මහනුවර මහින්දවාදී පාගමනට එරෙහිව නුගේගොඩ සයිටම් විරෝධී පාගමන!(akshaya.lk)


ජුලි 27 වෙනිදා ලංකාවේ මාධ්‍ය තුළ ආණ්ඩුවට එරෙහි විරෝධතා ව්‍යාපාර දෙකක් ගැන මූලික අවධානය යොමුවී තිබුණා.
1. ඒකාබද්ධ විපක්ෂයේ නුවර සිට කොළඹ දක්වා පාගමන
2. සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ නුගේගොඩ රැලිය
මෙම විරෝධතා දෙක මේ මොහොතේ ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක දේශපාලන කතාවක් කියන බව මාගේ අදහසයි.

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් නුවර සිට කොළඹට ගමන් කිරීමට සූදානම් වන විරෝධතාව පෙළගැසෙන්නේ ජනතාව පෙලන පාලනයට එරෙහි ජාතිකවාදීන්ගේ මූලිකත්වයෙනි. ඔවුන්ගේ ප‍්‍රධාන ප‍්‍රශ්න වන්නේ ආණ්ඩුව රට පාවාදෙන්න යනවා, ආණ්ඩුව දෙමල ජනතාවට බලය දෙන්න යනවා, වැනි කතාය. මෙම විරෝධතාවේ මූලික පෙරගමන්කරුවෙක් වන විමල් වීරවංශ මේ බව මෑතකදී ඔහු විසින් පවත්වනු ලැබූ සම්මන්ත‍්‍රණ හරහා අවධාරණය කරවීය. ඒ අනුව කොන්ද පණ ඇති නායකයෙක් යැයි ඔවුන් හඳුන්වන මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ කොට ආණ්ඩුවට විරෝධය දැක්වීමට ඔවුන් පෙළ ගැසී ඇත. ඒ සමගම ආර්ථික තලයේ පසුගිය ආණ්ඩුව ගෙන ආවා යැයි කියන සංවර්ධනය දැන් අඩාල වී ඇති බවත් ඒ වෙනුවට නැවතත් රට නිසි මාර්ගයකට ගැනීමට මේ ආණ්ඩුව පළවාහැරිය යුතු බවත් ඔවුන්ගේ අදහසයි.

සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ විරෝධතාව

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මූලිකත්වයෙන් වෘත්තිය සමිති හා විවිධ සිවිල් සංවිධාන 30 කට අධික ගණනකගේ සහභාගීත්වයෙන් නුගේගොඩ පැවැති විරෝධතා රැුලියේ අරමුණ වූයේ, වෛද්‍ය උපාධිය මුදලට විකිණීම සඳහා පවත්වාගෙන යන මාලඹේ සයිටම් උපාධි ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කිරීමයි. මෙහිදී එම ව්‍යාපාරයේ මූලික අදහස සයිටම් අහෝසි කළ යුතුය යන්නය. අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස ඊට නීතියානුකූලභාවය දීමට කුමන්ත‍්‍රණයක් දියත් වන බවත්, ඊට තම ව්‍යාපරය විරුද්ධ බවත්, මෙහිදී රැුස්ව සිටි පිරිස ඇමතූ කථිකයන් අවධාරණය කළේය. ඒ අනුව ආණ්ඩුව එක්කෝ සයිටම් අහෝසි කර එහි සිසුන්ට වන්දි ගෙවිය යුතු බවත් නොඑසේනම් සම්පූර්ණයෙන්ම රජයට පවරාගෙන එහි සිසුන්ට වන්දි ගෙවා හා ක‍්‍රමවත් විභාගයක් පවත්වා සුදුසුකම් සපුරන්නන් විශ්විද්‍යාලයට බඳවාගෙන එය පවත්වාගත යුතු බවත් ඔවුන්ගේ අදහසයි.

මෙම විරෝධතා ව්‍යාපාර දෙකම පොදුවේ ගත්කළ ආණ්ඩු විරෝධී වන නමුත් මෙහි දේශපාලන අඩංගුව අනුව පැහැදිළිව මෙම ඒකාබද්ධ ක‍්‍රියාමාර්ගයන් දෙකේ වෙනසක් ඇත. ඒ නිසා කිසි විටෙක ආණ්ඩු විරෝධය හැරුණු කොට මේ විරෝධතාවන් දෙකේ එකදු පොදු සාධකයක්වත් නැත.

අනෙක් අතට මේ විරෝධතාවන් දෙක ගත් විට එකිනෙක බරපතල ලෙස පරස්පරය.

