ඇමැති බොරු කියයි! හොරෙන් ගෙනා රේගු පනත මාට්ටු.(උපුටා ගැනීමකි.)





ශ‍්‍රී ලංකා රේගුව සඳහා යෝජිත නව පනත වෙනුවෙන් කෙටුම්පතක්වත් සකස් කර නොමැති බවට පසුගිය දා රාජ්‍ය මුදල් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සිදු කළ ප‍්‍රකාශය මුළුමනින්ම වගකීම් විරහිත ප‍්‍රකාශයක් බව වාර්තා වෙයි.

ඒ 2016 අපේ‍්‍රල් මාසයේ සකස් කර අවසන් කෙරුණු බවට සඳහන් රේගු නව පනත් කෙටුම්පත මේ වන විටත් මුදල් අමාත්‍යවරයා වෙත ලබා දී ඇති නිසාය. මුදල් අමාත්‍යවරයා විසින් පත් කළ ත‍්‍රිපුද්ගල කමිටුවක් විසින් එය සකස් කර ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 90කට ආසන්න මුදලක් ගෙවා ඇති බවත් වාර්තා වෙයි.
මෙම නව පනත් කෙටුම්පත සකස් කරන කාර්යය සඳහා එක් වී ඇති ත‍්‍රිපුද්ගල කමිටුව වනුයේ ශ‍්‍රී ලංකා රේගුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන පී. වීරසේකර, නීතිඥ අශෝක සෝමරත්න සහ රේගු නීති කටයුතු අංශයේ හිටපු ප‍්‍රධානී ටී. කනනතලිංගම් යන මහත්වරුන්ය.
අප වෙත ලැබී ඇති විශ්වාසවන්ත ආරංචි මාර්ගවලට අනුව මෙසේ කෙටුම්පත් කරනු ලැබූ පනත මුදල් අමාත්‍යවරයා වෙත ලබා දීමෙන් පසුව අමාත්‍යවරයා විසින් එය නිල නොවන මට්ටමින් පසුගිය දිනක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද යොමු කිරීමට කටයුතු කර ඇත. නමුත් එහි දී නිල නොවන මට්ටමින් තමන්ට එය භාරගත නොහැකි බවත් නව කෙටුම්පතක් ගෙනෙනවා නම් එය රේගු වෘත්තීය සමිති වෙත ලබා දීමට අවශ්‍ය බැවින් තමාට නිල වශයෙන් කෙටුම්පත ලබා දෙන ලෙස රේගු අධ්‍යක්ෂවරයා අමාත්‍යවරයාව දැනුවත් කර ඇත.

පසුගිය දා රේගුවේ වෘත්තීය සමිති පාරට බැස උද්ඝෝෂණ විරෝධතාවක් පැවැත්වූයේ ද මෙම නව පනත් කෙටුම්පත පදනම් කර ගනිමින්ය. කෙසේ වුවත් ආණ්ඩුව වෙනුවෙන් මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර ඊට මුදල් අමාත්‍යවරයා වෙනුවට සහභාගී වූයේ රාජ්‍ය මුදල් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනය. එහි දී නව පනතක් සම්බන්ධයෙන් සාකච්ඡුා සිදු වූ නමුත් එවැනි පනතක් කෙටුම්පත් කර නොමැති බව තමන් වගකීමෙන් ප‍්‍රකාශ කරන බව අමාත්‍යවරයා පැවසීය.

