යාපනයේ කැම්පස් එකේ ඇත්තටම මොකද වුණේ?(Lanka DNA).


යාපනය විශ්ව විද්‍යාලයේ සිදුවූ සිසු ගැටුම දඩමීමා කරගෙන රට තුළ නැවතත් ජාතිවාදී කළබල ඇති කිරීමේ සංවිධානාත්මක උත්සහයක් ඇති බව අප වගකීමෙන් ප්‍රකාශ කරමු. උතුරේ රතිඤ්ඤා කරලක් හෝ පිපිරෙනකම් බලා සිටි දකුණේ තක්කඩියන්ට දැන් කාලයක් යනකම් මේ සිදුවීම දෙමළාට එරෙහිව පාවිච්චි කරන්නට ප්‍රමාණවත්ය. මේ වන විට සමාජ ජාලාවල පැල පදියම්ව සිටින වර්ගවාදී කාලකණ්නින්ට ද රජ මඟුල්ය.

අන්ත ජාතිවාදී දකුණේ දේශපාලනඥයකු ඒ වෙනුවෙන් මේ වන විටත් සිය ගෝල බාලයින් හරහා යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුව දැනුවත් කර ඇති අතර මාධ්‍ය මෙහෙයුම් ද ආරම්භ කර ඇති බවද වාර්තා වෙයි.මෙම සිදුවීම සංහිඳියාව වෙනුවෙන් උතුරේ ඇති සුදානම බොරුවක් ලෙස දක්වමින් ප්‍රකාශ නිකුත් කිරීමටත් ඒ හැම අවස්ථාවකදීම වරද ආණ්ඩුවට පවරමින් කතා කරන ලෙසත් එහිදී උපදෙස් දී ඇති බවද වාර්තා වේ.මෙම උපදෙස් දකුණේ ජාතිවාදී රැළ වෙතින් ඔවුන්ගේ බිලී බෝයිස්ලා ලෙස සිටින යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන් අතට පත්කරන්නේ අද ඊයේ සිට නොවන අතර ඒ ගැන තොරතුරුද අපට ලැබී ඇත.

ලැබෙන උපදෙස් වලට අනුව විශ්ව විද්‍යාලය තුල වැඩ තෝරන්නේ කොහොමද ! ඒ වෙනුවෙන් මතය හදන්නේ කව්ද! ආදී ලෙස සිසුන් අතර සිටිමින් ඔවුන්ව තමන්ගේ පසුගාමී දේශපාලන කටයුතු සඳහා පාවිච්චි කරණ බිලී බෝයිස්ලා ගැනද විස්තර අප සතුව ඇත.

අපි ඒ බිලී බෝයිස්ලා ගැන නොලියන්නේ තක්කඩි දේශපාලුවන්ට ශිෂ්‍ය ජීවිත තමන්ගේ පරාජයේ වියරුව නැතිකර ගන්නට පාවිච්චි කරන නමුත් අපේ ක්‍රමයට එවැනි දෑ නොගැළපෙන නිසාය. එහෙත් දිගටම මල්ලිලා සිංහල ශිෂ්‍ය සංවිධානය බෝඩ් එකට මුවාවී පිස්සු නටන්න ගියොත් ඔයාලා කව්ද යන්න පමණක් නොව නිවාඩුවට පැමිණි විට යන එන තැන් ගැනද අපට ලියන්නට සිදුවනු ඇත.

කෙසේ වුවත් මෙය සංවේදී කාරණයක් බැවින් ඒ ගැන තොරතුරු ප්‍රමාණයක් හෙළිකරන්නට අප තීරණය කළෙමු.

සිංහල ශිෂ්‍ය සංගමය ලෙස නොව ඕනෑම නමකින් සරසවියක් තුල ශිෂ්‍ය දේශපාලනය සිදුකිරීමේ අයිතිය අප පිළිගන්නෙමු. ඒ ගැන වාදයක් නැත. එහෙත් සංගමය පොදු වැඩක් ලෙස පෙන්වන අතරේ ඒ හරහා රට නැවතත් ලේ විලක් බවට පත්කරණ කොන්ත්‍රාත් කරනවා නම් එවැනි කොන්ත්‍රාත් වලට ඇති අයිතිය අප පිළිගන්නේ නැත.
යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සංගමය ගැන අප තක්සේරුවද එසේමය. ප්‍රමාණයෙන් කුඩා වූ විට ආරක්‍ෂිතභාවයක් වෙනුවෙන් සාමුහික දිවියක් අවශ්‍යය යන්න සාධාරණය. යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සංගමය වටා එහි සිටින සිංහල සිසුන් සියල්ල පාහේ එක්ව සිටින්නේ ඒ පදනමින්ය. ඊට අදාළ විවේචනයක්ද අපට නැත.
නමුත් ගැටලුව වන්නේ යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සංගමයේ උදවියගේ හැසිරීමය. එනම් බිලී බෝයිස්ලාගේ වැඩ කෑලිය. ඔය කියන සංගමය අප වෙත වාර්තා වන ආකාරයට නම් අටවා ගන්නෙම ජාතිවාදී තක්කඩි කිහිපදෙනෙකුගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන්ය. ඒ ගැන මතු කරන්නට ඕන තරම් නිදර්ශන අප සතුව ඇත.

එක් නිදර්ශනයක් නම් ඔවුන් පරිපාලනය විසින් නිකුත් කරනු ලබන ලියවිල්ලක ඇති අකුරු අඩුපාඩු පවා සිංහලයන්ට එරෙහිව දෙමළුන් කරන කෙනහිළිකමක් ලෙස දක්වමින් කරන කැම්පේන් ය. අනෙක නම් විද්‍යා පීඨ සහෝදරත්වය කියන කට්ටියගේ ඇති අප්‍රමාණ ශ්‍රද්ධාව ය. එය කොතරම් දොරේ ගලනවාද කියනවා නම් වැස්සට තෙමී හිල් වුණු වෙසක් කුඩු පවා ඔවුන් හඟවන්නේ දෙමළුන් ගල් ගසා හිල් කර ඇති බවටය. වෙසක් කූඩු සෑදීමට පවා පරිපාලනය අවසර දී නැත. ඒවා හදන්නට එනිසා මාරාන්තික මෙහෙයුම් දියත් කරන්නට ඔවුන්ට සිදුව ඇත.

ඕවා කාට පේන්න කරනවාද කියනවා ලියනවාද අපට හිතා ගන්න නොහැක. මේ සටන් පාඨ වලට අනුව නම් මේ අය විශ්ව විද්‍යාලයට ගිහින් ඇත්තේ දන්සල් දෙන්නට සහ වෙස් නැටුම් නටන්නටය. අන්තරේ ළහිරු ව හිරේ දාන විට අබ කෑ රිලව් මෙන් සිටි මේ අය ආගමික වැඩ වලට සහ යුධ සමරුම් වලට මාර උනන්දුය. අනෙක් විශ්ව විද්‍යාල වල මේ මොහොතේ ප්‍රධාන සටන බවට අධ්‍යාපනය මුදලට විකිණීම සහ සයිටම් විරෝධය එන විට මේ අයගේ ප්‍රශ්නය වෙස් නැටුම් නැටීමේ අයිතිය ගැනය. මේ පිස්සු හත්වලාවල් එක්ක අර පේරාදෙණියේ වළ අසල සිට සිපගැනීමේ නාට්‍ය දර්ශනය දරාගත නොහැකිවූ පිස්සු හත්වලාවල් දෙහිවල සත්තු වත්තේ කුඩුවක දමා පරිණාමය නොවූ සතුන් කොටසක් ලෙස ප්‍රදර්ශනය කළ යුතුව ඇත. නැතිනම් මේ වැරැදීමෙන් සරසවි ගිය මේ පිරිස් යන්නට නියමිත වූ ආයතන වෙත යවන්නට කටයුතු කළ යුතුව ඇත.

ඉතින් මේ වගේ අය එක්ක සංගම් වල ඉන්න අනිත් අය පරිස්සම් විය යුතුව ඇත. මොවුන් ජාතිවාදය අවුලමින් සිටින අතර ඒ වෙනුවෙන් පරාජිත දේශපාලුවන් සමඟ ශුද්ධවූ ගිවිසුම් ඇත.

දැන් තවත් තක්කඩියකු අපව ප්‍රශ්න කරන්නට බොහො විට ඉඩ ඇත. ඇයි උඹලට උතුරේ දෙමළාගේ ජාතිවාදය පේන්නෙ නැද්දැයි ඇසිය හැකිය. අපිට යෝජනා කරන්නට වෙන්නේ තිස් අවුරුද්දක් තිස්සේ දකුණේ සිංහල හමුදාවකගෙන් බැට කෑ එහෙමත් නැත්නම් ඓතිහාසිකව හැමදාම සිංහලයාගෙන් බැට කෑ දෙමළා ගැන සාධාරණව යුක්ති සහගතව සිතන්නට කියා නොවේ. ඒ දෙමළා සිතන ලෙස , තමනුත් සිතන ලෙසය. ඒ දෙමලාගේ ප්‍රශ්නය දෙමළාගේ පැත්තේ සිට කල්පනා කරන ලෙසය. සංහිඳියාව යනු කුමක්දැයි, හයක් හතරක් තෙරුම් ගන්නට තරම් මොළයක් තිබෙනම් එවිට තේරුම් යනු ඇත. මේ ගැන අපට කියන්නට තිබෙන්නේ එපමණය.

ජාතිවාදය යනු කවර අන්තයක වුවත් පරාජය කළ යුතු තිරිසන් ගතියකි. ඒ ගැන විවාදයක් නැත. 'සිංහල දෙමළ මුස්ලිම් වර්ගවාදය' වෙනුවෙන් වන වුවමනාවන් පරාජය කර නමුත් එම දේශපාලන හා සංස්කෘතික අයිතිය පිළිගැනෙන මිනිස් සමාජයක් වෙනුවෙන් වන පෙළගැසීමක් අපට අවශ්‍යව තිබේ. අප පෙනී සිටින්න ඒ වෙනුවෙනි.


උපුටා ගැනීම - 'LANKA  DAILY
' වෙබ් අඩවියෙනි.



Share on Google Plus