කොළඹ නාලන්දාවේ කීර්තිනාමයට හානි කෙරූ ද්වේශ සහගත පුවතක්!


කොළඹ නාලන්දා විද්‍යාලය 1924 වර්ශයේදී පිහිටුවනු ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සහාය ලබා ගෙනය.එදා සිට කොළඹ ආනන්දය සහ කොළඹ නාලන්දාව සහෝදර පාසල් ලෙස ක්‍රියාත්මක වෙමින් ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටම ජයගත් සරත් ගුණපාල,තිස්ස විතාරණ,ඩී.බී.නිහාල්සිංහ වැනි බොහෝ විද්වතුන්ගේ ශිල්ප ශාලිකාවන් බවට පත් විය.එමෙන්ම ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය තුළ ජනතාවට අවංක මෙහෙවරක් ඉටු කළ පිලිප් ගුණවර්ධන,කොල්වින් ආර්.ද සිල්වා වැනි සැබෑ ජන නායකයින්ගේ ක්ෂේම භූමි බවටත් කොළඹ ආනන්දයත් කොළඹ නාලන්දාවත් පත් විය.


එපමණක්ද නොවේ ශ්‍රී ලංකාව වෙළාගෙන පැවති බිහිසුණු ත්‍රස්ථවාදය පරාජයට පත් කිරීමට නිවැරදි නායකත්වය සැපයූ ත්‍රිවිධ හමුදාවන්ගේ නායකයින් බොහෝ දෙනෙකුද කොළඹ ආනන්දයේ සහ නාලන්දාවේ ආදි ශිෂ්‍යයින්ය.පහතින් දැක්වෙන ලිපිය 'සත්හඩ පුවත්පතේ වෙබ් පිටුවෙන්' උපුටා ගැණුනකි.එය ලියා ඇති පළපුරුදු මාධ්‍යවේදී 'දයා නෙත්තසිංහයන්' කරුණු හරි හැටි සොයා බැලීමකින් තොරව එම ලිපිය ලියා ඇති බව කොළඹ ආනන්ද විද්‍යාලයේ 125 කණ්ඩායමේ ආදි ශිෂ්‍යයෙකු වන මම ඉතා වගකීමෙන් සදහන් කරමි.මේ වන විට කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිවරයාට යම් චෝදනා ඇති බව සත්‍යයකි.නමුත්,කොළඹ නාලන්දා විද්‍යාලයීය 'හෙළ සිසු හවුල' පිළිබදව ඔහු සදහන් කර ඇති කරුණු සියල්ල අසත්‍ය බව ඉතාම වගකීමෙන් මා සදහන් කර සිටිමට කැමතියි.


2001 වර්ශයේදී එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ආශිර්වාදයෙන් මූල ධර්මවාදී සමහර ආගමික කණ්ඩායම් විසින් ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය හරහා බෞද්ධ අධ්‍යාපනය විනාශ කර දැමීමේ උත්සාහයක් ක්‍රියාත්මක විය.ඊට මුහුණ දීම වෙනුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලය කේන්ද්‍රස්ථානය කරගෙන 'හෙළ සිසු හවුල' කොළඹ නාලන්දා,කොළඹ ගෝතමී,කොළඹ ආනන්ද බාළිකා,ගාල්ල මහින්ද,මහනුවර ධර්මරාජ,මාතර රාහුල,මාතර සුජාතා යනාදී විද්‍යාලයන් බොහෝමයක 'හෙළ සිසු හවුල' නමින් නීත්‍යානුකූල සංගමයක් පිහිටුවා ගැනුණු බව සදහන් කරමි.එසේ සිදු වූයේ 'සම අවස්ථා නීතිමය විධාන' මගින් එවකට ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග විසින් අෂ්-රොෆ් නම් අමාත්‍යවරයාව සහ ඇමරිකානු තානාපතිවරයාව සතුටු කිරීම වෙනුවෙන් බෞද්ධ අධ්‍යාපනික අනන්‍යතාවය සහිත ඉහත සදහන් කරන ලද පාසල් වලින් පළි ගැනීමේ ව්‍යාපෘතියක් දියත් කර තිබීම නිසා එයට එක්ව මුහුණ දීමට සිදු වූ නිසාය.


