මාධ්‍ය සංදර්ශන අවසන්...සාලාව තවමත් ගින්නේ දැවේ!(උපුටා ගැනීමකි.)


පොල් ගස් - කරටි කැඩුණු, ගෙවල් - වහල අහිමි වුණු, බිත්ති - හැම තැනම හිල් වුණු, ජීවිත - තැන තැන නන්නත්තාරෙ අතරමං වුණු! පොල් ගස් වෙනුවට ඒ තිබුණේ තල් ගස් නම් මේ මීට අවුරුදු ගණනකට කලින් යාපනය, කිලිනොච්චිය හෝ වන්නිය කියලා හිතන්න තිබුණා. නමුත් මේ ඒ කොහේවත් නෙවෙයි. සාලාව! කොළඹට නුදුරු කොස්ගම සාලාව!
සාලාව පිපිරුමට පසුගිය පස්වනදාට මාසයක් සම්පූර්ණ වුණා. දැන් බොහෝ ජනමාධ්‍යවලට වගේම රටේ ජනතාවටත් ඒ සිදුවීම අමතකයි. තෙවරප්පෙරුම බෙල්ලෙ වැල දාගන්න ගිය එක බ්‍රේකින් නිව්ස් එකක් වෙද්දී නිළියක් රෙදි කඬේක ඇඳුම් මාරු කරද්දී හොරෙන් වීඩියෝ කරපු දේවල් ගැන එහෙම මුහුණු පොතේ සාකච්ඡා වෙනවා. අලූත් ‘ඉෂූස්’ එද්දී පරණ ‘ඉෂූස්’ යට යනවා. ඒව එහෙම තමයි. නමුත් සාලාව කඳවුරේ ගින්න නිවල දැම්මට ඒ ගින්නෙන් ඇවිළුණු මිනිස් ජීවිත තවමත් දැවි දැවී පත්තු වෙනවා. මාර්කට් කරන්න බැරි දේවල්වලින් ගොඩක් මීඩියාවලටත් වැඩක් නැතුව ඇති. එහෙම කියලා අපිට අපේ වගකීම අමතක කරන්න පුළුවන්ද? පසුගිය දවසක අපි නැවත සාලාවට ගියේ ඒ අමතක කරන්න බැරි වගකීම වෙනුවෙන්.

”මොන පත්තරෙන්ද? මොකකින් වුණත් වැඩක් නැහැ මහත්තයෝ! දැන් අපිට ඇති වෙලා තියෙන්නේ. ඕවට කතා කරා කියලා සිද්ධ වෙන දෙයක් නැහැ” හමුදා කඳවුරට ටිකක් එපිටින් තිබුණ බිමට සමතලා වුණ කර්මාන්ත ශාලාවක හිමියෙකුගෙන් ආරම්භයේදීම ලැබුණෙ ඒ තරම් යහපත් ප‍්‍රතිචාරයක් නෙවෙයි.

ජීවිත කාලයක් පුරා තමන් හරිහම්බ කරගත් දේවල් එක මොහොතකින් තමන්ගේ ඇස් ඉදිරිපිට අළු ගොඩක් බවට පත්වෙලා තියෙනවා දැක්කට පස්සෙ ඒ වගේ මනුස්සයෙකුගෙන් ඊට වඩා දරුණු ප‍්‍රතිචාරයක් හම්බ වුණත් කරන්න දෙයක් නෑ. පැදුරෙනුත් බිමට ඇදගෙන වැටුණට පස්සෙ තවත් ජීවිතේ ගැන සුබවාදී බලාපොරොත්තු තියාගෙන නිස්කලංකව කතා බහ කරන්න තරම් කෙනෙක් හිත හදාගන්නේ කොහොමද?

”ඔයගොල්ලො කෑම්ප් එකට ගිහින් අහන්න. එහෙන් විස්තර දැනගන්න පුළුවන්”

”නෑ, අපිට ඕනෙ මිනිස්සුන්ගේ තත්ත්වය ගැන දැනගන්න”

”මොනවා කියන්නද මහත්තයෝ! මගේ නම ගම දාන්න එපා. ෆොටෝ දාන්නත් එපා. ඕව ප‍්‍රශ්න වෙන වැඩ. මේ ෆැක්ටරිය තව ටික දවසකින් ඕපන් කරන්න ඔක්කොම ලෑස්ති කරලා තිබුණේ. සේරම විනාශ වුණා. දැන් ආයෙත් මුල ඉඳලා පටන් ගන්න වෙලා. තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ඇවිත් බලල කියලා ගියා. ඒත් අද වෙනතුරු කිසිම ප‍්‍රතිචාරයක් නැහැ. රුපියල් පනස්දාහ ගාණෙ බෙදලා තියෙනවා. මේ සිද්ධියෙන් ඔක්කොම පවුල් 1600 ක් විතර අනාථ වුණා. ඒ වුණාට පනස්දාහ ගාණේ බෙදලා තියෙන්නේ පවුල් 285 කට විතරයි. ඒ අස්සේ දේශපාලකයෝ ඇවිල්ලා දෙපැත්තට කඹ අදිනවා. ඒ හැම එකෙන්ම අන්තිමට තැළෙන්නේ අපි. හැබැයි හමුදාවෙන් නම් යම්කිසි වැඩ කොටසක් කරනවා. ගෙවල් දොරවල්, කඩසාප්පු හදන්න ඒගොල්ලො මැදිහත් වෙනවා. අර එහා පැත්තෙ තියෙන මොන්ටිසෝරිය ආපහු හැදුවෙත් ආමි එකේ කොල්ලෝ. අර පේනවා නේද තාම වැඩ? ඒක වටිනවා. ඒ හැර වෙන අපිට සැලකිය යුතු මැදිහත් වීමක් සිද්ධ වෙලා නම් නැහැ. ඔයගොල්ලො ඔහොම ඉස්සරහට ගිහින් බලන්නකෝ. හැම මනුස්සයම කියන්නේ එකම කතාව තමයි”

