වෙනස සැපද සහ ඔබට සතුටුයිද දැන්?


-ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය මේ වනවිට ලාංකේය දේශපාලන කරළියේ ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති අතර, එම සිදුවීම හරහා, “ඔබට සතුටුයිද දැන්” යන ප‍්‍රශ්නය ආණ්ඩුවට එල්ල වී ඇත්තේය. වඩාත් නිවැරදිව කියතොත්, මෙය ප‍්‍රශ්නය හුදෙක් මෛත‍්‍රී-රනිල් ආණ්ඩුවට පමණක් එල්ල වී ඇති එකක් නොව, 2015 ජනවාරි ආණ්ඩු පෙරළියට උරදුන් සියලූ පාර්ශ්වයන් සාමූහිකව පිළිතුරු සැපයිය යුතු ප‍්‍රශ්නයකි. මහින්ද රාජපක්‍ෂ හිතවාදීන් විසින් මීට පෙරාතුවද මේ හා සමාන ප‍්‍රශ්නයක් ඉදිරිපත් කරන ලද අතර, එහිදී ඔවුන් විමසා සිටියේ “වෙනස සැපයිද” යන්නයි. ඒ, 2015 ජනවාරි 8වැනි දින පැවති ජනාධිපතිවරණය හරහා ඇතිවූ වෙනස සැපද යන්නයි. ඒ අනුව බලනා විට, වෙනස සැපයිද සහ ඔබට සතුටුයිද දැන් යන ප‍්‍රශ්න යුගළය මේ වනවිට පොදුවේ ලාංකේය ජනතාව ඉදිරියේ මතුව ඇත්තේය.

2015 ජනවාරි විප්ලවය හරහා රට තුළ ඇතිවූ පරිවර්තනය කොතෙක් දුරට සතුටුදායක එකක්ද, කොතෙක් දුරට ජනතාවට හිතකර එකක්ද යන ප‍්‍රශ්නයට පිළිතුරු සෙවීමට කලියෙන්, දස වසරක මහින්ද රාජපක්‍ෂ පාලනය පෙරළා දැමීමට බහුතර ලාංකේය ජනතාවක් ඉදිරිපත් වූයේ මන්දැයි මතකයට නගාගැනීම ප‍්‍රයෝජනවත් වනු ඇත්තේය. එනම්, 2015 ජනවාරි විප්ලවය හරහා රට තුළ වෙනසක් ඇතිකිරීමට බහුතර ජනතාවක් ඉදිරිපත් වූයේ ඇයිදැයි මතකයට නගාගැනීම ප‍්‍රයෝජනවත් වනු ඇත්තේය. 2015 ජනවාරියට පසුව ඇතිවූ වෙනස සැපද යන ප‍්‍රශ්නයට වඩාත්ම නිවැරදි පිළිතුර සොයාගත හැක්කේ එවිටය.

2005 නොවැම්බර් 17 දින පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් මහින්ද රාජපක්‍ෂ මහතා, දශක තුනක කාලයක් තිස්සේ මුළු රටම මුසපත් කළ ම්ලේච්ඡ යුද්ධය වසර හතරකටත් අඩු කාලයක් තුළදී නිමා කිරීමට අවශ්‍ය නිවැරදි දේශපාලන නායකත්‍වය ලබා දුන්නේය. 2009 මැයි මාසයේදී අපේ වීරෝදාර හමුදා ලැබූ ඓතිහාසික ජයග‍්‍රහණය ලාංකේය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එහිදී තිස් වසරක නිරර්ථක යුද්ධය නිමා කිරීමට දේශපාලන නායකත්‍වය ලබාදීමේ ගෞරවය මහින්ද රාජපක්‍ෂ මහතාට අනිවාර්යයෙන්ම හිමි විය යුතුය. 2010 ජනවාරි 26 වැනිදා පැවැත්වුණු ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද 1,842,749කින් මහින්ද රාජපක්‍ෂ මහතාව දෙවෙනි වතාවටත් ජනාධිපති පදවියට පත්කරනු ලැබුවේ ඔහු විසින් කරනා ලද එම සේවයට කළගුණ සැලකීමක් හැටියටය. එහෙත්, සිය දෙවෙනි පාලන සමය තුළ ජනතා අපේක්‍ෂාවන් මුදුන්පත් කරලීමට මහින්ද රාජපක්‍ෂ මහතා අවංක උත්සාහයක් දැරුවේ නැත. සැබෑවටම සිදුවූයේ, යුද ජයග‍්‍ර‍්‍රහණයට මුවාවී මුළු රටම කෙමෙන් ඒකාධිපතිත්‍වයක් කරා ඇදගෙන යාමය.

