සොසේජ් මැෂින්ස්, පොදු විශ්ව විද්‍යාල සහ​ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ.


-රනිල් වික්‍රමසිංහ

මේ සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා මට ආරාධනා කිරීම පිළිබඳව ස්තුති වන්ත වන අතරම කෙටි වේලාවක් රැදී සිටීමට සිදුවීම පිළිබඳ මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. 1965 මම සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට මම පිළිතුරු ලිව්වා. 1965න් පස්සේ ගණිතය සම්බන්ධ එකම විභාගයකටවත් පෙනී සිටියේ නැහැ. එයින් අදහස් කළේ අපි ගණිතය අමතක කිරීමවත්, ගණිතය පැත්තකට දැමීමවත් නොවේ. ගණිතය වැදගත්.

අද දිනයේදී අප කතා කරන්නේ ගණිතය ගැන නොව විශ්ව විද්‍යාල ගැනයි. පොදු විශ්ව විද්‍යාල ගැනයි. පොදු විශ්ව විද්‍යාල ක්‍රමය අපට ලැබුණේ එංගලන්තයෙන්. මහා බ්‍රිතාන්‍යයෙන්. 15 වන ශත වර්ෂයේ අපේ ප්‍රධාන පිරිවෙන් එනම් සුනේත්‍රාදේවි පිරිවෙන වැනි පිරිවෙන් කඩා වැටීමෙන් පසුව පළමු වතාවට අපට උසස් අධ්‍යාපන ආයතනයක් හැටියට ලැබුණේ ලංකා වෛද්‍ය විද්‍යාලයත්, ඒ සමගම ලංකා නීති විද්‍යාලයත්, ලංකා විශ්ව විද්‍යාලයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ කොළඹ මණ්ඩපයත්, ලංකා විශ්ව විද්‍යාලයත්.

අපි දැන් මේ ක්‍රමය ගැන කතා කරමු. මේ ක්‍රමය ගැන කතා කරන විට අප විශ්ව විද්‍යාලය සමස්තයක් හැටියට සලකන්නේ නැහැ. අපි ශිෂ්‍ය අසහනය ගැන, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වේතන ගැන, විශ්ව විද්‍යාලයේ පාඨමාලා ගැන කතා කරනවා. මෙහිදී විශ්ව විද්‍යාලයේ කාර්ය භාරය මේ සමාජයට ඇතුල් වෙන්නේ කෙබදු අයුරින්ද යන්න ගැන අපට ටිකක් සලකා බලන්නට තිබෙනවා.

අපි දන්නා හැටියට ප්‍රධාන වශයෙන් ලෝකයේ විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් තිබුණේ ක්‍රමවේද දෙකක් පමණයි. එකක් එංගලන්ත ක්‍රමය, එනම් යුරෝපීය මහද්වීපයේ තිබුණු ක්‍රමය, අනික ඇමරිකන් ක්‍රමයයි. එංගලන්ත ක්‍රමය සහ ඇමරිකන් ක්‍රමය යන දෙකෙන් කොයි එක ද පිළිගත යුත්තේ කියලා කාලයක් තිස්සේ මතවාදයත් තිබුණා. අද ඒ ක්‍රමවේදය ඇමරිකන් පැත්තට හැරිලා තිබෙනවා. සාර්ථකම රට ඇමරිකාවයි. අද අනාගතයේදී ඇමරිකාවේ ශක්තිය රඳා පවතින්නේ දළ දේශීය නිෂ්පාදිතය මත නොවෙයි තමන්ගේ දැනුම උඩ, තමන්ගේ විශ්ව විද්‍යාල ක්‍රමය උඩ චීනයටත්, ඉන්දියාවටත් එම දළ දේශීය නිෂ්පාදිතය අරගන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ විශ්ව විද්‍යාලවලට ලෝකයේ දක්‍ෂම ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගන්නවා නම්, එතැනින් පිටවෙන දක්‍ෂම ආචාර්යවරු, මහාචාර්යවරු තමන්ගේ විශ්ව විද්‍යාල තුළ, නැත්නම් තමන්ගේ රටේ තිබෙන පර්යේෂණ, පුද්ගලික ආයතනයන්හි රඳවා ගන්නවා නම් ඒක සාර්ථක වෙනවා. එය දැනුම පදනම් කර ගත්ත සමාජයක්.

