නව මහ බැංකු අධිපති පත් වීමත් සමග ශ්‍රී ලංකාව නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ මාවතේ...


ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වන අධිපතිවරයාය. ඉන්දු ලංකා සහයෝගිතා තාක්ෂණික ගිවිසුම (ETCA) ඇතුළු ජාත්‍යන්තර ගිවිසුම් කිහිපයක් සැකසීමේ උපදේශකවරයෙකු වශයෙන්ද ඔහු කටයුතු කර ඇත. ඔහු, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කළ සහ වත්මන් ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතවරියක වන රාධිකා කුමාරස්වාමිගේ සොහොයුරාය. 1950 අප්‍රේල් 03 වන දා කොළඹ දී උපත ලැබූ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සිය අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලෙයෙනි. අගමැති රනිල් වික්‍රමසිංහ, මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන සහ ඇමැති සජිත් ප්‍රේමදාස වැනි රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකි. එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධියද, සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියද ලබාගත් ඔහු 1974 දී මහ බැංකුවේ සේවයට එක් විය. මහ බැංකුව තුළ අංශ කිහිපයක කටයුතු කළ ඔහු 1981 – 89 කාලය තුළ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේද සේවය කළේය. ඉන්පසු 1990 සිට 2008 දක්වා පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ හිටපු අධ්‍යක්ෂ වරයා‍ද වේ. වෘත්තීය ආර්ථික විශේෂඥ කුමාරස්වාමි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ උපදේශක වරයෙකු වශයෙන්ද කටයුතු කළේය.

80 දශකයේ එක්සත් ජාතික පක්ෂය විසින් ගෙනගිය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිමේදී මහබැංකුවේ නිලධාරියකු ලෙස විශේෂ දායකත්වයක් සැපයූ ඔහු රාජ්‍ය අංශය කප්පාදු කරමින් පුද්ගලික අංශයට ආර්ථිකයේ වැඩි පංගුවක් හිමිකර දෙමින් ඒ හරහා ආර්ථික වර්ධනයක් ළගාකරගැනීමේ ලෝක බැංකු, ජාත්‍යන්තර මුද්‍ය අරමුදලේ උපායමාර්ගික ක්‍රියාදාමය පිළිගත්තෙකි. කෘෂිකර්මය රටට බරක් සේ දකින ඔහු සේවා ආර්ථිකයේ ප්‍රසාරණයෙන් ආර්ථික වර්ධන ඉලක්කවලට ළගා වියහැකි බව සිතන නව ලිබරල් මතධාරී ආර්ථික විශේෂඥයෙකි.
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සිය වැඩ භාරගැනීමේ අවස්ථාවේ මහබැංකු කාර්ය මණ්ඩලය අමතමින් කියිා සිටියේ තම පළමු හා ප්‍රමුඛ කාර්ය වන්නේ මහබැංකුවේ අධිපති තනතුර වඩා ගරුකටයුතු මට්ටමකට එසවීම බවයි. ඔහු පත්වූයේ හිටපු මහබැංකු අධිපතිවරු දෙනෙකුටම බරපතල චෝදනා එල්ල වී ඇති පසුබිමකය. වරක් පොදුරාජ්‍ය මණ්ඩල අධ්‍යයන ආයතනය වෙනුවෙන් ආචාර්ය සූ ඔන්ස්ලෝ සමග මෙයින් වසරකට පෙර පැවති සම්මුඛ සාකච්ඡාවකදී නව මහබැංකු අධිපතිවරයා පවසා තිබුණු දෙයක් මෙහිදී සිහිපත් කළ යුතුව ඇත. “ව්‍යාපාරිකයන්ට කළමනාකරණය කර ගත හැකි බවට පිළිගත් දුෂණ වංචා අනුපාතයක් තිබේ. හැම දේකටම මෙන් ඊටත් වෙළෙඳපලක් තියෙන බවයි මම හිතන්නේ,” යනුවෙන් ඔහු එහිදී පවසා තිබුනි. ඩොලර් කෝටි හයකට අධික කොටස් වෙළෙඳපල වංචා සහ කුටෝපාය සම්බන්ධයෙන් 2011 මැයි මාසයේදී එක්සත් ජනපද අධිකරණය විසින් එකොලොස් අවුරුද්දකට සිරගත කරන ලද ශ්‍රී ලාංකික රාජ් රාජරත්නම්ගේ ගැලියොන් ව්‍යාපාර සමුහයේ විශේෂ උපදේශකයකු වශයෙන් ද ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කටයුතු කරයි. ආචාර්ය කුමාරස්වාමි මහ බැංකුවට එන්නේ වසර 40කට වැඩි කලක් ආර්ථික ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති වෘත්තිකයකු වශයෙනි. ඊට පෙර ඔහු අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන මලික් සමරවික්‍රමගේ ප්‍රධානත්වයෙන් යුත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ උපදේශකු වශයෙන් ද කටයුතු කර ඇත.