Maithripala Sirisena

18වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්‍වය නැත්තටම නැතිවී ගිය අතර, ඒ හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගමට පාර කැපුණේය. පාර්ලිමේන්තුවේ සිට ප‍්‍රාදේශීය සභාව දක්වා සියලූ තරාතිරම්වල දේශපාලනඥයන් හිතුමතේ නීති විරෝධී ජාවාරම්වල නිරත වූ අතර, දූෂණය-වංචාව දරුණු පිලිකාවක් ලෙසින් සමස්ත ලාංකේය දේහය ම වෙලා ගත්තේය. සංවර්ධනය යැයි කියමින් මහා පරිමාණ දූෂණ-වංචාවලට පුළුල් අවකාශයක් විවර කරනු ලැබීය. රජය සහ රජයේ මතවාදය විවේචනය කළ උදවිය දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසුණා පමණක් නොව, භයංකර සුදු වෑන් සංස්කෘතියක් ද රට පුරා පැතිර ගියේය. සිවිල් ක‍්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් සමහරෙක් සුදු වෑන්වලට ගොදුරු වී අතුරුදහන් වූ අතර, තවත් සමහරෙක් සුදු වෑන්වලට බියෙන් රට හැර ගියහ. මෙයාකාරයට රට තුළ නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන් ම බිඳ වැටුණු අතර, සාමන්‍ය ජනතාවට බලපෑ නීතිය රටේ ජනාධිපතිවරයාට, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට, ඥතිහිතමිත‍්‍රාදීන්ට බලපෑවේ නැත. මෙබඳු පසුබිමක් තුළ, මුළු රට ම රාජපක්‍ෂ පවුල් පාලනයට යටත් වූයේ යැයි කීම අතිශයෝක්තියක් නොවන්නේය. 2015 ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ලක්‍ෂ 62කට වැඩි පිරිසක් සිය කතිරයෙන් කීවේ, තමන් තවදුරටත් එම පාලන ක‍්‍රමය යටතේ ජීවත්වීමට සූදානම් නැති බවය. 2015 ජනවාරි 8 වැනිදා ලක්‍ෂ 62කට වැඩි පිරිසක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නේ රට තුළ වෙනසක් ඇති කරන්නටය. අනතුරුව, 2015 අගෝස්තු 17 දා පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයේදී ද එම මතය සනාථ වූයේය.
2015 ජනවාරියට පසුව ඇතිවූ වෙනස සැපද, දැන් ජනතාවට සතුටුයිද යන ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුත්තේ එබඳු පසුබිමක් තුළය. විපක්‍ෂයේ පොදු සන්ධානය විසින් 2015 ජනවාරි ජනාධිපතිවරණයට ද, එක්සත් ජාතික පෙරමුණ විසින් අගෝස්තු පාර්ලිමේන්තු මැතිිවරණයට ද ඉදිරිපත් කරනු ලැබූ ප‍්‍රකාශනවල අඩංගු වී තිබුණු පොරොන්දු රාශියක් තවමත් හරිහැටි ඉටුවී නැති බව ඇත්තක් වුවද, පොදුවේ ගත්කළ ගෙවුණු වසර එකහමාරක තුළ රටේ දේශපාලන වාතාවරණය යහපත් අතට හැරුණු බව අපගේ නම් අදහස වන්නේය.

විශේෂයෙන්, රට ඒකාධිපතිත්‍වයක් කරා තල්ලූවෙමින් පැවති ගමන නතර කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ කටයුත්තට යහපාලන ආණ්ඩුව විසින් අත්තිවාරම් දැමූ බව ප‍්‍රතික්‍ෂේප කළ නොහැකිය. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට, විධායක බලතල තරමක් දුරට හෝ කප්පාදු කෙරුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සාධනීය පියවරක් බව ප‍්‍රතික්‍ෂේප කළ නොහැකිය. ඒ හරහා ව්‍යවස්ථාදායක සභාව සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබූ ජයග‍්‍රහණයක් වන්නේය. ස්වාධීන කොමිෂන් සභාවලට පත්කෙරුණු ඇතැම් පුද්ගලයන් පිළිබඳ යම් යම් චෝදනා ඇතත්, ඒවායේ නීත්‍යානුකූලභාවය යළි ලබාදීම ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබූ ජයග‍්‍රහණයක් වන්නේය. කෙසේ වුවද, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ සමස්ත ක‍්‍රියාදාමය තුළ තරමක මන්දගාමී ස්වරූපයක් දිස්වීම බොහෝ දෙනෙකුගේ කලකිරීමට හේතුවී ඇත්තේය. කවර වූ රටක වුවද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම කඩිමුඩියේ කළ නොහැක්කක් බවට කිසිදු විවාදයක් නැතත්, අලූත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවය 2015 ජනවාරි විප්ලවයෙන් මතු කෙරුණු ප‍්‍රධාන ඉල්ලීමක් බව අමතක නොකළ යුතුය.