”මේ රේගු පනත වසර 100 කට වඩා පැරණියි, කවුරුහරි මේක සංශෝධනය කරනවා කිව්වම මේකේ ඇතුළේ තියෙන කිසි දෙයක් දන්නේ නැතුව, කෙටුම්පතක්වත් නැතුව මේක ගැන විරෝධය දැක්වීම ඉතාම කනගාටුදායකයි” කියා ද අමාත්‍යවරයා පැවසීය.
දේශපාලනය කරන උදවියගේ වගකීමේ ප‍්‍රමාණය ගැන අපට හොඳ අවබෝධයක් ඇත. කනගාටු වීම් ගැන ද අපට හොඳ අවබෝධයක් ඇත. ඒ ගැන මාර බලාපොරොත්තු ද අපට නැත. ”කෙටුම්පතක ලියවිල්ලක්වත් නෑ” කියා අමාත්‍යවරයා කොහොම කීවත් ත‍්‍රිපුද්ගල කමිටුව විසින් සකස් කළ රේගුවේ නව පනත් කෙටුම්පත මේ වන විට අප වෙත ද ලැබී ඇත. එනිසා තවදුරටත් වගකීම ගැන බරක් අමාත්‍යවරයා තබාගත යුතු නැත. ඒ අනුව අමාත්‍යවරයාට ඉතිරිව තිබෙන්නේ කනගාටුව පමණය. එය තබා ගැනීමට ද අමාත්‍යවරයාට සිදු වන්නේ රාජ්‍ය මුදල් අමාත්‍යවරයා නොදැන සිටියාට මුදල් අමාත්‍යවරයා නව පනත කෙටුම්පත් කිරීම ද අවසන් කර ඇති නිසාය. ඇත්තටම මේ පිළිබඳ ආණ්ඩුවේ නායකකාරකාදීන්වත් දන්නේදැයි සැක සහිතය. දන්නවා නම් ප‍්‍රසිද්ධියේ මෙසේ අපහසුතාවට පත් වන්න සිදු වන ආකාරයේ ප‍්‍රකාශ සිදු කරන්නට ඉඩ දෙයිද සැක සහිතය.
කෙසේ වුවත් අප වෙත ලැබී ඇති කෙටුම්පත අධ්‍යයනයේ දී අපට පෙනී ගියේ ආණ්ඩුව ගෙනෙන්නට යන නව රේගු පනතේ කෙටුම්පත මේ නම් රාජ්‍ය මුදල් අමාත්‍යවරයාගේ වගකීම පමණක් නොව සමස්ත ආණ්ඩුවේම වගකීම ගැන ගැටලූවක් මතු වන බවය. රටම ඒ ගැන කනගාටු විය යුතු බවය.
කෙටියෙන්ම පවසනවා නම් රේගුව සම්බන්ධ රටේ ඇති මූලික අදහසම මෙම නව කෙටුම්පත හමුවේ අභියෝගයට ලක් වෙයි. නැතිනම් මේ රේගුවේ ඵලදායීත්වය නංවන්න හෝ එය වත්මන් අවශ්‍යතාවලට ගැළපෙන ලෙස නවීකරණය කර ශක්තිමත් කරන්නට ගෙන ආ පනත් කෙටුම්පතක් නොවේය. ඒ වෙනුවට මේ රේගු බදු ගෙවීම් ඇතුළුව රේගු ආඥා පනත උල්ලංඝනය කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙනෙන ලද පනත් කෙටුම්පතක්ය. රේගු බදු හොරුන්ගේ දණ්ඩන අවම කර ඔවුන් මත යෙදෙන රේගු නිලධාරීන්ගේ ශක්තිය දුර්වල කර දමා ඇති පනත් කෙටුම්පතක්ය.
දැනටත් කෙටුම්පත් කර ඇති යෝජිත රේගු පනතට අනුව කිසිවෙක් තමන් සතු බඩු භාණ්ඩවල නිශ්චිත විස්තරයක් රේගුව වෙත ලබා දිය යුතු නැත. ඒ වෙනුවට ඔහුට රේගු පරීක්ෂණ සිදු වන විට තමන් සඳහන් නොකළ දෙයක් රේගු නිලධාරියාට හසුවීමට පෙර ක්ෂණිකව සඳහන් කිරීම හරහා දඬුවමින් ගැලවෙන්නට අවස්ථාව සලසා දී ඇත. එසේම වර්තමානයේ ඕනෑම රේගු නිලධාරියකුට සැක සහිත පුද්ගලයෙක් හෝ ස්ථානයක් පරීක්ෂා කිරීමට හැකි වුවත් යෝජිත නව කෙටුම්පතට අනුව එසේ සිදු කළ නොහැකිය. එපමණක් නොව මෙතෙක් රේගු නිලධාරීන් සිදු කළ මෙහෙයුම් කටයුතු මුළුමනින්ම අඩාළ කිරීමට අදාළ තවත් බොහෝ කාරණා මෙහි අඩංගුය. ඒ අතර මෙහෙයුම් කටයුතු වෙනුවෙන් බලතල සීමා කිරීම, නීතිය ක‍්‍රියාවේ යෙදවීම සඳහා මෙතෙක් රේගු නිලධාරියාට තිබූ අවස්ථාව අහුරා දැමීම ප‍්‍රධානය. වඩාත් මාරාන්තික යෝජනාවක් වන්නේ රේගු වරදක් වෙනුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා රේගු නිලධාරියා සතු වූ බලතල ඉවත් කර ඒ සඳහා නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයකුගේ අවසරය ගැනීමට නියම කර තිබීමය. එසේම රේගු වැටලීමක දී එයින් රේගු වංචා සිදු කරන්නාට හැකි උපරිමයෙන් නිදහස ලබා දීමට සහ සහන සපයන යෝජනා මෙහි තවත් ඇත.
එසේම මෙහි ජ්‍යේෂ්ඨ රේගු නිලධාරී සහ නිසි රේගු නිලධාරී ලෙස තනතුරු නම් කර ඇතත් ඒ ඒ තනතුරුවල බලතල හෝ සීමා පැහැදිලිව දක්වා නැත. ඉන්දියානු සහ නවසීලන්ත රේගු ආඥා පනත්වල වගන්ති මුළුමනින්ම ගලවා ගෙනැවිත් මීට ඇතුල් කර තිබෙන බවක් පෙනෙන්නට ඇති අතර මෙතෙක් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් අවම තැනක තිබූ රේගුව වෙත ඒ බැල්ම ද වැටෙන ආකාරයට නව කෙටුම්පත සකස් කර ඇත. ඒ යෝජිත කෙටුම්පත හරහා නම් කර ඇති නව තනතුරු 3ක් හරහාය. එහි දී අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුර 3ක් ස්ථාපිත කරන්නට නියම කර තිබෙන අතර ඒවා අභියාචන, ගැටුම් නිරාකරණය සහ මහජන පැමිණිලි, විගණන ලෙස නම් කර ඇත. එහි තිබෙන ගැටුම් නිරාකරණ සහ මහජන පැමිණිලි සම්බන්ධ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් පත් කරන්නේ රාජ්‍ය සේවා කොමිසමෙන් වන අතර ඔහුට ඇති බලතල සහ නෛතික නිදහස ජනාධිපතිවරයාටවත් තිබේදැයි සැක සහිතය.
සැබැවින්ම මේ කෙටුම්පත සැකසීම වෙනුවෙන් මැදිහත් වී ඇති අශෝක සෝමරත්න නීතිඥතුමාට නම් මේක කදිම රේගු පනතක් විය හැකිය. එසේම රේගුවේ වැඩ නිසා අසහනයෙන් සිටින ව්‍යාපාර කරන මාර ජනතා පුත‍්‍රයන්ට ද මෙය මාර පනතක් විය හැකිය. ලබන සතියේ සිදු කරන අපගේ විශේෂ හෙළිදරව්ව මේ වෙනුවෙන් වෙන් වන එහි දී පනත කෙටුම්පත් කළ අයගේ මෙන්ම එවැනි මාර පනතක් අවශ්‍ය වූ අය ගැන ද ලියා තබනු ඇත.


- සංජය ලියනගේ



'සත්හඩ පුවත්පත' වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලදි.
Share on Google Plus