ඇත්ත වශයෙන්ම වර්තමානයේ එංගලන්තයේ විශ්ව විද්‍යාලත්, විශේෂයෙන්ම ප්‍රතිසංවිධාන ගණනාවකටම යොමු වෙලා තිබෙන්නේ 1980 දසකයේ සිටයි. අවුරුදු පහකට, හයකට වරක් එම ආණ්ඩු විශේෂයෙන්ම ඒ ප්‍රතිසංවිධාන හා ප්‍රතිසංස්කරණ සිදු කර ගෙන යනවා. ඕස්ට්‍රේලියාවේ තිබෙන්නේ මීට වඩා වෙනස් ක්‍රමවේදයක් ඇත්ත වශයෙන්ම ඕස්ට්‍රේලියාවේ ඇමරිකානු ක්‍රමයත්, බ්‍රිතාන්‍ය ක්‍රමයත් සම්මිශ්‍රණය වූ ක්‍රමවේදයක් ඇති කරලා තිබෙන්නේ.

අපි අලුතින් ආරම්භ කරන්නට යන එක විශ්ව විද්‍යාලයක් නම් පොලිස් සහ අපරාධ විනිශ්චය (Police & Criminal Justice) විශ්ව විද්‍යාලයයි. ඒ සඳහා අපි පදනම් කර ගන්නේ බ්‍රිතාන්‍ය ක්‍රමයටවත්, ලංකාවේ දැනට පවතින ක්‍රමයටවත් අනුව නොවේ. ඕට්‍රේලියාවේ ඩියැකින් විශ්ව විද්‍යාලයේ ක්‍රමවේදය අනුව යමිනුයි අපි මේ විශ්ව විද්‍යාලය සංවිධානය කර ගෙන යන්නේ. එම විශ්ව විද්‍යාලයට උපකුලපතිවරයකු ඉන්නවා. ඇමරිකාවේ වාගේම ඒ උපකුලපතිවරයා තමයි මණ්ඩලයේ සභාපතිවරයා. ඒ අනුව අපිට මෙය සකස් කරන්න තිබෙනවා. වර්තමානයේ විශ්ව විද්‍යාල ගැන පමණක් අවධානය යොමු කරලා මදී. අපි විශේෂයෙන්ම පළමුවෙන්ම අවධානය යොමු කළ යුතු එක කරුණක් තිබෙනවා. ඒ තමයි මුළු අධ්‍යාපන ක්‍රමවේදය.

අද අපේ පාසල් අධ්‍යාපන ක්‍රමවේදය කඩාවැටිලයි තිබෙන්නේ. එම නිසා විශේෂයෙන්ම අපේ මූලික අවධානය යොමුවී තිබෙන්නේ පාසල් අධ්‍යාපන ක්‍රමය යළි නඟාසිටුවීමටයි. එතැනදී අපි එක උදාහරණයක් ගත්තේ ඇමරිකාවත්, ඕස්ට්‍රේලියාවත් වැනි රටවල්වලිනුයි. අපේ යුතුකම හා වගකීම සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම අවුරුදු 13 ක් පාසලේ රඳවා ගෙන අධ්‍යාපනයක් ලබාදීමයි. උපකාරක පන්තිවලට බැනලා වැඩක් නැහැ. උපකාරක පන්තිවලට ළමයින් යන්නේ අපේ තිබෙන අඩුපාඩුකම් නිසයි ඒ ගැන අවධානය යොමු කරන තෙක් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. අපි හොඳම ගුරුවරු හොඳම විදුහල්පතිවරුන් තෝරා ගන්නේ නැතිව දේශපාලන හිතවත්කම් මත විදුහල්පතිවරු පත් කරනවා නම් මේ තත්ත්වය ඇති වීම වළක්වන්න බැහැ. අපේ පළාත් සභා සහ මධ්‍යම රජය එවැනි දේවා සිදුකොට පසුව ඒවාට ප්‍රතිකර්මය, ටියුෂන් පන්ති තහනම් කිරීම නොවේ. විභාගවලින් හොඳ විදුහල්පතිවරු පත් කිරීමයි. හොඳ ගුරුවරු පත් කොට හරිහැටි අධ්‍යාපන කටයුතු කරනවා නම් ටියුෂන් පන්ති අවශ්‍ය වන්නේ නැහැ. විදුහල්පති ඇබෑර්තු හාර දහසක් පුරවන්නට සිදු වුණා කියලා මට අධ්‍යාපන ඇමැතිතුමා ළගදී කිව්වා.