මූලිකව ගත් විට ඒකාබද්ධ විපක්ෂය නව ලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරණයන්ට එකඟය. සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය ඍජුවම හැප්පෙන්නේ ආණ්ඩුව සමග වගේම නව ලිබරල්වාදී ප‍්‍රතිසංස්කරණයන්ට එරෙහිවය. ඒ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමට විරුද්ධවය. අනෙක් කාරණය නම් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ මූලයන් පසුගිය ආණ්ඩුව දක්වාද දිව යයි. එවකට අධ්‍යාපන ඇමතිව සිටි එස්. බී. දිසානායක පෞද්ගලිකවම මැදිහත් වී එදා කීවේ සිසුන් දාහක් දෙදහාක් හෝ විශ්විද්‍යාල වලින් ඉවත් කොට ‘පෞද්ගලික විශ්වවිද්‍යාල‘ අරඹන බවයි. ඊට විරුද්ධව එදා නුවර සිට කොළඹට පාගමන් යද්දී කැළණිය විශ්වවිද්‍යාලයේ ජානක බණ්ඩාර ඒකනායකත් රුහුණ විශ්විද්‍යාලයේ සිසිත පි‍්‍රයංකර ඒකනායකත් ඝාතනය විය. ඒ අනුව සයිටම් විරෝධී ව්‍යාපාරයේ මූලයන් ඇත්තේ පසුගිය ආණ්ඩුවේ ලේවැකි අතීතය තුලය. ඒ නිසා කිසිදු ලෙසකින් මෙම විරෝධතා දෙකට පොදු සාධක නැතිවා මෙන්ම සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය යනු ආණ්ඩුවට මෙන්ම ඒකාබද්ධ විපක්ෂයද උඩගෙඩි දුන් ජනතා ද්‍රෝහීත්වයන්ට එරෙහි ව්‍යාපාරයකි.

මේ වෙලාවේ රටේ ඇති මූලික ප‍්‍රශ්නය සයිටම්ද යනුවෙන් කෙනෙකුට ප‍්‍රශ්න කළ හැක. ඊට වඩා රට බෙදීමට යාම බරපතල නොවේදැයි අසන්නටද කෙනෙකුට පුළුවන.

මෙය මේ මොහොතේ මේ දෙස බලා සිටින සාමාන්‍ය ජනතාවට නිතැතින් නැගෙන ප‍්‍රශ්නයකි.

මේ වන විට ඇති තත්වය නම් පොදුවේ දකුණේ සමාජය ගත් විට එහි බහුතරයකගේ අදහස හා ඓතිහාසික මනෝභාවයන් පෙළ ගැසී ඇත්තේ එහිදී රට බෙදීම පිළිබඳ ප‍්‍රශ්නය මූලික බවටයි. නමුත් රට යනු කුමක්ද? ජනතාව යනු කුමක්ද? සැබැවින්ම බෙදීම තීරණාත්මක වන්නේ රටද, ජනතාවද, මූලික ප‍්‍රශ්නය කුමක්ද? සයිටම් ප‍්‍රශ්නය මූලික ප‍්‍රශ්නයක් වන්නේ කෙසේද? සයිටම් ප‍්‍රශ්නය මොනයම් හෝ අයුරකින් විසදීමෙන් සියල්ල හරියයිද? ඉන් ඉදිරියට මෙවැනි පළල් ව්‍යාපාරයක් අනවශ්‍යද? අවශ්‍ය නම් ඒ කුමකටද? මේවැනි ප‍්‍රශ්න වලට මෙම පාර්ශව සපයන පිළිතුරු අනුව ඉදිරි ලංකාවේ අනාගතය තීරණය වනු ඇතිවා සේම මෙම ව්‍යාපාරයන්ගේ අනාගතයද තීරණය වනු ඇත.
එහිදී ‘සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපරය’ ට නායත්වය දෙන්නන් ඊට ලබා දෙන පිළිතුරු දෙස අප අපේක්ෂාවෙන් බලා සිටිමු. මක්නිසාද යත් ‘ඒකාබද්ධ විපක්ෂයේ’ විරෝධතා ගැන අමුතුවෙන් දෙයක් අපට දැනගැනීමට නැත. එය අපි පසුගිය අවුරුදු 10 - 15 තිස්සේ අත්වින්ඳ අත්තෙමු. ඒ නිසා සැබෑ විකල්පයක් වෙනුවෙන් ගොඩනැගෙන නැවුම් මතවාදී අරගලයක්, අභියෝගයක් ලාංකේය සමාජය ඉදිරිපිට ඇත. අපි ඒ සඳහා සූදානම් වෙමු.

සදමාල් අමරසිංහ විසිනි.

Share on Google Plus