66 හැවිරිදි ආචාර්ය කුමාරස්වාමි ධුරයේ පිහිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කළේ අගමැතිවරයා සමග කරන ලද සාකච්ඡාවකින් අනතුරුව බව රජය විසින් ප්‍රසිද්ධකර තිබේ. ජූලි 2වැනිදා මහ බැංකු අධිපති ධූරයට නම් කැරුණු වහාම ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වී සුහද පිළිසඳරක නිරත විය. ඔහුගේ නව පත්වීම මහින්ද රාජපක්ෂ පාර්ශවයේද ප්‍රශංසාවට ලක්වී තිබේ. “අත්දැකීම් පිරි වෘත්තිකයකු සහ ක්ෂේත්‍රයේ ගෞරවයට පාත්‍ර වූවකු මහ බැංකු අධිපති ධුරයට පත් කිරීම සාදරයෙන් පිළිගනිමු,” යි ඉන්ද්‍රජිත් කුමාරස්වාමි උගත් රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය දිනේෂ් ගුණවර්ධන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළකර තිබේ. නව මහ බැංකු අධිපති වෙත ශ්‍රී ලංකා මහ බැංකුවේ බිඳ වැටුණු විශ්වාසනීයත්වය කඩිනමින් ගොඩනැංවීමේ වගකීම පැවැරී ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා තම ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් ප්‍රකාශ කළේය.


ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කෙරෙණ බව නිවේදනය කළ මොහොතේ සිට ඊට දැඩි විවේචනයක් එල්ල කිරීමට මහින්ද රාජක්ෂට හිතවත් දේශපාලකයකු ලෙස විමල් වීරවංශ කටයුතු කළ නමුත් මහින්ද පිලේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන දිනේෂ් ගුණවර්ධන මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ නව අධිපතිවරයාගේ පත්වීම තමන් අනුමත කරන බවයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ නව අධිපතිවරයා මහ බැංකුවේ විශ්වාසය වැඩි කිරීම පිණිස කටයුතු කරනු ඇතැයි තමන් තුළ විශ්වාසයක් ඇති බවය.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ජනමාධ්‍ය හමුවකදී පැවසුවේ නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පිළිබඳ තීරණයක් ගත හැක්කේ ඉදිරියේදී ඔහු ක්‍රියා කරන ආකාරය අනුව බවකි.