මාර්ගය දෙපසේ කඩ සාප්පුවලත් ගෙවල්වලත් මිනිස්සු දෙන්න තුන්දෙනා, තුන්දෙනා හතර දෙනා රංචු ගැහිලා අස්පස් කරන කටයුතු කරනවා. ඇත්තටම මේ වගේ විනාශයක ඇත්ත තත්ත්වය තේරුම් යන්නේ ඇස් දෙකෙන්ම ඒ දේවල් දැක්කට පස්සේ. සාලාව විසාලාවක් වෙලා කියලා ඒ කාලේ බොහෝ දෙනා කට වචනෙට කියපු කතාවේ යථාර්ථය දැන් හැබෑවටම අපේ ඇස් ඉදිරිපිට දිග ඇරිලා. මේ තරම් මහා විනාශයකට පස්සෙත් කිසිම මිනිස් ජීවිතයකට (කඳවුරේ මිය ගිය සොල්දාදුවා හැර) හානි නොවීම ඇත්තෙන්ම විස්මයජනකයි. නමුත් හැබෑම ඛේදවාචකය වෙන්නේ ඒ විනාශයෙන් මාසයකට පස්සෙත් ජීවිත බේරාගත්ත මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය අඟලකින් හරි ඉදිරියට තල්ලූ කරන්න අපිට හැකියාවක් නොලැබීමයි. මොන තරම් පසුගාමිත්වයක්ද?

තවත් පුද්ගලයකුත් සමඟ තමන්ගේ කඩ කාමරය අස්පස් කරමින් සිටි මැදිවියේ කෙනෙක් අපිත් එක්ක කතාවට එකතු වුණා. ඔහුගේ රැලි වැටුණු මුහුණේ නැගුණු දහඩියට පසුබිමින් ගලාගෙන ආවේ අතිශයින්ම වෙහෙසකර බවක සලකුණු.

”මේ ටවුන් එකේ මගේ ව්‍යාපාර ස්ථාන දෙකක් තියෙනවා. එකක් මේ කඩේ . අනිත් එක මගේ දුව කරන කඬේ. මගේ ගේ තියෙන්නෙත් මේ පාරෙමයි. දැන් ඒ ස්ථාන තුනම විනාශ වෙලා තියෙන්නේ. දැන් මාසයක් වෙන්න ආවා. අපිට අර රුපියල් පනස්දාහ නම් හම්බ වුණා. එතනින් එහාට තාම ස්ථිර විසඳුමක් නැහැ. බලාපොරොත්තු තියාගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. සුසිල් පේ‍්‍රමජයන්තයි, එරාන් වික‍්‍රමරත්නයි ඇවිත් කිව්වා සැලකිය යුතු වන්දියක් දෙනවා කියලා. ඒත් තාම අපිට ඒ සම්බන්ධව කිසි විශ්වාසයක් නැහැ.

අපිට මේ ඇඳන් ඉන්න ඇඳුම විතරයි ඉතුරු වුණේ. අපි ආපහු එද්දී ගෙදර අල්මාරියේ තිබුණ රත්තරං බඩු හැම එකක්ම හොරකම් කරලා. ඒක සිද්ධ වුණේ පළවෙනි දවස් තුන ඇතුළත. අපි පොලීසියේ පැමිණිලි කළා. තාම ඒවයේ ප‍්‍රතිඵලයක් නැහැ. හැමෝටම විශාල පාඩුවක් වෙලා තියෙනවා. සල්ලි, ඔප්පු-තිරප්පු, රිදී රත්තරන් බඩු හැමදේම විනාශ වෙලා. මගේ දුවගේ ගෙයක් තියෙනවා කොස්ගම. එහේ තමයි අපි මේ දවස්වල ඉන්නේ. මේ කඩ ටික හදලා දීලා, සාධාරණ වන්දියක් දීලා නැති වෙච්ච ජන ජීවිතේ නැවත ගොඩනගන්න කියලයි අපි වගකිවයුතු අයගෙන් ඉල්ලා සිටින්නේ”

විපතට පත් වූ ජනතාව එක් වී පිහිටුවා ගෙන තිබූ සාලාව ජනතා එකමුතුව සංවිධානය හමුදා කඳවුර ඉදිරිපිටම තාවකාලික ගොඩනැගිල්ලක ස්ථානගත වී තිබුණා. ඔවුන් සියලූ දෙනාම වෙනුවෙන් එම එකමුතුවේ සංජීව ජයසූරිය අප සමඟ පවසා සිටියේ මෙවැන්නක්.