අපි පහේ ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේ ඇයි? දරුවන්ට පහ වසරේදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමෙන් අත්වන ප්‍රතිලාභය කුමක් ද? සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව විභාගය ගන්න දරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඒ පාසලෙන් පිට වෙන්නේ නැහැ. කොටසකට ඊට වඩා හොඳ පාසල්වලට යන්න අවස්ථාව ලැබෙනවා. ඊට ඉඩදිය යුතුයි. එය නවත්වන්න හොඳ නැහැ. විභාගවලින් හෝ යම්කිසි ක්‍රමයකින් හරි ඔවුනට යන්න ඉඩ දෙන්න ඕන. ඒ වගේම ඇයි විශාල සංඛ්‍යාවක් විභාගයක් අරගෙන තමන්ගේ පාසලේ ඉන්නේ. දෙවනුව සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව වැඩි කොටසක් පාසැලින් ඉවත් කරලා දාන්නේ ඇයි? රාජකීය, ආනන්ද, විශාඛා වැනි ප්‍රධාන පෙළේ විද්‍යාල ගැන බැලූවාම සාමාන්‍ය පෙළෙන් 90% ක්, 100% ක් සමත් වෙනවා. මේ පරතරය මත කොහොමද අපි විභාග ක්‍රමයක් ගෙන යන්නේ. එක කොටසක් හැලෙනවා. මෙයට නොයෙක් සමාජ හේතු තිබෙනවා. මේවාට අපි ප්‍රතිකර්ම යෙදිය යුතුයි. එම නිසා අපේ යුතුකම විය යුත්තේ සියලු සිසුන් අවුරුදු 13 ක් පාසලේ රඳවා තබා ගැනීමයි. අපි පාසල් ක්‍රමය දියුණු කළ යුතුයි. දකුණේ යුද්ධයක් තිබුණේ නැහැ. ඒත් දකුණේ අප කළේ කුමක්ද? දකුණේ දේශපාලනය කරලා අධ්‍යාපන ක්‍රමය නැති කරලා දැම්මා. යාපනයේ හොඳම අධ්‍යාපන ක්‍රමයක් තිබුණා නමුත් යුද්ධය නිසා එය කඩාකප්පල් වුණා. දැන් මේ දෙකම දියුණු කරලා ඉදිරියට ගෙන යන්නට තිබෙනවා. අපි පාසල් අධ්‍යාපනය කෙරෙහි අපි අවධානය යොමු කළාම, විශේෂයෙන්ම මේ හැම කෙනාටම දැන් කරන විෂයයන් අනුව දිගටම පාසලේ රඳා පවතින්නට බැහැ. සමහරු පාසැල් හැරයන්නේ ඒනිසයි. එම තත්ත්වය වලක්වා අවුරුදු 13 ක් පාසලේ හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතුව තිබෙනවා.

පාසල කියන්නේ අධ්‍යාපනය ලබා දෙන තැනයි. ඒකෙන් කොටසකට විශ්ව විද්‍යාලයට යන්න පුළුවන්. අපේ අඩු පාඩුව වී තිබෙන්නේ සාමාන්‍ය පෙළෙත්, උසස් පෙළෙත් උගන්වන්නේ විශ්ව විද්‍යාලයට යන්න පුළුවන් විෂය ධාරාවන් පමණයි. ඒ නිසා අපි සාමාන්‍ය පෙළට තවත් විෂයන් ඇතුළත් කළ යුතුයි. සාමාන්‍ය පෙළ සිසුන් පාසැලෙන් එළියට ඇද දමන විභාගයක් නොවිය යුතුයි. එවිට සෑම කෙනාටම ඉන්න පුළුවන්. විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන්නට උවමනා විෂයන් කුමක් ද කියන එක ඒක ප්‍රශ්නයක් නොවෙයි. ක්‍රීඩාව කරන්නට කැමැති කෙනෙකුට, කලාව කරන්නට කැමැති ළමයෙකුට එය කළ හැකියි. පාසල, සමාජයේ කේන්ද්‍රස්ථානය කරන්නට අවශ්‍යයි. විශේෂයෙන් එතැනදී අපේ ආකල්ප වෙනස් කරනවා නම් විශ්ව විද්‍යාල අධ්‍යාපනයේත් ආකල්ප වෙනස් කරන එක ප්‍රශ්නයක් නොවේ.