‘හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට චෝදනා රැසක් එල්ල වුණා. ඔහු තවදුරටත් මහ බැංකු අධිපති ධුරයේ තබාගන්න බොහෝ පිරිස් උත්සාහ කළා. අවසානයේ බැරි බැරි ගාතේ ඔහුට යන්න සිද්ධ වුණා. අලුත් මහ බැංකු අධිපති ගැන අපට සියයට සියයක් චරිත සහතික දෙන්න බැහැ. ඔහු ස්වාධීන පුද්ගලයකු ලෙස කටයුතු කරද්දි ආර්ථිකය සම්බන්ධයෙන්, සහනධාර, පුද්ගලීකරණය ආදිය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ හා මත සිදු කර තිබෙනවා. ඒවා ඔහු ස්වාධීන පුද්ගලයකු විදියට කරන ලද ප්‍රකාශ. එහෙත් දැන් ඔහු මහ බැංකු අධිපති. එවැනි අවස්ථාවක ඔහු කටයුතු කරන්නේ කෙසේ ද යන්න අප විමසිල්ලෙන් බලා සිටිය යුතුයි‘ ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් ජූලි 3වැනිදා පැවැති ජනමාධ්‍ය හමුවකදී පැවසුවේ එයයි.


ඉන්ද්‍රජිත් කුමාරස්වාමිග් පැමිණීම ගැන අදහස් දක්වන ඇතැම් විචාරකයන් පවසන්නේ , අර්ජුන් මහේන්ද්‍රන් මෙන් ව්‍යාපාරික පන්තිය සමග සමීප පුද්ගලයෙක් නොවන නිසා ඔහුගේ පත් කිරීම බොහෝ දුරට සතුටට පත් විය හැකි කරුණක් බවයි. ජනාධිපතිවරයා, අගමැතිවරයා අතර මෙන්ම විපක්ෂයේද කිසියම් එකඟතාවයක් ඇතිවී තිබීමද අවධානයට ලක් විය යුතුය. එක් අතකින් එය එසේ වීමට එයට හේතුව වන්නේ ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වීම නිසා පමණක්ම නොවේ. මෛත්‍රිපාල සිරිසේනගේ දේශපාලන උපදේශකත්වය දරන බවට කියනු ලබන චන්ද්‍රිකා කුමාරතුංග මෙම පත්වීම ගැන කිසිවක් ප්‍රසිද්ධියේ පවසා නැත. එහෙත් ඇය ඊට විරුද්ධ නොවන බව නිශ්චිතය. විශේෂයෙන්ම වත්මන් හවුල් පාලනය තුළ ආධිපත්‍ය දරන කොළඹ ඉහළ පැලැන්තිය නියෝජනය කරන රනිල් වික්‍රමසිංහට හා චන්ද්‍රිකා කුමාරතුංග, නව මහ බැංකු අධිපති පත්වීම සම්බන්ධව පූර්ව එකගතාවක සිටින බව පැහැදිලිය.මේ බහුපාර්ශ්වික සම්මුතිය නැරඹීමෙන්ම එක් දෙයක් විවාදයකින් තොරව පිළිගත හැකිය. එනම්, කුමාරස්වාමි නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටින බවයි. එක්සත් ජාතික පක්ෂය 1978 සිටම ක්‍රියාත්මක කළ නව ලිබරල් ප්‍රතිසංස්කරණ ලෙස ආර්ථිකයේ රාජ්‍ය පංගුව අවම කිරීම, වෙළෙඳාම ලිහිල් කිරීම, ප්‍රාග්ධන වෙළෙඳ‍පොළ ලිහිල් කිරීම, විනිමය අනුපාතය පාවෙන්නට ඉඩ හැරීම ක්‍රියාත්මක කිරීමේදී මහබැංකුවේ නිලධාරියකු ලෙස ඔහුට පරිචයක් ඇත. නව ලිබරල් ධනවාදයේ මූලධර්මවාදය දෙසට නැඹුරු වූ ආර්ථික විද්‍යාඥයෙක් ලෙස ඔහු කටයුතු කරන බවට සැකයක් නැත.


