සරසවි ශිෂ්‍ය අරගල වෙනුවෙන් යළිත් ජ.වි.පෙ. පෙනී සිටියි!


අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු සියලුම සිසුන් වහා නිදහස් කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට බල කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි දේශපාලන මණ්ඩලය සඳහන් කළේ සාමකාමී හා සාධාරණ ශිෂ්‍ය උද්ඝෝෂණවලට පහරදෙමින් ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගෙන ආණ්ඩුව සිදුකරන මෙම මර්දනකාරී පිළිවෙත තරයේ හෙළා දකින බවයි.

“පසුගිය ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුවද ශිෂ්‍ය ව්‍යාපාර මර්දනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. මේ වනවිට ශී‍්‍ර ලංකාවේ නිදහස් අධ්‍යාපනය ක‍්‍රමයෙන් කප්පාදු වෙමින් පවතිනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඊට හොඳම උදාහරණයයි. නිදහස් අධ්‍යාපනය අහෝසි නොකරන ලෙසට මේ වනවිටත් විශ්ව විද්‍යාල සිසුන් විවිධ විරෝධතා ව්‍යාපාර ආරම්භ කර තිබෙනවා.” යනුවෙන්ද එම නිවේදනයේ සඳහන්.

ගැටළුවලට විසඳුම් ලබාදෙනවා වෙනුවට ශිෂ්‍ය අරගල මර්දනය කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවයි ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ. එම නිසා වත්මන් ශිෂ්‍ය පරපුර මුහුණදී සිටින ගැටලු පොදු සමාජ ගැටළු ලෙස සලකා අධ්‍යාපනයේ අයිතීන් ආරක්‍ෂා කර ගැනීමට ඔවුන්ට අවස්ථාව සලසා දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ රජයෙන් ඉල්ලා සිටිනවා.

2004 වසරේ 'එක්සත් ජනතා නිදහස් සංධානය පිහිටුවා' ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග හවුල් ආණ්ඩුවකට පැමිණීමත් සමග රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ශිෂ්‍ය ක්‍රියා කාරකයින් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටීමක් නොවීය.යළිත් 2012 වසරේදී ප්‍රතිපත්තිමය තීරණයක් මත ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ගොස් නව දේශපාලන ප්‍රවාහයක් ලෙස 'පෙරටුගාමී සමාජවාදී පක්ෂය'පිහිටුවා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙන්ම බහුතර ශිෂ්‍ය ක්‍රියාකාරකයින්ගේ සහාය මැයි දින පෙළපාලි වලදීත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ලැබීමත් සමග ජනතා විමුක්ති පෙරමුණට විශ්වවිද්‍යාල පද්ධතියේ සියලුම ශිෂ්‍ය සංවිධාන සමග බද්ධ වෛරයක් හට ගෙන තිබුණි.

නමුත්,වර්තමානයේ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මූලික කරගෙන හට ගෙන ඇති ශිෂ්‍ය අරගල වල යම් සාධාරණ ස්වභාවයක් පවතින බව බොහෝ වෘත්තීයවේදීන් පැවසීමත් සමග ජනතා විමුක්ති පෙරමුණට නැවත වරක් ශිෂ්‍ය ව්‍යාපාර මතක් වී තිබීම යම් පමණකට ප්‍රශංසනීය කාරණාවකි.මන්දයත්,ශිෂ්‍ය ක්‍රියාකාරකයින් අන්තවාදී ක්‍රියා වෙත අවතීර්ණ වීම යම් පමණකට හෝ පාලනය වී ප්‍රජාතන්ත්‍රවාදී ජන සංවිධානය කිරීම් හරහා විසදුම් ලබා ගත හැකි මාවතට ජනතා විමුක්ති පෙරමුණ මග පෙන්වීමෙන් හෝ ලැබීම යහපත් ප්‍රවණතාවයක් වන බැවිනි...


ඉෂාර ලක්මිණ.



Share on Google Plus