විශ්ව විද්‍යාලය දිහා සලකලා බැලූවාහම පොදු විශ්ව විද්‍යාලයක් කියන්නේ කුමක්ද? පොදු විශ්ව විද්‍යාලයක් කියන්නේ ලාභ නොලබන විශ්ව විද්‍යාලයක්. ඒ අයට ගාස්තු අය ගාස්තු අය කරන්න පුළුවන්. ඇමරිකා පොදු විශ්ව විද්‍යාලයේ ගාස්තු අය කරන්න පුළුවන්. යුරෝපයේ ගාස්තු අය කරනවා. ඒත් හැම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ගාස්තු අය කරනවා නම් තමන්ගේ රටෙන් එනවා නම් ඒ අයට ශිෂ්‍යත්වයක් ලබලා දෙනවා. නැත්නම් සහනාධාර ක්‍රමයකට විශේෂයෙන්ම ණය ලබලා දෙනවා අවුරුදු 20 කින් 25 කින් ගෙවන්නට පුළුවන් අන්දමට. ඒවා ලාභ ලබන්නේ නැහැ. ප්‍රධාන විශ්ව විද්‍යාල රජයේත් නොවෙයි. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය, ලන්ඩන් විශ්ව විද්‍යාලය, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය, ඒ විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්, ඒ විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩල තමයි ඒවා පාලනය කරන්නේ. ඒ නිසා ලංකාවේ විශ්ව විද්‍යාලවල නිදහස් අධ්‍යාපනය තිබිය යුතුයි. හැම වේලේම මම ඒ මතයේ ඉන්නවා.

ඒත් ලංකාවේ තිබෙන විශ්ව විද්‍යාලවල පාලනය අපි කොහොමද කරන්නේ. කවුන්සිලයක් පත් කරන්න අපි අමාත්‍යංශයට භාර දෙනවා ද? විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට භාර දෙනවා ද? නැත් නම් අපි හැම විශ්ව විද්‍යාලවලටම භාරකාර කණ්ඩායමක් පත් කරනවා ද? සුදුසු අය තෝරන්නේ කොහොමද? විශ්ව විද්‍යාලවලින් පිටවුණ ශිෂ්‍යයින්ටත්, ආචාර්ය මණ්ඩලයටත්, ආචාර්ය මණ්ඩලයේ නොවන අයටත්, රජයටත්, ව්‍යවස්ථා දායක මණ්ඩලයටත් ඒවා තෝරන්න ඉඩදීලා ඒවායේ භාරකාරත්වය ලබා දෙනවා. මම හිතන්නේ එහෙම කළොත් සමහර විශ්ව විද්‍යාලවලට විශාල වගකීමක් භාර ගන්න පුළුවන්. මම ඉන්න කොළඹ විශ්ව විද්‍යාලයේ ආදී ශිෂ්‍යයින්ගෙන් ඇත්ත වශයෙන්ම ආධාර ලබා ගන්නවා නම් විශාල මුදලක් අපිට ලබා ගන්න පුළුවන්. මේ අවට තිබෙන පාසල් සියල්ලම මම ගිය රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ආනන්දය මේ සියල්ලම පවත්වාගෙන යන්නේ ආදි ශිෂ්‍යයන්ගේ ආධාරවලින්. කොළඹ විශ්ව විද්‍යාලයේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උදව් කරන්න පුළුවන් බොහෝ දෙනෙක් ඉන්නවා. අපි ඒ ක්‍රමවේදයට ගිහින් නැහැ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අය, කැලණිය විශ්ව විද්‍යාලයේ අය, රට ගිය අය මේ අයගේ උගත්කම්වලින් අපි ප්‍රයෝජනය ගන්නට ඕන. මේ මණ්ඩල පිළිබඳව අපි අලුතින් හිතන්නට ඕන. එම තත්ත්වය යටතේ රජයේ මුදල් වැඩි වැඩියෙන් තවත් විශ්ව විද්‍යාලවලට දෙන්න පුළුවන්. ඒ වගේම සබරගමු විශ්ව විද්‍යාලය, රජරට විශ්ව විද්‍යාලය වැනි අනිකුත් විශ්ව විද්‍යාල වෙත අපි අවධානය යොමු කරන්න ඕන. දෙවනුව මේ රටේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයට පෙර මේ රටේ ආචාර්යවරුන්ගේ අධ්‍යාපනය ගැන සිතා බැලිය යුතුයි. ආරම්භයේදී ඒ පිළිබඳව දැනුවත් කිරීමේ ආයතනයක් ඇති කිරීම හා පශ්චාත් උපාධි ලබා දිය යුතු අන්දම ගැන විමසා බැලිය යුතුයි. අපේ විශ්ව විද්‍යාලවලට විදේශ විශ්ව විද්‍යාල සමග එකතු වී ලංකාව තුළ පශ්චාත් උපාධි ලබාදීමට පුළුවන් කම තිබෙනවා නම් ඒක ලොකු දෙයක්. ආණ්ඩුවට පුළුවන් මුදල් ලබා දෙන්න. මේ සියලූ දේ කරන්නට පෙර අපේ ආචාර්ය මණ්ඩලයට විශ්ව විද්‍යාලවල දෙක තුනක නැත්නම් වෙනම ආයතනයක විදේශ භාෂා දැනුවත්කම වැඩි කරන්නට ‘ලැන්වේජ් ලැබ්’ භාෂා විද්‍යාගාරයක් පිහිටුවීමට අවශ්‍යයි. ඉංග්‍රීසි භාෂාව පමණක් නොව සිංහල මාධ්‍ය අයට දෙමළ භාෂාවත්, දෙමළ මාධ්‍ය අයට සිංහල භාෂාව ඉගෙන ගන්නත්, චීන, හින්දි වැනි භාෂා දැනුම ලබාගත හැකි ආයතන දිහා බලමු. එතැනට යමු.

