ඇමති සරත් ෆොන්සේකාට ඇමරිකාව තහනම්!



ප‍්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම සඳහා අවසර ලබා නොදීමට එරට රජය තීරණය කර තිබේ.

ඇමෙරිකානු සංචාරයක නිරත වීම සඳහා පසුගිය දා ෆොන්සේකා මහතා මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඇමෙරිකානු වීසා බලපත‍්‍ර ඉල්ලූම් කර තිබුණ ද තානාපති කාර්යාලය දන්වා ඇත්තේ ඔහුව අසාදු ලේඛන (Black List) ගත කර ඇති බවය. එම නිසා වීසා බලපත‍්‍ර ලබා දිය නොහැකි බව දන්වා ඇත.
තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ ෆොන්සේකා මහතාව අසාදු ලේඛන ගත කිරීමට හේතු වී ඇත්තේ පසුගිය උතුරු නැගෙනහිර එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද මෙහෙයුම් සඳහා ඍජුව නායකත්වය දීමය. එම යුද්ධය තුළ දී යුද අපරාධ සහ මානව හිමිකම් කඩ කිරීම් රැසක් සිදු වී ඇති බවට චෝදනා එල්ල වීම මත එහි වගකීම යුද්ධයට අණ දුන් හමුදාපතිවරයා ලෙස ෆොන්සේකා මහතා වෙත ද එල්ල වී ඇත.

යුද්ධය අවසන් වීමෙන් පසුව 2009 වසරේ දී ඇමෙරිකාවේ සංචාරය කළ ෆොන්සේකා මහතාව එරට අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීමට ද ලක් විය.

එහෙත් යුද්ධය ජයග‍්‍රහණය දක්වා මෙහෙයවනු ලැබුවේ තමන් යැයි පවසන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධය අවසන් වීමෙන් පසුව සෑම වසරකම පාහේ ඇමෙරිකාවේ සංචාරය කළේය. මීට මාස කිහිපයකට පෙර ද ඔහු ඇමෙරිකාවේ සංචාරය කළ නමුත් ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වී නොමැත. ඔහුට ඇමෙරිකානු පුරවැසිභාවය ද හිමිය.


-සුභාෂ් ජයවර්ධන(සත්හඩ පුවත්පත.)



Powered by Blogger.