ගෝඨා කෝළමකින් එළියට...(Lanka DNA).


ශ්‍රී ලංකාවාසීන්ට මෑතකාලීනව 'ගෝඨාභය' කියන නම අසන්නට දකින්නට ලැබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කනිෂ්ඨ සහෝදරයෙකු මෙන්ම පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයා ද වූ ගෝඨාභය රාජපක්ෂ මහතා නිසාවෙනි.

නමුත්,අප සදහන් කරන මේ 'ගෝඨා' (කොටා) යන අර්ථය ගෙන දෙන අනුරාධපුර රාජධානි සමයේ සිටි දසමහා යෝධයින්ගෙන් කෙනෙකු වූ 'ගෝඨයිම්බර යෝධයා' ගැනය.ප්‍රවීණ නාට්‍යවේදී ඩෙනිස් පෙරේරා විසින් 'පහතරට ශාන්ති කර්ම' ඇසුරින් නිර්මාණය කරන ලද ස්ත්‍රීත්වය මහසෝනා නම් පුරාවෘතයට සමපාතීව දක්වන්නට ගත් එළඹුමකි.මෙම නාට්‍ය නිර්මාණය වඩාත් ජනප්‍රිය වූයේ පැවති රාජපක්ෂ පාලනය පිළිබදව ටීකාවක් මේ නිර්මාණය තුළ ව්‍යංගාර්ථවත්ව දැක්වීම තුළින්යැයි මා පවසමි.කෙසේ වෙතත් "ගෝඨයිම්බර කෝළම" පිළිබදව 2016.07.15 දිනයේදී 'කොළඹ-මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී ' විද්වත් කතිකාවක් පැවැත්වුණි.මේ එහිදී 'ගෝඨාව සහ ලාංකේය වේදිකාව පිළිබදව පළ වූ උණුසුම් වදන් පෙළයි'...


විචාරක - සමන් වික්‍රමාරච්චි.

'ඇගේ ඇස අග' චිත්‍රපටයට හදගමගේ එක්කළ "ස්ත්‍රීකරණය" ඩෙනිස් පෙරේරා විසින් 'ගොඨයිබර කෝළමට' මනාව එක් කරන ලද බවක් මා දකිමි.මෙම කතාංග ද්විත්වයෙහිම මා දකිනා සුවිශේෂී කාරණය 'බෙලහීන පුරුෂයෙකු' වටා ස්ත්‍රීකරණය ගොනු ව තිබීමත් ස්ත්‍රීකරණය උද්වීපනය වීමතය.50' / 60' දශකයන්හි ලාංකේය නිර්මාණ තුළ ස්ත්‍රිය 'වික්ටෝරියානු' සම්ප්‍රදායට සමපාතීව පුරුෂයාධිපත්‍ය සමග සමපාතව තබන්නට යම් උත්සාහයක් ගෙන තිබුණා.නමුත්,1980'දශකය එළබෙත්ම ලාංකේය නිර්මාණ තුළ ස්ත්‍රීවාදී පිළිඹිබුවක් විදහා දක්වන්නට වුණා.මෙයට 1970 ශ්‍රී ලාංකේය දේශපාලන සහ ආර්ථික වෙනස්කම්ද බලපාන්නා ලද බව අප හැමෝටම බැලූ බැල්මට වැටහෙනවා.කෙසේ වුවද මා 'ගෝඨයිම්බර කෝළම' ඉතාම සරලව හදුන්වන්නේ පුරුෂයාට ශිෂ්ණය නැති වී යාම සහ එය නැවත ලැබීමත් අතර කතාව ලෙසයි.එමෙන්ම ඕනෑම නිර්මාණයක් තුළ දක්නට ලැබෙන 'පන්ති සටන'මෙහි දක්නට නොමැති වීමෙන් මෙය මධ්‍යම පන්තියේ කියවීමක් ලෙස මාදකිනවා.



චිත්‍රපට අධ්‍යක්ෂක - අසෝක හදගම.

ලෝකයේ පවතින වේදිකා නාට්‍ය බහුතරයක් 'ප්‍රොසීමියම්' සම්ප්‍රදාය ගුරුකොටගෙන නිර්මාණය වනවා.අපේ රටේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවයක් ඇතුව මුලින්ම වේදිකා නාට්‍ය බිහි වන්නට වූයේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් ගත් 'මනමේ' 'සිංහබාහු' නාට්‍යමය උත්සාහය තුළයි.1990 දශකයේ මුල් භාගයේදී සරත් චන්ද්‍රයන්ගේ සිංහල ගැමි නාටක 'කොළඹ - ලයනල් වෙන්ඩ්ට්' ප්‍රදර්ශනයට එරෙහිව එකල විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරා පිටවූවකු ලෙස මා දිවයින පුවත්පතෙන් විවේචන එල්ල කරමින් ලිපි මාලාවක් ලිව්වා 'සිංහල් නාට්‍ය කලාවේ උරුමය සහ කරුමය' කියලා...නමුත්,එහි වරද අද මට වැටහෙනවා ඩෙනිස්ගේ 'ගෝඨයිම්බර කෝළම නාට්‍ය නිර්මාණය' නැරඹීමෙන්.'ප්‍රොසීමියම් ආකෘතිය බිද' අපගේ නව නිදහස් ආකෘතියක් ඩෙනිස් විසින් හදුන්වා දුන්නා 'ගෝඨයිම්බර කෝළමෙන්'.