දැන් අපි උසස් පෙළ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැන කතා කරමු. ඔවුන්ට තමන් කැමැති පාඨමාලාවක් කරන්න ඉල්ලූම් කරන්න ඉඩ දෙන්නේ නැත්තේ ඇයි? ඉල්ලන පාඨමාලාව නොලැබෙන්න පුළුවන්. අඩු ගණනේ ඉල්ලීමක්වත් කරන්න ඉඩ නොදෙන්නේ ඇයි? අද ප්‍රතිඵලය ගන්නවා ඉසෙඩ්කෝර් එක ගන්නවා. ඒක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යවනවා. එතැනින් ප්‍රතිඵල පිට කරනවා. විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙනවා. ඊට පස්සේ අධ්‍යාපන දේශනවලට සහභාගී වෙනවා. දේශන කඩා කප්පල් කරනවා. විභාගයට යනවා, පිට වෙනවා. ඉංග්‍රීසියෙන් කියනවා ‘ඉට්ස් අ සොසේජ් මැෂින්’ එච්රයි වෙන්නේ. මස් ටික මේ පැත්තෙන් දමනවා අනිත් පැත්තෙන් සෙසේජ් පිටවෙනවා. ඊට පස්සේ අහනවා මොකක් ද මේ ප්‍රශ්නේ කියලා. අන්න ඒ දිහා බලලා අපිට විසඳුම් ලබා දෙන්න තිබෙනවා. ඒ පාඨමාලාවන් දිහා බලන්නට තිබෙනවා.

අපිට ලංකාවේ ඉතිහාසයයි, ගණිතයයි එකට ඉගෙන ගන්න බැහැ. සංස්කෘතිකයි, භෞතික විද්‍යාවයි එකට ඉගෙන ගන්න බැහැ. වෙන රටවල එවැනි විෂයයන් දෙකක් එකට ඉගෙන ගන්න අවස්ථා තියෙනවා. අන්න ඒ ප්‍රශ්න අපි විසඳන්න ඕන. ලබා දෙන හැම රුපියලෙන්ම ප්‍රයෝජන අරගන්න ඕන. ශිෂ්‍ය අසහන ප්‍රශ්න තිබෙනවා. ශිෂ්‍යයන්ට විශේෂයෙන්ම තමන්ගේ වැඩකටයුතු කර ගෙන යන්න අවස්ථාව තිබෙන්න ඕන. ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විනෝද වෙන්න අවස්ථාව තිබෙන්න ඕන. ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්, විසින් මානව හිමිකම් හා විශ්ව විද්‍යාලයත්, ආරක්ෂා කරන්නට ඕන. මේ රටේ නීතියක් තිබෙනවා. මම හිතන්නේ තව අවුරුදු දෙකක් තුනක් යන්නට ඉස්සෙල්ලා දෙමව්පියන් කිහිප දෙනෙක් හෝ ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් මගේ මානව හිමිකම් ආරක්‍ෂා කළේ නැහැ කියලා විශ්ව විද්‍යාලයට විරුද්ධව මානව හිමිකම් නඩුවක් දමාවී. එතැනදී අපිට බේරන්න බැරිවෙයි. එහෙම අවස්ථාවකදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට හෝ අදාළ අයට ඒ වන්දිය ගෙවන්න සිදු වෙයි. මොකද ඒක නීතියේ කොටසක්. ඒ හැම කෙනෙකුගේම මූලික මානව හිමිකම් ආරක්‍ෂා කරන්නට තිබෙනවා.

