යුද්ධයේ සැබෑ පීඩිතයෝ සහ ගම්මන්පිලගේ ලකුණු දා ගැනීම...


ශ්‍රී ලංකාවේ වසර ගණනාවක් නැතහොත් දශක 3ක් ඉක්මවූ කාලයක් පුරාවට පැවති බිහිසුණු ත්‍රස්ථවාදය 2009 මැයි 18 වනදින නිමා කරන ලද බව සත්‍යක් වුවද,තවමත් යුද්ධය ඇති වීමට හේතු කාරක වූ දේවල් බොහෝමයක් අළු යට ගිණි පුපුරු සේ ශ්‍රී ලාංකේය සමාජය වෙළා ගනිමින් පවතී...

1956 මහ මැතිවරණය කෙසේ හෝ ජය ගන්නා අරමුනින් එවකට 'මහජන එක්සත් පෙරමුණ නායක' සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක නොහොත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ආදරනීය පියානන් 'ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ' නිර්මාතෘවරයා විසින් සිංහළ බෞද්ධ අන්තවාදයට මැතිවරණ පොරොන්දුවක් නොහොත් රස ටොෆියක් දුන්නේය.

ටොෆියේ රස 1958 වන විට වරින් වර දැනෙන්නට වුණත් අවසානයේ තමන් විසින් 'සිංහළ පමණක් භාෂා පනත ගෙන ඒමේ වරද' එස්.ව්බ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායකයන්ට දැනෙන විට සියල්ල උඩු යටිකුරු වී හමාරය.අවසානයේ 1956 තමන්ව බලයට පත් කරවීමට උදවු දුන් හිමි නමක (නම සදහන් නොකරමි!මාධ්‍ය ආචාර ධර්ම රැකිය යුතු නිසා) අතින්ම ඝාතනයට ලක් වීමට බණ්ඩාරනායක හිටපු අග්‍රාමාත්‍යවරයාට සිදු විය.

එස්.ව්බ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක තම ස්වාමි පුරුෂයාගේ මරණින් පසුව එම ජනප්‍රියත්වය තමන් වෙත ආරෝපණය කර ගනිමින් බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට සිදු වූයේ තම ස්වාමියා විසින් සම්මත කරන ලද අන්තවාදී සිංහළ පමණක් භාෂා පනතට 1972 ප්‍රථම ජන රජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නීතිමය ප්‍රතිපාදන සපයන්නටය.

1972 විශ්වවිද්‍යාල නවීකරණ මගින් දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයින්ට ඉතාම පිළිකුල් සහගත අසාධාරණකම් සිදු කිරීමටත් 'ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එවකට සමගි පෙරමුණ ආණ්ඩුව' අනුවණ ලෙස ක්‍රියාත්මක විය.මෙම ක්‍රියාවලියේ ප්‍රතික්‍රියා දැක්වීමක් ලෙස උතුරේ උගත් තරුණයෝ අවි ආයුධ අතට ගැනීමට පෙළඹුණි.එනයින් තර්ක කළ විට සම්පූර්ණයෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානය බිහි වීමට මූලිකවම වග කිව යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එදා සිටි නායකයින්ය.

1981 සංවර්ධන සභා මැතිවරණය මොහොතේදී දෙමළ ජනතාවගේ හදවත බදු වූ 'යාපනය පුස්තකාලයට ගිණි තැබීමට' සම්බන්ධ වූ එවකට රජයේ ප්‍රබල අමාත්‍යවරයාට සහ පොලිස් නිලධාරින්ට දඩුවම් නොකරන ලද ජේ.ආර්.ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාද වරදක් සිදු කළේය.1983 කළු ජූලිය නමින් අහිංසක දෙමළ ජනතාවට හිංසා කර ඔවුන් අතර සිටි උගත්ම දෙමළ ජන පිරිස මෙරටින් පන්නා දැමූ එවකට රජයේ විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය සංවිධාන වල නායකාරකාදීන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දකුණේ සමහර නායකයින් අද දෙමළ ඩයස්පෝරාව ඇති වීමට මූලිකවම වග කිව යුතුය.