අනෙක් අතට, ගෙවී ගිය වසර එකහමාරක කාලය තුළ රටේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථික තත්ත්වය කෙමෙන් අසතුටුදායක වෙමින් පවතින බව ද පිළිගත යුතුය. 2015 ජනවාරියේ පත්වූ දින සියයේ ආණ්ඩුව ජනතාවට සහන මල්ලක් ලබාදුන් අතර, අදටත් සමහර භාණ්ඩවල සාපේක්‍ෂ වශයෙන් අඩු මිලක් පවතින්නේ එම සහන මල්ලට පින්සිදු වන්නටය. එහෙත්, පසුගිය අයවැයෙන් ඉදිරිපත් කෙරුණු සමහර යෝජනා හේතුවෙන් මෙන්ම, වැට් බද්ද වැඩි කිරීම නිසා එදිනෙදා ජීවිතයට සෘජුව බලපාන භාණ්ඩ හා සේවා රැුසක මිල උහුලාගත නොහැකි තරමට ඉහළ ගොස් ඇත්තේය. දැනට රට තුළ (අප රට තුළ පමණක් නොව මුළු ලෝකය පුරාම) ක‍්‍රියාත්මක වන විවෘත වෙළඳපොල අර්ථ ක‍්‍රමයක් යටතේ, අත්‍යවශ්‍ය යැයි සලකා තෝරාගත් භාණ්ඩ කිහිපයක් මිල පාලනයකට යටත් කිරීම කොතෙක් දුරට ඵලදායී වේද යන්න ප‍්‍රශ්නකාරීය. එමතුද නොව, ඉදිරියේ උදාවන ආර්ථික සුබසිද්ධිය උදෙසා අද පටි තදකරගන්නැයි සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින අතරතුර, ආණ්ඩුවේ මැති ඇමතීන් සිය පෞද්ගලික සුඛ විහරණය උදෙසා (සුඛෝපභෝගී වාහන ද ඇතුළුව) කෝටි ගණන් ජනතා මුදල් නාස්ති කිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය.

2015 ජනවාරි ජනාධිපතිවරණයේදී මෙන්ම අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී ද ලාංකේය බහුතර ජනතාව අවධාරණය කර සිටි තවත් සුවිශේෂී කාරණයක් වූයේ, පසුගිය කාලයේ දණින් වැටී තිබුණු නීතිය දෙපයින් නැගිටවීමේ අවශ්‍යතාවයයි. පසුගිය රජය සමයේ විවිධ වංචා-දූෂණ චෝදනා එල්ල වූ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයයි. පසුගිය කාලයේ බරපතළ වැරදි කොට ලොක්කන්ගේ ආරක්‍ෂාවට මුවාවී නීතියට කොකා පෙන්නූ අයට නිසි දඩුවම් ලබාදීමේ අවශ්‍යතාවයයි. යහපාලන ආණ්ඩුව විසින් බොහෝ ක්‍ෂේත‍්‍රයන්හි පෙන්නුම් කරන මන්දගාමී ස්වරූපය මේ සම්බන්ධයෙන් ද දක්නට ලැබුණද, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ බරපතළ දූෂණ හා වංචා පිළිබඳ ජනාධිපති කොමිසම මගින් දියත් කෙරුණු විමර්ශන මේ වනවිට සතුටුදායක ප‍්‍රගතියක් ලබා ඇති බවක් දිස්වන්නේය. පසුගිය ජූලි 11වැනි සඳුදා, හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනෙන්නේ එබඳු දීර්ඝ විමර්ශනයක ප‍්‍රතිඵලයක් ලෙසය. කොළඹ කොටුවේ ට‍්‍රාන්ස් වර්ක් චතුරශ‍්‍රයේ අක්කර 4ක් බදුදීමේදී මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවට, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා විසින් 2015 දෙසැම්බර් 18 දින පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේය. අනතුරුව, පොලිස්පතිවරයාගේ නියෝගය මත මේ පිළිබඳ විමර්ශන කටයුතු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැවරුණේය. එම විමර්ශනවලින් හෙළිවුණු කරුණු පදනම් කරගෙන බී වාර්තාවන් කිහිපයක්ම අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, නාමල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන් අනතුරුවය.