විදර්ශන කන්නන්ගර.

ඩෙනිස් විසින් 'ගෝඨයිම්බර කෝළම' හරහා පර්යේෂණ වැඩ බිමක් හදුන්වා දුන්නා ලාංකේය වේදිකා නාට්‍ය කලාවට.මෙය ස්ත්‍රී විරෝධී ලක්ෂණ මතු පිටින් පෙන්වන වියමනක් ලෙස මා දකිනවා.ස්ත්‍රිය පිළිබද කාරණය යනු,රාජ්‍යයේ දේශපාලන සහ සංස්කෘතිකමය කියවීමක් මෙය නොමැතිව රාජ්‍යය ආණ්ඩුව/බලය යන්න මත හැදෑරීම දුෂ්කරයි.මන්ද,අද වන විට ආණ්ඩු පිහිටවීමේදී ස්ත්‍රියගේ ඡන්දය අතිශය තීරණාත්මකයි.එයයි අද යතාර්ථය.මෙය මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ නාට්‍ය නිර්මාණ කණපිට පෙරළීමක් ලෙසත් හදුන්වා දෙන්න පුළුවන් මෙයයි තරුණයින් සොයන නව කලාව.'ගෝඨයිම්බර කෝළමට' පාදක වූ යම් සැගවුණ තේමාවක් මා දකිනවා 2009 වසරේ යුද්ධයේ අවසානයෙන් පසුව ඊනියා සංවර්ධනය ලෙස කොළඹ ආශ්‍රිතව ඇවිදින මං තීරු තනමින් මහජන ධනය නිස්කාරණයේ අවභාවිතා කිරීමක් වුණා.පැවති ආණ්ඩුව එලෙස මහජන මුදල් කොල්ලකෑමට සුජාතභාවයක් ලබා දුන්නේ සිංහළ-බෞද්ධ දෘෂ්ටියක් පෙන්වමින්...මෙයයි අද දවසේ 'ගෝඨයිම්බර කෝළම'.



ආචාර්ය - සුනිල් විජේසිරිවර්ධන.

ශ්‍රී ලංකාව තුළ පවතින සමාජ යතාර්ථය වේදිකා නාට්‍ය මගින් නිරූපණයට තරුණයින් උනන්දු වූයේ 'පරාක්‍රම නිරිඇල්ලයන්ගේ' "ජන කරළිය" වැඩමුළු සහ සම්මන්ත්‍රණ තුළින්.එය හොද උත්සාහයක් වුණා ප්‍රාසාංගික කලා ක්ෂේත්‍රයට.එමෙන්ම නැගෙනහිර පළාතේ 'කූත්තු' සම්ප්‍රදාය ආභාෂය එක් කර ගනිමින් සරච්චන්ද්‍රයන් එදා සිදු කරන ලද උත්සාහය අද දවසේදී 'ජන කරළිය' මෙන්ම ඩෙනිස් වැනි නාට්‍යවේදීන් තුළින්ද නව නිර්මාණ එළියට ඒම අතිශය ප්‍රසංශනීයයි.


*අමිල සදරුවන් විසින් ඉදිරිපත් කරන ලද ගෝඨයිම්බර කෝළම නාට්‍යයේ තේමා ගීතය මෙහිදී එළි දක්වන ලදි.මෙය පහතරට ශාන්ති කර්ම නාද රටා ඇසුරින් නව නාද රටා උපයෝගී කර ගෙන නිර්මාණය වූවකි.


දේශක - උපුල් ශාන්ත සන්නස්ගල.