මෙතැනදී විශේෂයෙන්ම ශිෂ්‍යයන්ගේ බාහිර ක්‍රියාකාරකම් ගැන, ඒ අයට අරමුදල් අඩුවීම ගැන මෙහි දේශනයකදී සාකච්ඡා කරනු මට ඇසුණා. ඒකට මම විසඳුමක් සොයලා තිබෙනවා. එන අධ්‍යයන වර්ෂය තුළදී ඉල්ලීමක් කරන්න හොඳ ශිෂ්‍ය ව්‍යාපෘතිවලට. අපි වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. හොඳම ව්‍යාපෘතිවලට වෙනම අරමුදලකින් මුදල් ලබලා දෙනවා. රුපියල් මිලියන 200 ක් ඒකට වෙන් කරලා තිබෙනවා. තමන්ටත් මුදල් කොටසක් එකතු කර ගන්නට පුළුවන් නම් හොඳයි. බැරිනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ශිෂ්‍ය ව්‍යාපෘතියකට රුපියල් 25,000 ක්, 50,000 ක් ලක්‍ෂයක් වගේ තිබෙනවා. සමහර ඒවා ලක්‍ෂ 5 ක් විතර යයි. මම හිතන්නේ නැහැ එච්චර විද්‍යා අංශයේ සමහර ව්‍යාපෘතිවලට උවමනා වෙයි මේ මුදල් ටික අරගෙන යන්න.

ඒ අනුව අපි ශිෂ්‍යයින්ගේ බාහිර ක්‍රියාකාරකම් සඳහා වැඩ කටයුතු කර ගෙන යනවා. දැනටම විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සඳහා දෙන මුදල වැඩි කර තිබෙනවා. මම හිතන්නේ බිලියනයක් විතර තිබෙනවා. මීට අමතරව සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමාගේ අමාත්‍යංශයෙනුත් තවත් මුදල් ලැබෙන වැඩ කොටසක් තිබෙනවා.

ඊට අමතරව ඉතිහාසය පිළිබඳ වෙනම ආයතනයක් ස්ථාපිත කිරීමට මම කටයුතු යොදා තිබෙනවා. අපි කොයිතරම් හොඳට අපේ සිංහල කම ආරක්‍ෂා කරනවා ද කිවහොත් අපේ ඉතිහාසය කුමක් ද කියලා අපි දන්නේ නැහැ. ඉතිහාසය පිළිබඳ හොඳම පොත් නිකුත් කරලා තිබෙන්නේ ලංකා විශ්ව විද්‍යාලයෙන් හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්. “හිස්ට්‍රි ඔෆ් සිලෝන්” පළමුවෙන්ම පෘතුගීසි යුගය දක්වා වෙළුම් දෙකකින් නිකුත් කළා. එහි සංක්‍ෂිප්ත ඉතිහාසය ඉන් පසුව නිකලස් සහ පරණවිතාන මහත්වරුන් අනුව පිළියෙල කරලා තිබෙනවා. ඉන් පස්සේ තවත් වෙළුම් දෙකක් කේ.එම් ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෘතුගීසි, ඕලන්ද හා බ්‍රිතාන්‍ය යුගයත් ගැන පිළියෙල වෙනවා.

මේවා ලියූ ඉතිහාසඥයන් දැන් ඉන්නේ කොහේද? අද අපට මේවා ඉදිරිපත් කරන්න බැරි ඇයි? එක යුගයකදී ඉන්දියාවට වඩා දක්‍ෂ ඉතිහාසඥයෝ අපිට හිටියා. අද අපට වඩා දක්‍ෂ ඉතිහාසඥයෝ ඉන්දියාවේ ඉන්නවා. ඒක එක අංශයක්. මෙවැනි අංශ ගණනාවක් තිබෙනවා. මේ අංශ දියුණු කරන්නට අවශ්‍ය වැඩසටහන් අපි ක්‍රියාත්මක කර ගෙන යනවා.