ඒ එදාය...අතීතයේ සිදු වූ වැරදි නිවැරදි කර ගැනීම වෙනුවෙන් වත්මන් යහපාලන ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා දැවැන්ත උත්සාහයක නිරත වෙයි.එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු රටවල් ආක්‍රමණය කරන ගෝනි බිල්ලෙක් ලෙස මෙරට ජනතාව අතර මතයක් ප්‍රචාරය කරමින් පිවිතුරු හෙළ උරුමය,ජාතික නිදහස් පෙරමුණ සහ ජාතික සංවිධාන එකමුතුව ප්‍රධාන පැරදුණ රාජපක්ෂවරුන්ට යළි නැගිටීමට ඉන්ජක්ෂන් ලබා දෙන බළකාය විසින් නැවත වරක් සිදු කරන්නේ 1956/1972/1983 සිදු වූ වැරදිම යළිත් සිදු කිරීමයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු,දැනට ලෝකයේ ස්වාධිපත්‍ය බලය සහිත වැඩිම රටවල් සංඛ්‍යාවක් සාමාජිකත්වය දරන අන්තර්ජාතික සංවිධානය වේ.මෙම සංවිධානයේ නිෂේධ බලය සහිත රටවල් 5ක් දැනට පවතී.ඇමරිකා එක්සත් ජනපදය,බ්‍රිතාන්‍ය හෙවත් එක්සත් රාජධානිය,ප්‍රංශය,චීන ජනරජය,රුසියාව යන මේ රටවල් 5 විශේෂත්වයක් හිමි වී ඇත්තේ 1945 වර්ශයේදී 'එක්සත් ජාතින්ගේ සංවිධානය පිහිටුවීමට මුල් පියවර ගත් රටවල් 5 වීමත් 2 ලෝක යුද්ධය අවසන් කිරීමට පෙරමුණ ගත් රටවල් 5 වීමත් නිසාය.එසේ නැතුව ඒකාබද්ධ විපක්ෂයේ 'ඊනියා උගතෙක්' වන විමල් වීරවංශ මහතා පවසන අන්දමේ බලගතු කම් මෙම රටවල් තුළ අප නම් දකින්නේ නැත.

එක්සත් ජාතින්ගේ සංගමය තුළ සාමාජිකත්වය දරන රටවල් වල ජනතාවගේ දුක් ගැනවිලි වලට සවන්දී ඒවා අදාළ රටවල ආණ්ඩු සමග එක්ව සුහදව සාකච්ඡා කර විසදීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ අන්තර් ආයතනයක් වන 'මානව හිමිකම් කවුන්සිලය' බැදී සිටී.(මේ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විද්වතානන් අපට වඩා හොදින් දන්නවා ඇත.මන්ද,රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපති වරයාගේ පාලන කාලය තුළ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන ජිනීවා ගොස් පැමිණිලි කර රටට ඒ පිළිබදව පූර්වාදර්ශය සැපයූයේ එවකට මන්ත්‍රී නීතිඥ මහින්ද රාජපක්ෂ මහතා විසින් වීමය.)

වර්තමානයේ විදේශ අමාත්‍ය මංගල සමරවීර පොරොන්දු වී ඇත්තේ යුද්ධ සමයේ අතුරුදන් වූවන් පිළිබදව පැමිණිලි විභාග කරන දේශීය අධිකරණ යාන්ත්‍රණයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරු වරුන්ටත් සහභාගී වීමට ඉඩක් ලබා දෙන බව පමණි.එය කාලෝචිත ශ්‍රී ලංකාවේ කීර්ති නාමය යළි ලෝකය තුළ තහවරු කළ හැකි පියවරකි.එසේ නොමැතිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වාණිජ ආරවුල් පිළිබද විශේෂඥ නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසන අන්දමේ රට ආක්‍රමණයට පැමිණෙන රටේ ස්වාධීනතාවයට හානි කරන ගෝනි බිල්ලෙකුට රට පාවා දීමක් නොවේ.උදය ගම්මන්පිල මන්ත්‍රී තුමාගේ තර්කයට අනූව ගත් කළ ශ්‍රී ලංකාව මුලින්ම පාවා දී ඇත්තේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රී තුමාය එදා රණසිංහ ප්‍රේමදාස යුගයේදී...

මුදල් අමාත්‍ය තුමාට විශ්වාසභංග යෝජනා ගෙනත් නිර්වස්ත්‍ර වූ ඒකාබද්ධ විපක්ෂය දැන් සැරසෙන්නේ විදේශ කටයුතු අමාත්‍යවරයාට විශ්වාස භංග යෝජනා ගෙනත් උන්හිටි තැනුත් අහිමි කර ගැනීමටය.

අන්තවාදී අදහස් පොවා ඕනෑම දේශපාලකයෙකුට බලය ඇල්ලීම වෙනුවෙන් යුද්ධ ඇති කර හැකිය.එය ඉතා පහසුය.නමුත්,යුද්ධයෙන් පීඩාවට පත් වන්නේ මෙරට සාමාන්‍ය ජනතාවය.යුද්ධයෙන් රටට අහිමි වන්නේ වටිනා තරුණ ජීවිතයි.මෙරට ජනතාව 1956 වැනි අන්තවාදී බලවේගවලට නැවත ආණ්ඩු බලයට පත් වීමට ඉඩ සලසන්නේ නැත ශ්‍රී ලාංකිකයෝ ලෙස සැම දෙනාම එක්ව රට ගොඩනැගීම පමණක් ජනතා අපේක්ෂාව වී ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ දිනෙන් දිනම බංකොළොත් වී යන නායකකාරකාදීන් අවබෝධ කර ගත් යුතුය.



ඉෂාර ලක්මිණ.



Share on Google Plus