මාධ්‍ය කොමිසමේ කෙටුම්පත් සකසන්න පංච පුද්ගල කමිටුවක්!(Lanka DNA).




යෝජිත මාධ්‍ය කොමිසම පිහිටුවීම සඳහා අවශ්‍ය කෙටුම්පත් සකස් කිරීමට පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

එහි සභාපතීත්වය සඳහා යුනෙස්කෝ ආයතනයේ ජන මාධ්‍ය සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර වැඩසටහනේ හිටපු අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර මහතා පත් කර තිබේ.

මෙහි සෙසු සාමාජිකයින් ලෙස ශීතා රංජනී, ඩී.ලංකාපේලි, උපාලි අඹේවෙල සහ ආර්. භාරතී යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකාවේ සදාචාරාත්මක මාධ්‍ය සංස්කෘතියක් බිහිකිරීමේ අරමුණින් යෝජිත ස්වාධීන මාධ්‍ය කොමිසමක් පත් කිරීම සඳහා වන මූලික කෙටුම්පත් සකස් කිරීම පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සිදු කර තිබේ‍.

මාධ්‍ය සංවිධාන විසින් දැනටමත් යෝජනා කර ඇති ස්වාධීන මාධ්‍ය කොමිසමට අමතරව මාධ්‍යවේදීන් සඳහා වන අවම වැටුප් තීරණය කිරීම ඇතුළු ජනමාධ්‍ය වෘත්තීයභාවය පිළිබඳව කරුණු සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති බව සඳහන්ය.

එමෙන්ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍යවේදීන් සඳහා දැනට නිකුත් කරනු ලබන මාධ්‍ය හැදුණුම්පත සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වී තිබේ.

මාධ්‍ය හැදුණුම්පත ඇතැම් මාධ්‍යවේදීන් විසින් අවභාවිතයට ලක් කරන බවට ලද තොරතුරු මත මේ සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර යෝජිත ස්වාධීන මාධ්‍ය කොමිසම සඳහා වන පළමු රැස්වීම අද(18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.


උපුටා ගැනීම - 'අද දෙරණ' සිංහල වෙබ් පිටුවෙනි.



Share on Google Plus