ආබාධිත රණවිරුවන් මහමග අනාථ නොකරමු!(Lanka dna.)


ඊයේ දිනයේදී ඉතාම කණගාටුදායක ප්‍රවෘතියක් කොළඹ කොටුවෙන් වාර්තා විය.එනම් යුද්ධයෙන් සටන් පෙරමුණේ සිට ආබාධ වූ රණවිරුවන් පෙළපාලියකින් පැමිණ සාමකාමී අයුරින් තම ගැටලු ජනාධිපති ලේකම් කාර්යාලයට වාර්තා කිරීමට යාමට උත්සාහ කිරීමේදී ශ්‍රී ලංකා පොලිසියේ සමහරක් බැටන් පොලු මුගුරු දික් කිරීමට උත්සාහ කිරීමයි.
මෙම රණවිරුවන් ආබාධිත වූයේ විනෝදය පිණිස අත් පා ඇස් අහිමි කර ගැනීමෙන් නොවේ 30 අවුරුද්දක් පැවති යුද්ධයෙන් රටත්,ජනතාවත් මුදවා නිදහස් රටක් අප වෙනුවෙන් ගොඩනැගීමේ කාර්යයට ගොස් මෙලෙස රණවිරුවන් ආබාධිත තත්වයට පත් විය.එසේනම් වර්තමාන ආණ්ඩුවට මෙම රණවිරුවන් රැක බලා ගැනීමටත් අඩුම තරමේ මාසික දීමනාව කළට වේලාවට ලබා දීමට සහ බෙහෙත් සපයා දීමට හෝ යුතුකමකට එහා ගිය වගකීමක් ඇත.
නමුත් ආබාධිත රණවිරුවන්ට ඊයේ රැය ගත කිරීමට වූයේ කොළඹ කොටුව ඕල්කට් මාවතේ මහමගය.අද වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරී පැලැන්තිය ගැන කතා කරලා වැඩක් නැත.තොත්තබබාලා පිරිසකගෙන් සමන්විත ආරක්ෂක අමාත්‍යාංශයක් අද ඇත.ඔවුන් දන්නේ මල් වට්ටි අත ගසමින් සෙල්ෆි ගැසීමට පමණි.නමුත්,ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයාද වන වාතාවරණයක ජනාධිපතිවරයාට ආබාධිත රණවිරුවන් රැක බලා ගැනීමේ වගකීමක් ඇති බව අපි සිහිගන්වා සිටින්නෙමු!


ඉෂාර ලක්මිණ.


*මේ අද පෙරවරුව වන විට මෙම ගැටලුව සම්බන්ධව ගත් පියවරයි...(උපුටා ගැනීම 'අද දෙරණ.' සිංහල වෙබ් පිටුව.)
ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ විශ්‍රාමික‍ ආබාධිත රණවිරුවන්ට අදාළ ගැටලු සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමුකර මූලික කටයුතු සිදුකර ඇති බව රජය පවසයි.

තමන්ට හිමි විශ්‍රාම වැටුප් කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලමින් විශ්‍රාමික ආබාධිත හමුදා සාමාජිකයින් උද්ඝෝෂණයක නිරතව සිටින අතර ඊට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබේ.

පසුගියදා පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුවු බව පවසන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ එහිදී මේ සම්බන්ධයෙන් තීරණ රැසක් ගත් බවයි.

ඒ අනුව යුධ හමුදා සේවයේ වසර 10ක් සම්පූර්ණ කර නොමැති නිලධාරීන්, සේවා කාලය වසර 12ක් නොමැති සෙසු නිලයන් සහ වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කර නොමැති පොලිස් නිලධාරීන් 130 දෙනෙකු සඳහා ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූවන් හට පිරිනැමෙන විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීමට තීරණය වී තිබේ.

කෙසේවෙතත් දැනට තිබෙන නීතිය යටතේ ඔවුන්ට විශ්‍රාම වැටුප් ලබාදීමට නොහැකි බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇති අතර ඒ අනුව ඔවුන්ට අදාළ විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් හඳුනාගෙන කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇත.

ක්‍රියාන්විත රාජකාරියේ දී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත්ව හමුදා සේවයෙන් ඉවත්ව යන රණවිරුවන්ට වසර 55 සම්පූර්ණවීමෙන් පසු මියයන තෙක්ම වැටුප් හා දීමනා ලබාදීමට ද මෙහිදී තීරණය වී ඇති බව සඳහන්ය.

මේ අතර ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් දුබලතාවයට පත්ව පසුව දුබලතාව සියයට 50 දක්වා අඩුවීම හේතුවෙන් ප්‍රතිලාභ නොලබා අදාළ සේවා කාලය සම්පූර්ණ කර විශ්‍රාම ගොස් සිටින හෝ හමුදා සේවයෙන් ඉවත්ව සිටින පුද්ගලයින්ට හිඟ වැටුප් ගෙවීමට ද මෙම සාකච්ඡාවේ දී තීරණය වු බව ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

Powered by Blogger.