මීට පෙරාතුවද, විවිධ විමර්ශන පදනම් කරගෙන, රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් මෙන්ම පසුගිය රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගනු ලැබීය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ සොහොයුරු සහ පසුගිය රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුවේ 2015 මාර්තු මාසයේදීය. ඒ, ඔහු යටතේ පැවති දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව යටතේය. පසුගිය ජූනි 6වැනි සඳුදා, බැසිල් රාජපක්‍ෂ මහතාව දෙවෙනි වතාවටත් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඒ ඔහුට අයත් යැයි කියැවෙන ඉඩමක් සහ නිවසක් මුල්කරගෙනය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ තවත් පුත‍්‍රයෙකු වන යෝෂිත රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් ආයතනයේ සිදුවූයේ යැයි කියැවෙන මූල්‍ය අක‍්‍රමිකතාවන්ට සම්බන්ධ බවයි. මේ අනුව යමින්, වර්තමාන ආණ්ඩුව රාජපක්‍ෂවරුන් දඩයම් කිරීමේ ක‍්‍රියාදාමයක නිරතව සිටින්නේ යැයි රාජපක්‍ෂ හිතවාදීහු හඬ නගති. යහපාලන ආණ්ඩුව දේශපාලන දඩයමක නිරතව සිටින්නේ යැයි රාජපක්‍ෂ හිතවාදීහු හඬ නගති.

මෙබඳු මතයක් පොදු ජනතාව අතර වැපිරීමට මහින්ද රාජපක්‍ෂ හිතවාදීන්ට හැකිවී ඇත්තේ, අන්කිසි හේතුවක් නිසා නොව, යහපාලන ආණ්ඩුවේ ප‍්‍රචාරණ යාන්ත‍්‍රණයේ දුර්වලකම නිසාය. මේ සියලූ අත්අඩංගුවට ගැනීම්, රිමාන්ඞ් කිරීම් සිදුකෙරෙන්නේ දීර්ඝ විමර්ශනවල ප‍්‍රතිඵල ලෙස බව ජනතාවට ඒත්තු ගැන්වීමට ආණ්ඩුව අසමත් වී ඇති බව අපගේ නම් අදහසය. අනෙක් අතට, යටකී පරිදි, පසුගිය පාලන සමයේ දූෂණය-වංචාව දරුණු පිලිකාවක් ලෙසින් සමස්ත ලාංකේය දේහය ම වෙලාගෙන තිබුණු අතර, රාජපක්‍ෂ පවුලේ බොහෝ දෙනෙක් ඒ තත්ත්වයට වගකිව යුත්තෝය. ඔවුනට විරුද්ධව අධිකරණ කටයුතු පමාවෙද්දී, එනම් ඔවුන් මුලදී විමසා සිටියේ, “කෝ හොරු ඇල්ලූවාද” යන්නයි. විමර්ශන කටයුතුවලින් පසුව චූදිතයන් අත්අඩංගුවට ගැනෙද්දී, “මෙන්න පලිගන්නවෝ” යැයි හඬ නගති. “ඔබට සතුටුයිද දැන්” යැයි තරහින් විමසති.

ඇත්තෙන්ම, මේ ජනතාවට සතුටු විය හැකි තත්ත්වයකි. ඒ, “උන්ට හොඳ වැඬේ” යැයි කියමින් කාලකණ්ණි සතුටක් විඳීමට නොවේ. තරාතිරම නොබලා කාහටත් එකසේ නීතිය ක‍්‍රියාත්මකවීම ජනතාවට සැබෑවටම සතුටු විය හැකි තත්ත්වයකි. ඉහත කී පරිදි, මෙම තත්ත්වය (එනම් නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපිත කිරීම), 2015 ජනවාරි විප්ලවය හරහා ජනතාව අපේක්‍ෂා කළ එකකි. ඉදින්, ජනතාවට සතුටු නැද්ද?

Share on Google Plus