ඩෙනිස් පෙරේරා නිකන් පාඩුවේ ගෙදරට වෙලා ඉන්නෙ නැතුව අහක ඉන්න අපිව අමාරුවේ දැම්මා කියලා සරලව කියන්න ඕන...මම කොළඹ පදනම් ආයතනයේදී මුල්න්ම ඩෙනිස්ගේ 'ගෝඨයිම්බර කෝළම' නැරඹුවා. එදා ඉදන් මට නින්ද යන්නෙ නැතුව මම හොයලා බැලුවා 'කවුද මේ ගෝඨා?' 'මොකාද මේ 'මහසෝනා' මම හොයාගත්තා මහාචාර්ය තිස්ස කාරියවසම්ගේ 'මහසොන් සමයම' කෘතියෙන්,මහාචාර්ය ජයසේන කෝට්ටෙගොඩ 'පහතරට ශාන්තිකර්ම' කෘතියෙන්,'රසවාහිණිය' කෘතියෙන් ගෝඨයිම්බර යනු,දස මහා යෝධයින්ගෙන් කෙනෙක් ගිරුවාපත්තුවේ.මහසෝනා යනු,88 රියනක් උස රිටිගල ජයසේන.මේකයි කතාව ගෑණු ප්‍රශ්නයක් මුල්වෙලා රිටිගල ජයසේනට ගෝඨා පහර දෙනවා බෙල්ලෙන් ඔළුව ගැලවිලා විසි වෙන්නම.රිටිගල ජයසේනගේ මිතුරෝ එකතු වෙලා වලස් මුහුණක් ඔහුට සවි කරා එදා ඉදන් 'මහසෝනා යකා' නම් වූයේ රිටිගල ජයසේනයි.මා දකිනා විදියට ගැටිස්සි කෙල්ලෙක්ට මහසෝනා වැහීමයි හොද මොකද ඒ කෙල්ල අම්මා කෙනෙක් වෙන්න සූදානම් බව සමාජය දැනුම් තේරුම් ගන්නවා.ඉලන්දාරි කොල්ලෙක්ට වුණත් මෝහිණී වැහීමයි හොද කොල්ලා වදයෙක් නෙවෙයි කියලා සමාජය දැන ගන්නවා.එහෙම නොවනවානම් තමයි දෙමවුපියන් කළබල විය යුත්තේ.

අතීතයේ මෙන් ගතානුගතිකව නෙවෙයි වර්තමාන තරුණයෝ ලෝකය දකින්නේ නිදහස් විදියටයි."රුවන් බන්දුජීව-කුණ්ඩලකේෂී නංගිට ආමන්ත්‍රණය කළ අපූරුව බලන්න...රජීව් වසන්ත වෙල්ගම-මොහිණී නංගිට කළ ආමන්ත්‍රණය බලන්න...මහින්ද ප්‍රසාද් මස් ඉඹුල -සීගිරි අප්සරාවොන්ගෙන්ගෙන් සුන්දරත්වය විමසූ අපූරුව බලන්න...නමුත්,අතීතයේ නිර්මාණ බොහෝමයක අමු කුණුහරප තිබුණේ.පේරාදෙනියෙ උන්ට කෞෂල්‍යා වැදගත් විදියට සිප ගැනීමයි අවුල් වුණේ?ඇය බොහොම අභිචාරවත්ව එම සිප ගැනීම බිම වැතිරිලා අමු හෙළුවෙන් කළානම් කොල්ලො ෆොටොත් ගහන් යයි.ඇත්තටම අද විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න බහුතරයක් උන්ගේ විචාරවත් රසිකත්වයක් නෑ.වරද මේ අධ්‍යාපන ක්‍රමය හදන ශීත කාමාරවල උන්ගේ.මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා කරුණාකරලා 'ගෝඨයිම්බර කෝළම' කැම්පස් වල ප්‍රදර්ශනය කරන්න ඉඩක් හදන්න.උසස් පෙළට නිර්දේශ කරන්න.




චින්තන ධර්මදාස.


අද වේදිකා නාට්‍ය ජනතාවට අනවශ්‍යයි කියා මා දකිනවා.ඒකයි ප්‍රේක්ෂකාගාර පුටු හිස්.දැන් කාලය හරි සමාජ මාධ්‍ය උපයෝගීකරගෙන නව නිර්මාණ බිහි කරන්න.2000 වසරින් පසු ඉපදුණ නව පරම්පරාව(මිලේනියර්ස්ලා.)බලාපොරොත්තු වන්නේ හැමදෙනාම විචාරකයෝ වෙන්න,දැනුම මෙන්ම සම්පත් / අවකාශය බෙදා ගන්න.පොදු සමාජ ක්‍රමයකට.එතනට කලාව ගමන් කළ යුතුයි.පහුගිය දවස්වල රාජ්‍ය නාට්‍ය උළෙලට නාට්‍යකරුවන් විසින් විරෝධය දක්වා රාජ්‍ය උදව් ප්‍රතිපාදන කලාවට ඉල්ලා සිටීම මා දකින්නේ ඉතාම පිළිකුලෙන් යුතුවයි.මොකටද රාජ්‍ය කලාවට ප්‍රතිපාදන යොදන්නේ නාට්‍ය කරුවන් ස්වාධීනව තම නිර්මාණ බිහි කරන්නනම් රාජ්‍යයේ මැදිහත්වීම් වලින් ඉවත්වන්නටනම් අඩුම තරමේ මා දකින්නේ රාජ්‍ය උළෙලවලදී කලා කරුවන් සම්මාන ලබා ගැනීමත් ප්‍රතිපත්තිගරුක නැහැ...


මෙලෙස නව අදහස් බොහෝමයක් ඉදිරිපත් වූ කලාවේ කතිකාවක් බවට 'ගෝඨයිම්බර කෝළම' කතිකා මණ්ඩපය පත් විය.



සටහන - ඉෂාර ලක්මිණ.

Share on Google Plus