාශය සිදුකරන්නේ වගකීමෙන් බවත්, නාලක හිමියන් පැවසුවේය.

මේ ගැන අධිකරණය හමුවේ වැඩිදුර කරුණු ප්‍රකාශ කිරීමට වුවද තමන් වහන්සේ සූදානම් බව උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේය.

එම මාධ්‍ය හමුවට එක්වූ ඉත්කෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පැවසුවේ ගම්මන්පිල මහතා චම්පික රණවක ඇමතිවරයා සමග දීර්ඝ කාලයක් එකම පක්ෂයේ සිටි අය බවයි.

ගම්මන්පිල මහතා ඔස්ට්‍රේලියානු කාන්තාවකට වංචා කළේ යැයි රණවක මහතා මීට පෙර ලංකාවේ කිසිදු පොලීසියකට පැමිණිලි කර නැති බවත්, එසේ කර ඇතිදැයි පෙන්වන ලෙසත්, උන්වහන්සේ අවධාරණය කළේය.

(උපුටා ගැනීම 'අද දෙරණ' වෙබ් අඩවියෙනි.)


Powered by Blogger.