'හෙළ සිසු හවුල' ආරම්භයේදී හෝ වර්තමානයේ හෝ කිසිදු දේශපාලකයෙක්, බලපෑම් කණ්ඩායමක් ඒ සදහා නියමයෙන් හෝ අනියමෙන් උදවු උපකාර සිදු කළ නොමැති බව ඉතාම වගකීමෙන් මම සදහන් කරසිටිමි.තවද මෙලෙස ක්‍රියාත්මක වන 'හෙළ සිසු හවුල' කිසිදු අන්තවාදී කණ්ඩායමක් හෝ අන්තවාදී බලවේගයක් සමග (බොදු බල සේනා/රාවනා බලය වැනි...)කිසිදු සබදතාවයක් නොදක්වන බවට ඉතාම වගකීමෙන් සදහන් කරමි.අවස්ථාවන් ගණනාවකදීම උතුරේ සහ නැගෙනහිර සහෝදර දෙමළ ජනතාවගේ දරුවන් ඉගෙන ගන්නා පාසල් ගණනාවකටම 'හෙළ සිසු හවුල' මගින් උදවු උපකාර සිදු කර තිබෙන බව පහත ලිපිය ලියූ පළපුරුදු මාධ්‍යවේදීතුමන් නොදැන සිටීම අතිශය කණගාටුජනකය.


*පළපුරුදු මාධ්‍යවේදීතුමන්ට වැරදුන ලිපිය පහතින්;

"කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විද්‍යාලයේම ගුරුවරයකුට ඉතා අමානුෂික අන්දමින් පහර දී ඇත. පහර දීම හේතුවෙන් තුවාල ලැබූ ගුරුවරයා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර තිබේ.

ඉකුත් ජූලි මස අට වන දා පෙරවරුවේ සිය පැමිණීම සටහන් කිරීමට යාමේ දී මෙම පහර දීම සිදු කෙරී ඇති අතර ගුරුවරයාට පහර දීම සඳහා සිසුන් පොලඹවා ඇත්තේ නාලන්දා විද්‍යාලයේ වත්මන් විදුහල්පති රංජිත් ජයසුන්දර මහතාය.

පහර කෑමට ලක් වූ ගුරුවරයා ජූලි මස හත්වන දින තවත් ගුරු භවතුන් පිරිසක් සමඟ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම හමුවට ගොස් ඇති අතර නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ දූෂණ සහ අක‍්‍රමිකතා පිළිබඳ එහි දී කරුණු දක්වා ඇත. මේ සම්බන්ධයෙන් රූපවාහිනී නාලිකාවක කිසියම් ප‍්‍රවෘත්තියක් ද විකාශනය වී තිබිණි.

අදාළ ගුරුවරයා ඇතුළු කණ්ඩායම විදුහල්පතිවරයාගේ වෛරයට පාත‍්‍ර වීමට ආසන්නම සිදුවීම වී ඇත්තේ එයයි. පහර කෑමට ලක් වූ ගුරුවරයා ඒ බව බොරැල්ල පොලීසියට පැමිණිලි කර ඇත. නාලන්දා විද්‍යාලයේ අනූවැනි සංවත්සරය වෙනුවෙන් යයි පෙන්වා රුපියල් ලක්ෂ 163 ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් විද්‍යාලයේ ගුරු භවතුන් පිරිසක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ගොනුකර තිබිණි. අදාළ පැමිණිල්ල දූෂණ මර්දන කමිටුව වෙත යොමු කිරීමෙන් පසුව එහි මූලික විමර්ශනවලින් විදුහල්පතිවරයා දූෂිත අන්දමින් ක‍්‍රියාකර ඇති බව තහවුරු කර ඇත. අනතුරුව ඉකුත් ජුනි මස 24 වන දින අදාළ පැමිණිල්ල අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම හමුවට ඉදිරිපත් කර ඇත. දූෂණ විමර්ශන කොමිසම පැමිණිල්ල විභාග කිරීම හිතාමතාම ප‍්‍රමාද කිරීම සම්බන්ධයෙන් ගැටලූ මතුව ඇති අතර ජූලි මස හත්වන දිනයේ ගුරු භවතුන් පිරිසක් දූෂණ කොමිසම හමුවට ගියේ ඒ පිළිබඳව කරුණු විමසීම සඳහාය.

නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිවරයා සිය විද්‍යාලයේ අනූ වන සංවත්සරය සැමරීමට කටයුතු කර තිබුණේ එම විද්‍යාලයට වසර 89 ක් සම්පූර්ණ වූ 2014 වර්ෂයේ දීය. නාලන්දා විද්‍යාලය ආරම්භ කෙරී ඇත්තේ 1925 නොවැම්බර් පළමු වන දිනය. ඒ අනුව එම විද්‍යාලය ආරම්භ කර වසර අනූවක් සම්පූර්ණ වීමට නියමිතව තිබුණේ 2015 වසරේය. 2014 වසරේ ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමත් සමඟ ජනාධිපති මහින්ද රාජපක්ෂට රැස්වීමක් සංවිධානය කරදීමේ අරමුණෙන් විදුහල්පතිවරයා 2015 වර්ෂයේ සැමරීමට නියමිත අනූ වන සංවත්සරය 2014 වර්ෂයේ සැමරීමට කටයුතු කර තිබිණි. රුපියල් ලක්ෂ 163 ක් අවභාවිත කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් පැවති එම රැස්වීම සඳහාය. විදුහල්පතිගේ වංචා දූෂණ අක‍්‍රමිකතාවලට එරෙහි වූ ගුරුවරුන්ගෙන් හා සිසුන්ගෙන් නාලන්දා විදුහල්පතිවරයා දිගින් දිගටම පළිගැනීම් සිදු කරන අතර විදුහල්පති රංජිත් ජයසුන්දරට එරෙහිව බොරැල්ල පොලීසියේ පැමිණිලි 4 ක්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි 2 ක් සහ කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි 2 ක් ලැබී ඇත.

මීට අමතරව කොළඹ දිසා අධිකරණයේ අංක PMR/1336 යටතේ එක නඩුවකුත් අංක 44148 යටතේ අලූත්කඬේ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ තවත් නඩුවකුත් විභාග වීමට නියමිතව ඇත. නාලන්දා විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී ද ගෝත‍්‍රවාදී පිළිවෙතක් අනුගමනය කරන අතර බෞද්ධාගමිකයන් හැර වෙනත් ආගම්වල සිසුන් ඊට ඇතුළත් කර නොගනී. ගෝත‍්‍රවාදී මතවාදය පැතිරවීම සඳහා ‘හෙළ සිසු හවුල’ නමින් ජාතිකත්ව පදනමින් ශිෂ්‍ය සංවිධානයක් පවා නාලන්දා විද්‍යාලයේ අටවා ඇතැයි දැනගන්නට ඇත. ගුරුවරයාට පහර දීම සිදුකර ඇත්තේ එම හෙළ සිසු හවුලේ ශිෂ්‍ය කණ්ඩායමකි. හෙළ සිසු හවුල නමින් වූ ගෝත‍්‍රවාදී කණ්ඩායම් පාසල තුළ බෝ කිරීම සඳහා ජාතිවාදී පදනමින් දේශපාලනය කරන දේශපාලන පක්ෂයක් කටයුතු කරමින් සිටින බව ද දැනගන්නට ඇත."
(- දයා නෙත්තසිංහ )

*නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ක්‍රියාකාරීත්වයේ බොහෝ ගැටළු ඇත.ඒ බව අවිවාදයෙන් අපි පිළිගනිමු!එහෙත් 'හෙළ සිසු හවුල' එයට සම්බන්ධ කරගෙන කොළඹ නාලන්දාවේ කීර්තිනාමයට හානි සිදු කරනවාට අප තරයේම විරුද්ධය.අප එයට එරෙහිව ඕනෑම බලවේගයක් සමග සංවාදයට සූදානම්ය...


ඉෂාර ලක්මිණ. 

Powered by Blogger.