මම එකක් කියන්නට කැමැතියි. අපි ටිකක් අලුතින් හිතමු. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ අපි ජාතික ආණ්ඩුවක් ඇති කළා. ප්‍රධාන පක්‍ෂ හැම එකක්ම මෙම ආණ්ඩුව තුළ ඉන්නවා. මේවා අපි හැමදාම කර ගෙන යන්නේ නැහැ. මෙය රටක් දියුණු කරන්න ලැබුණු හොඳම අවස්ථාවක්. අපට ආර්ථිකය වගේ අංශ දියුණු කරන්නට යම් යම් පියවර ගන්න පුළුවන්. නමුත් මෙතැනදී අමාරුම ක්ෂේත්‍රයක් තමයි විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ප්‍රතිසංවිධානය. දැන් ප්‍රධාන පක්‍ෂ ඔක්කොම එකට එකතු වෙලා තිබෙන නිසා මම හිතන්නේ විශ්ව විද්‍යාලවල ආචාර්යවරුනුත්, පාලක මණ්ඩලවලත් අපි සියල්ලම එකතු වෙලා විශ්ව විද්‍යාලයන්හි උසස් අධ්‍යාපනයේ ප්‍රතිසංවිධානයත් මේ කාලයෙන් ප්‍රයෝජනය අරගෙන කරමු කියල මම කියන්නට කැමැතියි. එය නොකෙරුවොත් විශ්ව විද්‍යාලයට නැවත මෙවැනි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

වර්තමානයේ නොව අතීතයේ විශ්ව විද්‍යාලයට තමන්ගේ දූදරුවන් එවන්න දෙමව්පියන් තමන්ගේ කණකර බඩු උකස් තැබුවා. ඉන් පස්සේ ඉඩම් ටිකත් විකුණුවා. අද සමහර තැන්වල පර්චස් එකක් මිලියනයත් දෙකත් වගේ ගාණකට විකුණන්නට පුළුවන් නිසා සමහරු තමන්ගේ දරුවන් පිටරට යවන්නට යනවා. වැඩි කල් යන්න ඉස්සෙල්ලා සමහර රටවල් චීනය වැනි රටවල් ඒ රටවලට ගිහිල්ලා ඉගෙන ගන්න අපේ අයට විශේෂයෙන්ම සහනදායී ලෙස ණය දෙන්න පටන් ගනිවී. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයත්, විශ්ව විද්‍යාල ‍ක්ෂේත්‍රයත් අද විශේෂයෙන්ම තරගකාරී ක්ෂේත්‍රයන්. මේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලෝකයේ හැම කොනකම ඉන්නවා. නේපාලේ, බංගලාදේශයේ ඉන්නවා. නැති තැනක් නැහැ මම හිතන්නේ. වැඩිකල් යන්න ඉස්සෙල්ලා මොංගෝලියාවෙත් ඉදීවි. අපි අපේ විශ්ව විද්‍යාල පද්ධතිය දියුණු කරනවා නම් අපිට මීට වඩා හොඳ අනාගතයක් ඇති වෙනවා.

ඉතින් මේ අවස්ථාවේදී ඔබතුමන්ලා සියලූ දෙනාම මේ පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීම පිළිබඳව මගේ සතුට ප්‍රකාශ කරනවා. ඔබ තුමන්ලා නියෝජන කරන “ෆූටා” සංවිධානය සාකච්ඡා කරන්නට මගෙන් වෙලාවක් ඉල්ලා තිබුණා. මම හිතන්නේ මේ ජූනි මාසය අවසන් වන කොට පාසල් අධ්‍යාපනයේ මූලික වැඩකටයුතු ටික අවසන් කොට පළාත් සභා සමග සාකච්ඡා කරන්නට තිබෙන නිසා ඉන් පසුව විශ්ව විද්‍යාල සමග ඒ සාකච්ඡා ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා.

*2016.06.04 වන දින බොරලැස්ගමුව, රත්තනපිටිය, ෆින්ගාරා ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ක්ලබ්හිදී පැවැති ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණිත අංශය විසින් සංවිධානය කරනලද​ ජාත්‍යන්තර කාර්මික ගණිත සම්මන්ත්‍රණයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ කතාව.

Share on Google Plus