රට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක - පා.ම. විමල් කියයි...(උපුටා ගැනීමකි.)



රජය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ පවත්නා පනත්වලට ගෙන එන සංශෝධන ඇතුළු පනත් කෙටුම්පත් 15ක් කඩිමුඩියේ ගෙන ඒමට සැලසුම් කර ඇති බව ජානිපෙ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවලත්,එයින් පිටතත් හදිසියේම මෙම පනත් සකස් වන බවත්,ඒවා මේ වසර අවසානයට පෙර සම්මත කරවා ගෙන ජනමත විචාරණයකින් නව ව්‍යවස්ථාවද සම්මත කරවා ගැනමට උත්සාහ දරන බව වීරවංශ මහතා කියා සිටියේ අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ප්‍රාන්ත ආණ්ඩු ශක්තිමත් කොට ජාතිවාදය හා බෙදුම්වාදය පෝෂණය කරන ආණ්ඩුක්‍රමයක් ස්ථාපිත කෙරෙන බවත්, පනත් කෙටුම්පත් 15ද රටට හිතකර ඒවා නොවන බවත් හෙතෙම සඳහන් කළේය.

ගෙන ඒමට නියමිත'ආර්ථික සංවර්ධන විශේෂ විධිවිධාන පනත'මගින් රටේ ඕනම ඉඩමක් එක ගැසට් නිවේදනයකින් පවරා ගැනීමට හා විකිණීමට හෝ බදු දීමට විෂය බාර අමාත්‍යවරයාට පැවරෙන බවත්,එමගින් විදේශන්ට මේ රටේ ඉඩම් ටික විකුණා දැමීමට මග පෑදෙන බවත් ඔහු කියා සිටියේය.

විදේශ ආ‍යෝජකයින් දිරි ගැන්වීමට හා ආයෝජන සදහා ඉඩම් ලබාදීමේ විධිවිධාන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පැවරී ඇති හෙයින් නීක්‍යනුකූලව කටයුතු කිරීමට එය ප්‍රමාණවත් වන නමුත් නව පනත මගින් අමාත්‍යවරයෙකුට සුපිරි බලයක් සහිතව අත්තනෝමතිකව ක්‍රියා කිරීමට අවස්ථාව සැලසෙන බව හෙතෙම අවධාරණය කළේය.

ගෙන ඒමට නියමිත'විදේශ විනිමය පාලන පනත"මගින් විදේශ විනිමය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව සතු බලය උදුරා ගනිමින් ඕනම කෙනෙකුට විදේශ විනිමය ගෙන ඒමට හා රටින් ගෙනයාමට හැකි ලෙස නීති සංශෝධනය කරන බවත්, එය රටේ ආර්ථිකයට මරු පහරක් වන බවත් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

බැංකු පනත සංශෝධනය කිරීම මගින් රාජ්‍ය බැංකු පුද්ගලීකරණය කිරීම සඳහා පවත්නා බාධා ඉවත්කර ගන්නා බවත්,එමගින් රාජ්‍ය බැංකු අනාරක්ෂිත බවට පත්කිරීම සිදුවනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

ඉකුත් රජය සමයේ ගෙන ඒමට කටයුතු කර තිබියදී කැබිනට් මණ්ඩලය තුළ තමන් වැන්නන්ද එරෙහිව පරාජය කරනු ලැබූ 'බීජ පනත'ද යළි ගෙන ඒමට සැලසුම් කර ඇති බවත්,එමගින් ගොවියාගේ බීජ අයිතිය උදුරා බහුජාතික සමාගම් වෙත පැවරීමක් සිදුවන බව ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය සේවා අධිකාරී පනත මගින් නිදහස් සෞඛ්‍ය සේවාව අනතුරේ හෙළා සාමාන්‍ය ජනයාට රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට පවත්නා අවස්ථාව අහිමි කරලීමටත්,පුද්ගලික රෝහල් දිරි ගැන්වීමත් සිදුකිරීමට නියමිත බවද ඔහු පැවසීය.

එසේම'පාසල් සංවර්ධන මණ්ඩල පනත'මගින් රජය මගින් රජයේ පාසල්වලට ඉතාම සුළු මුදලක් ලබාදී සෙසු සියලු වියදම් පාසල් මට්ටමින්ම සොයාගත යුතු බවට රෙගුලාසි සකස් කරන බවත්,ඒ අනුව සම්පූර්ණයෙන්ම පාහේ දරුවන්ගේ අධ්‍යාපන බර දෙමාපියන් මත පැටවෙන බවත් වීරවංශ මහතා මෙහිදී අනතුරු අඟවා සිටියේය.

මීට අමතරව'මහජන ආරක්ෂක පනත'සංශෝධනය කරමින් හා 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත'ආහෝසි කරමින් මේ වන විට අත්අඩංගුවේ සිටින ත්‍රස්තවාදීන් නිදහස් කරලීමට හා ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීමට කටයුතු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

එසේම 'යුද අපරාධ අධිකරණ පනත'තුළින් රටේ යුද්ධය ජයග්‍රහණය කළ රණවිරුවන් වැරදිකරුවන් කොට දඬුවම් ලබාදීමට සැරසෙන බවත්,මෙය පැහැදිලිවම ජිනීවා වෙත ලබාදුන් පොරොන්දු අනුව ඉටුකෙරෙන්නක් බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය


උපුටා ගැනීම - 'අද දෙරණ' සිංහල වෙබ් පිටුවෙනි.




Share on Google Plus