”පනස්දාහෙ මුදල කිහිප දෙනෙකුට ලැබුණා. නමුත් සාලාවේ වෙළෙඳ ව්‍යාපාරිකයන්ට තාම කිසිම දෙයක් කෙරිලා නැහැ. මේක අපි කරගත්ත දෙයක් නෙවෙයි. රජයෙත් මේකට වගකීමක් තියෙනවා. හමුදාවත් වගකියන්න ඕන. අපි හරියට ගෙදර ගෙනත් තියාගෙන පුපුරව ගත්තා වගේ තමයි මේගොල්ලො දැන් කතා කරන්නේ. අපි පත්වෙලා ඉන්න තත්ත්වයේ විදිහට මේ පනස්දාහෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. අපි පොඩි ව්‍යාපාරයක් කරගෙන දරු පවුල් ගැටගහගෙන ගියේ. ඒවා සේරම නැති වෙලා තියෙන්නේ. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ ඉක්මනට මේ දේවල් ගොඩනංවලා දෙන්න කියලා. එහෙම වුණේ නැත්නම් ඉදිරිය බලලා අපිට යම්කිසි ක‍්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. එහෙම වුණොත් මුළු ජනතාවත් එක්කම එකතු වෙලා අපි පාරට බහිනවා. ඇත්තම කිව්වොත් මට මේ වෙලාවේ හරියට කතා කරගන්නවත් බෑ, කරකියා ගන්න විදියක් නැතුව ඉන්නේ. මාධ්‍යවලිනුත් ගංවතුර, නියඟ ආවම එක එක නම් කියාගෙන පොදි ගහගෙන ගිහින් බඩු බෙදනවා. ඒත් මෙහාට කවුරුවත් එන්නෙ නෑ. ඇයි මේවා ආපදා නෙවෙයිද? අපි හිතලද මේවා කරගත්තේ?”

සාලාවේ හතර කොන පුරා ගරක් ගැසූ අපිට බොහෝ ගැහැනුන් පිරිමින් සමඟ කතාබහ කරන්නට අවස්ථාව ලැබුණා. සිදු වී ඇති විනාශය සැබැවින්ම ඇස් දෙකෙන් දුටුවා. නමුත් ඒ හැම එකක්ම පත්තර පිටුවක් මතට අකුරු කරන්න අපිට අවකාශය හිමි වෙන්නෙ නැහැ. එහෙම වුණත් ඒ හැම කෙනෙක්ම කියපු කතන්දර ඇතුළේ තිබුණේ එකම එක කතාවක්. ඔවුන්ට තියෙන්නේ අනාගතය පිළිබඳ බියක්! තමන්ගේ ජීවිත පිළිබඳ අවිනිශ්චිතතාවක්!! දුවා දරුවන්ගේ හෙට දවස පිළිබඳ සැක සාංකාවක්!!! ඉතින් ඔවුන්ට වුවමනා වෙන්නේ සාධාරණත්වය පමණයි.

මේ කොදෙව්වේ ඉන්න දේශපාලකයෝ කඹ ඇදීමේ ක‍්‍රීඩාවත්, වොලිබෝල් ක‍්‍රීඩාවත් හොඳින් ප‍්‍රගුණ කරපු උදවිය කියලා අපි කාලයක් තිස්සේ හොඳට දන්නවා. ඕනෑම ප‍්‍රශ්නයක් දෙපැත්තට ඇද ඇද ඉන්නත්, එකිනෙකාට බෝලෙ පාස් කර ගන්නත් ඔවුන් හරිම දක්ෂයි. නමුත් ඒ කිසි එකකින් සැබෑ ජනතා ප‍්‍රශ්න විසඳෙන්නෙ නැහැ. සාලාව ප‍්‍රශ්නයත් ඒ වගේ. ඒ නිසා රට කරවන පාලකයිනි! මේ ප‍්‍රශ්නවලට ජනතාවගේ පාර්ශ්වයෙන් සැබෑ විසඳුමක් අවශ්‍යයි. එහෙම නැත්නම් ඔබලා කඹ ඇදීම සහ වොලිබෝල් ක‍්‍රීඩාවන්ට අමතරව කෙටි දුර - දිගු දුර ධාවන ඉසව් සහ බාධක දිවීමේ තරග ද ප‍්‍රගුණ කර තිබීම වැදගත් වනවා ඇති!
සටහන - කසුන් සමරතුංග



'සත්හඩ ඉරිදා පුවත්පත'


Share on Google Plus