සාකච්ඡා අසාර්ථකයි - පෞද්ගලික බස් ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ!(උපුටා ගැනීමකි.)


ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සමඟ කොළඹ දී ඊයේ පැවැති සාකච්ඡාව අසාර්ථකවීම හේතුවෙන් ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරන බව පෞද්ගලික බස් සංගම් ප්‍රකාශ කළා.

ඊයේ පැවැති සාකච්ඡාවට සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, දකුණු පළාත් බස් සංගමය, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඇතුළු පෞද්ගලික බස් සංගම් රැසක් එක්ව සිටියා.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදුකිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, බස් සංගම් නියෝජිතයින්ගේ අදහස වූයේ අද සිදුකිරීමට නියමිතව තිබූ බස් ගාස්තු සංශෝධනය හැකි ඉක්මනින් සිදුකළ යුතු බවටයි.

කෙසේ වෙතත්, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එහිදී සඳහන් කළේ බස් ගාස්තු සංශෝධනයට අදාළ නිර්ණායක සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් හරහා තීරණය කළ යුතු බවයි.

එහිදී බස් සංගම් නියෝජිතයින් සහ අමාත්‍යවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර, එහිදී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මුණිවත රැකීම සම්බන්ධයෙන්ද අනෙකුත් බස් සංගම් නියෝජිතයින් විමසා සිටියා.

කෙසේ වෙතත්, එම සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වූ නිසා බස් වර්ජනය ස්ථීරවම සිදුකරන බවයි.

අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මාධ්‍ය වෙත අදහස් පළ නොකර පිටව යාම සම්බන්ධයෙන් ද එහි සිටි පිරිස අතර කතා බහක් ඇතිවුණා.

අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අද පැවැති සාකච්ඡාව විකෘති සාකච්ඡාවක් බවයි.

කෙසේ වෙතත්, ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන වැඩවර්ජනයට තම සංගමයද සහය දක්වන බවයි ඔහු එහිදී තවදුරටත් කියා සිටියේ.


'හිරු නිවුස්' සිංහල වෙබ් පිටුවෙන් උපුටා ගැනීමකි.


Share on Google Plus