ලංකාව ෆෙඩරල් කරන්න හැදූ බ්‍රිතාන්‍ය ෆෙඩරල් වන ලකුණු!(උපුටා ගැනීමකි.)


ජනමත විචාරණයකින් මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමට තීරණය කිරීමත් සමඟ තමා ඔක්තෝබර් මාසයේ දී අගමැති ධුරයෙන් ඉවත් වන බව ඩේවිඩ් කැමරන් නිවේදනය කර තිබේ.

යුරෝපා සංගමයෙන් ඉවත් වුවහොත් ආර්ථික හා ආරක්ෂක ප‍්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදු වේ යැයි අනතුරු ඇඟවූ කැමරන්ගේ මතය වන්නේ බි‍්‍රතාන්‍යය යුරෝපා හවුලේ සිටිය යුතු බවයි.

ජාත්‍යන්තර වාර්තාවලට අනුව ජනමත විචාරණයේ දී බි‍්‍රතාන්‍ය වැසියන් 71.8%ක් ඡන්දය ලබා දී ඇති අතර එහි දී 52% ක් බි‍්‍රතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවටත් 48%ක ප‍්‍රතිශතයක් ඉවත් නොවිය යුතු බවටත් ඡන්දය ප‍්‍රකාශ කර තිබුණි. එසේම මෙවර පැවති ජනමත විචාරණය ජනයාගෙන් වැඩි පිරිසක් ඡන්දය ප‍්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාව ලෙස සැලකේ. ලන්ඩන් නගරය හා ස්කොට්ලන්තය හැර අනෙකුත් සෙසු බි‍්‍රතාන්‍ය ප‍්‍රදේශ යුරෝපා සංගමයෙන් ඉවත් වීමට වැඩි වශයෙන් ඡන්දය ප‍්‍රකාශ කර තිබේ.

බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයේ රැඳිය යුතු බවට ජනමත විචාරණය වෙනුවෙන් රට පුරා ප‍්‍රචාරණ වැඩසටහන් මෙහෙයවූ අගමැති කැමරන් කියා සිටියේ ජනමත විචාරණයේ ප‍්‍රතිඵල හේතුවෙන් රට පත්ව සිටින අස්ථාවරත්වය යම් දුරකට සමනය වන තුරු මාස තුනක කාලයක් අගමැතිවරයා ලෙස කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ඒ අනුව ලබන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත කොන්සර්වෙටිව් පක්ෂ සමුළුවේ දී නව අගමැති වෙත භාර දීමට කටයුතු කරන බවත්ය.

කෙසේ වෙතත් බි‍්‍රතාන්‍ය ජනතාව තීරණය කර ඇති නව මාවත ඔස්සේ රට මෙහෙයවීමට අවැසි නායකයා තමන් නොවන බව ජනමත විචාරණයේ ප‍්‍රතිඵල නිකුත් වීමත් සමඟ ප‍්‍රකාශයක් කරමින් අගමැති ඬේවිඩ් කැමරන් කියා තිබේ.

ඉතා හැඟු‍ම්බරව සිය කතාව අවසන් කළ අගමැතිවරයා කියා සිටියේ තමන් බි‍්‍රතාන්‍යයට හදවතින්ම ආදරය කරන බවත් රටේ නායකත්වය හොබවමින් සේවය කිරීමට ලැබීම තමන්ට ඉමහත් ගෞරවයක් ගෙන දුන් බවත්ය. එක්සත් රාජධානියේ නිදහස් පක්ෂයේ නායක නයිගල් ෆරාගේ පවසන්නේ එම දිනය තම රටේ නිදහස් දිනය බවයි.

ජනමත විචාරණයට පෙර බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වුවහොත් ඇති විය හැකි බලපෑම් පිළිබඳ දේශපාලන, ආර්ථික, සමාජීය විචාරකයන් අතර විවිධ මත පැවතුණ අතර ප‍්‍රතිඵල නිකුත් වීමත් සමඟ බි‍්‍රතාන්‍ය මුදල් ඒකකය වන ස්ටර්ලින් පවුම ඩොලරයට සාපේක්ෂව 10%ක් ද යුරෝපා සංගමයේ මුදල් ඒකකය වන යූරෝවට සාපේක්ෂව 6.5%ක ද ලන්ඩන් කොටස් වෙළෙඳපොළ 8%ක් ද වශයෙන් කඩා වැටීමකට ලක් විය.

කෙසේ වෙතත්, මෙහි අවසන් ප‍්‍රතිඵලය නිකුත් වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බි‍්‍රතාන්‍ය පවුමක අගය කඩා වැටුණු අතර මෙය, 1985න් පසුව ඇමෙරිකානු ඩොලරයට එරෙහිව වාර්තා වූ දරුණුම කඩාවැටීම ලෙස ද සැලකේ.

ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ට අනුව යුරෝපා සංගමයෙන් වෙන් වීමට බි‍්‍රතාන්‍ය ජනයා ගත් තීරණය මඟින් යුරෝපා සංගමය මෙන්ම මහා බි‍්‍රතාන්‍යය ද අනාගතයේ දී දෙදරීමකට ලක් විය හැකි බවට දැනටමත් අනතුරු හඟවා තිබේ. මෙයට ප‍්‍රධාන හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ස්කොට්ලන්ත ජනයා දුන් තීන්දුවයි. ස්කොට්ලන්ත ජනයාගෙන් ඡන්දය ප‍්‍රකාශ කළ 67.2% ක් අතරින් 62% ක්ම පවසන්නේ යුරෝපා සංගමය සමඟ සිටිය යුතු බවටයි. ස්කොට්ලන්තයේ මතය එය වුව ද සමස්ත බි‍්‍රතාන්‍යයේ මතය යුරෝපා සංගමයෙන් වෙන් වීම වන බැවින් ස්කොට්ලන්ත ප‍්‍රධාන අමාත්‍යවරිය වන නිකොලා සර්ජන් පවසන්නේ ”අපව අපගේ කැමැත්තට එරෙහිව යුරෝපා සංගමයෙන් ඉවත් කර තිබෙනවා” යනුවෙනුයි. ඇයගේ මෙම ප‍්‍රකාශයත් සමඟ ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ නායක ඇලෙක්ස් සැල්මොන්ඩි පවසා ඇත්තේ ප‍්‍රධාන අමාත්‍යවරිය විසින් බි‍්‍රතාන්‍යයෙන් වෙන් වීමට ජනමත විචාරණයක් කැඳවිය යුතු බවයි.

ස්කොට්ලන්තයේ තත්ත්වය එසේ වන විට උතුරු අයර්ලන්තයේ ද දේශපාලනික කුණාටුවක් ඇති වෙමින් තිබේ. උතුරු අයර්ලන්ත ජනයාගෙන් 56%ක් යුරෝපා සංගමය සමඟ සිටීමට කැමැත්ත පළ කර ඇති අතර 44%ක් එය ප‍්‍රතික්ෂේප කර තිබේ. ඒ සමඟම සින් ෂෙයින් පක්ෂයේ සභාපති ඩෙක්ලන් කර්නි සහ එම පක්ෂයේ නායක ජෙරී ඇඩම්ස් පවසා ඇත්තේ මහා බි‍්‍රතාන්‍යයේ කොටසක් ලෙස උතුරු අයර්ලන්තය තවදුරටත් සිටිනවාද නැද්ද යන්න පිළිබඳ නැවත සිතිය යුතු කාලය එළඹ ඇති බවයි.

කෙසේ වුව ද ජනමත විචාරණ ප‍්‍රතිඵල සමඟින් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට පියවර ගත් ප‍්‍රථම රට බි‍්‍රතාන්‍යය වුව ද ඒ වෙනුවෙන් තවත් වසර 2ක් පමණ බි‍්‍රතාන්‍යයට බලා සිටීමට සිදු වනු ඇත. එසේම යම් දිනක නැවත යුරෝපා සංගමයට එක් වීමට බි‍්‍රතාන්‍යයට අවශ්‍ය වුවහොත් එය ද ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ද විචාරකයන් පවසයි. ඒ සඳහා නැවත යුරෝපා සංගමයේ සියලූ‍ රටවල කැමැත්ත ලබා ගැනීමට නැවත වරක් බි‍්‍රතාන්‍යයට සිදු වන බැවිනි.

සීමා මායිම් බොඳ කරමින් ජාතික රාජ්‍යයේ කාර්යභාරය අවසන් කරමින් බිහි වෙමින් පැවැති යුරෝ කේන්ද්‍රීය නව ශුද්ධ රෝමානු බල ව්‍යාප්තිය බිඳ වැටී නැවත ජාතික රාජ්‍යයන් ශක්තිමත් කිරීම කෙරෙහි යුරෝ ජාතිකවාදය ගත් සවිඥානික හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස මෙම ප‍්‍රතිඵලය අර්ථ දැක්විය හැකි බව දේශපාලක විචාරකයන් පවසයි.

ජනමත විචාරණය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ වෙසෙන ලක්ෂ තිහකට ආසන්න ආසියානුවන්ට කරුණු පැහැදිලි කර දෙන මෙන් බි‍්‍රතාන්‍ය ආණ්ඩුව ආසියානු රටවල ආණ්ඩුවලින් ඉල්ලීමක් කර තිබූ අතර ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ මැති ඇමැතිවරු පිරිසක් ද පසුගිය කාලය තුළ බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලාංකිකයන් දැනුවත් කිරීම සඳහා බි‍්‍රතාන්‍යයට ගියේය.
'සත්හඩ පුවත්පතින්' උපුටා ගන්නා ලද ලිපියකි...
Share on Google Plus