ගෝඨාභය ශ්‍රී ලංකා ඉරණම තීන්දු කරයිද.....?

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබදව කතාබහක් මේ වන විට සමාජයේ නිර්මාණය වී පවති.එය නිර්මාණය කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා පාර්ලිමේන්තුවට පත්ව පසුව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබූ හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින්ය.ඔහු අනවශ්‍ය ආකාරයට පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව විවේචනයට යාම තුළ සිදු වූයේ යහපාලන ආණ්ඩු විරෝධී පාර්ශවය තුළත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අකමැති හමුදාවේ නිලධාරින් තුළත් ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි අනුකම්පාවක් / කතාබහක් ඇති වීමයි.
කම්කරු සබදතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා විසින් කොළොන්න ආසනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසකගේ හමුවක් අමතමින් පවසා ඇත්තේද ගෝඨාභය රාජපක්ෂ මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන නායකයා ලෙස පත් කරගැනීම සම්බන්ධව මේ වන විට පක්ෂයේ නායකයින් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

මේ අතර 2016.06.05 ඉරිදා දින 'සත්හඩ' පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය වූ පුවත ඔබගේ දැන ගැනීම පිණිස මෙසේ ගෙන ඒමට අවසර!



"හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබී ඇති පැමිණිල්ලක් අනුව ඔහුට එරෙහිව නෛතික ක‍්‍රියාමාර්ග ගැනීමට ජ්‍යෝතිෂ්‍යයට අනුව ‘සුභ නැකතක්’ නොලැබීම මත එම කටයුත්ත තවදුරටත් ප‍්‍රමාද වෙමින් පවතින බව එම කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

මේ වන විටත් කොමිසම විසින් සිදු කළ විමර්ශනවලට අදාළ ලිපි ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඒ අනුව රාජපක්ෂ මහතාට අධි චෝදනා පත‍්‍ර ද සකස් කරමින් පවතින බව පැවසේ.

අධි චෝදනා පත‍්‍ර අධිකරණයට බාර දීම සුභ නැකතකින් කළ යුතු බවට නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියගේ විශේෂ වුවමනාවක් මත බවත් දැන ගැනීමට තිබේ. මෙවර සුභ නැකතකට අනුව කටයුතු කිරීමට හේතු වී ඇත්තේ මෙයට පෙර මෙම කොමිසම මඟින් රාජපක්ෂ යුගයේ දූෂිතයන් සම්බන්ධයෙන් කළ විමර්ශන හා නීතිමය කටයුතු අසාර්ථක වීම නිසා ය. කෙසේ නමුත් රාජපක්ෂ පාලන සමයේ වූ දූෂණ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව තවමත් නිසි පරිදි රටේ නීතිය ක‍්‍රියාත්මක නොවෙන බවට මහජනතාවගෙන් ද චෝදනා එල්ල වෙමින් පවතී.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසම වෙත ලැබී තිබූ පැමිණිල්ලට පදනම්ව ඇත්තේ ඇවන්ට්ගාඩ් සමුද්‍රාරක්ෂක සමාගම සහ රාජ්‍ය සමාගමක් වන රක්නා ලංකා ආරක්ෂක සමාගම අතර වූ ගිවිසුම අනුමත කිරීම නිසා රටට ලැබිය යුතු ආදායමක් අහිමි කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකි. රක්නා ලංකා සමාගම විසින් සිදු කරනු ලැබ ඇතැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බරපතළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් ද විමර්ශන කටයුතු සිදු කරමින් තිබිණි. කෙසේ නමුත් මෙම චෝදනා ඔප්පු කර ගැනීම සඳහා ජ්‍යෝතිෂ්‍යය සහය ලබා ගෙන හෝ සාර්ථක වීම අල්ලස් කොමිසමේ අපේක්ෂාව විය හැකි වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතාව වරදකරුවකු කිරීම සඳහා නිසියාකාර විමර්ශන කටයුතු සිදු විය යුතු අතර අවශ්‍ය සාක්ෂි නිසි පරිදි සකස් කර ගැනීම විය යුතුය. එසේ නොමැතිව අධිකරණය හමුවට යෑම සිදු වන්නේ නම් ග‍්‍රහ තාරකාවන්ට යුක්තිය පසිඳලීම සිදු කළ හැකිවන්නේ නැත.

වර්තමාන ආණ්ඩුවේ දූෂණ විරෝධී සංදර්ශනවල ඉදිරියෙන් සිටි චරිතයක් වූ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පසුගිය කාලයේ ජනමාධ්‍ය තුළ තාරකාවක් බවට පත්ව සිටියාය. ඒ සම්බන්ධයෙන් එල්ල වූ විවේචන සහ අල්ලස් කොමිසමේ මන්දගාමී ක‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් එල්ල වූ විවේචන හේතුවෙන් පසුගිය කාලයෙහි ඇය මාධ්‍ය තුළ දකින්නට සිටියේ ද නැත."

- උපුටා ගැනීම - ('සත්හඩ ඉරිදා පුවත්පත' -සුභාෂ් ජයවර්ධන.)
මේ අනූව අපට නිගමනය කළ හැකි තර්කය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළග නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.වසර 30 දරුණු යුද්ධය අවසන් කිරීමට ආරක්ෂක ලේකම්වරයා ලෙස ත්‍රිවිධ හමුදාවන් සම්බන්ධීකරණය කරමින් අවි ආයුධ සහ ආහාර ඇදුම් සෙබලුන්ට කළට වේලාවට සපයමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පුළුල් සේවාවක් කළ ඇති බවට ජනතාව තුළ යම් පිළිගැනීමක් ඇත.

යුද්ධය නිම වීමෙන් අනතුරුව රණවිරු පවුල්වල සුබසාධනය වෙනුවෙන් මෙන්ම 'රක්නා ලංකා' හරහා විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනය සහ ආදායම් මාර්ග සකස් කර ගැනීම වෙනුවෙන්ද,කොළඹ සහ තදාසන්න නගරවල කඩිනම් නාගරික සංවර්ධනය වෙනුවෙන්ද යම් කැපවීමක් කළ බවට ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනතාව තුළ යම් පිළිගැනීමක් ඇත.එමෙන්ම වර්තමාන යහපාලන ආණ්ඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සුදු වෑන් මගින් යම් පුද්ගල පැහැරගැනීම් සිදු කරන ලද බවටත්,'රක්නා ලංකා' / 'ඇවන්ගාඩ්' සමාගම් හරහා අනිසි ලෙස මුදල් රැස් කළ බවටත් ප්‍රබල ලෙස චෝදනා පවතී.

මෙවන් වාතාවරණයක් 'ගෝඨාභය රාජපක්ෂ' චරිතය පිළිබදව ශ්‍රී ලාංකේය සමාජය තුළ ඇත.ගෝඨාභය රාජපක්ෂ මහතා සක්‍රීය දේශපාලනයට පැමිණෙයිද?ඔහුට ශ්‍රී ලංකාවේ මීළග දේශපාලන පරිච්ඡේදය ලිවීමට හැකිවේද?අපි මේ සියල්ල දෙස විමසුම් ඇසින් බලා සිටිමු!

ඉෂාර ලක්මිණ
Powered by Blogger.