ලංකාවේ ආණ්ඩුව, මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගැලවීම පිනිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 1.6ක ණය මුදලක් ගන්නට කටයුතු කර තිබේ. ‍එහිදී ආණ්ඩුව පොරොන්දු වූ කොන්දේසි අනුව නව ලිබරල් ආර්ථිකයේ ඉදිරි පියවරට යාම සදහා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපතිවරයාට භූමිකාවක් තිබේ. කොහොමටත් මහ බැංකු අධිපතිවරයා යනු රටේ මූල්‍ය ප්‍රතිපත්තිය, මුද‍ලේ අගය ආරක්ෂා කිරීම යන කරුණුවලදී බරපතල වගකීමක් දරන්නට සිදුවේ.කෙටියෙන් කිවහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පවා පිලිගන්නවා මිස වෙනසක් කළ නොහැකි, හවුල් ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාදාමයට ඔහුට කළ හැකි දායකත්වයක් තිබේ. දැනටමත් ජනාධිපතිවරයාට සිදුව ඇත්තේ පත්තරවලින් දැනගත් බව කියිමන් රැස්වීම්වලදී අප්‍රසාදය පළ කිරීමටය. වැට් බදු අඩු කරන බවට ජනාධිපති ජනමාධ්‍ය සදහා කරන කතාද හුදු ජනතාව රවටන සිල්ලර කතා බවට පත්ව තිබේ. ඒ හැර තමන්ද හවුල් වන ආණ්ඩුවේ නවලිබරල් පිලිවෙතට මුක්කු ගැසීමෙන් තොරව ජනාධිපතිකම බේරාගන්නට නොහැකිය. හවුල් ආණ්ඩුවේ බේරුම්කරුවා මෙන් රගපාන්නට ජනාධිපතිවරයා උත්සාහ කළද නව ක්‍රියාවලිය තුළ කිසිවක් කරන්නට ඔහුට හැකියාවක් හෝ භූමිකාවක් පවා නැත.


අගමැතිවරයා ප්‍රසිද්ධියේ පවසා තිබුණු දෙයක් වන්නේ, ‘මංගල රටේ නම හොද කරනවා, රවි ආර්කථිකය හදනවා, මලික් ආයෝජන ගේනවා‘ යන්නය. එහෙත් ඇත්ත කතාව නම්, මලික් සමරවික්‍රම ඇතුළු එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර කවය දැන් රටේ ආර්ථිකය පිළිබද තීන්දු ගන්නා බවයි. අර්ජුන් මහේන්ද්‍රන් පත්කරන්නට පෙරම කුමාරස්වාමිට මහබැංකුව භාර ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කර තිබිණු බව ප්‍රසිද්ධ රහසකි. මහබැංකුව භාර දීමේදී අර්ජුන් සමග අගමැතිවරයාගේ පවතින පුද්ගලික හිතවත්කමට වඩා බලපෑවේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා වඩාත් සුදුසු කවුද යන්නය. ඒ අනුව, රනිල් වික්‍රමසිංහ අර්ජුන්ටත් පෙර සිටම තෝරාගත් පුද්ගලයා වන්නේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමිය.


තවදුරටත් ලංකාවේ උපන් අයකුවීම, රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකුවීම හෝ මහබැංකුවේ සේවය කර තිබීම හෝ ජාත්‍යන්තර මට්ටමේ නිලධාරියකු, ආර්ථික විශේෂඥයකුවීම යන කාරනා තිබියදී මහබැංකුව භාරගත් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මුහුණ දෙන්නට යන වගකීම තුළ ඔහු හදුනාගත යුතුව ඇත. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වේවා මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බන්ඩාරණායක, මහින්ද රාජපක්ෂ හෝ දිනේෂ් ගුණවර්ධන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සාදරයෙන් පිළිගැනීම වටහාගැනීම පහසුය. එහිදී ජ.වි.පෙ. දෙකට දෙවාරනේ නන් දෙඩවීම ජුගුප්සාජනකය. 2015 ජනවාරි 8වැනිදා දක්වා ජනතාවට වැනි වැනී සිටි ජ.වි.පෙ. නායකත්වයට නව මහබැංකු අධිපතිවරයාගේ භූමිකාව ගැන කෙළින් කතා කරන්නට නොහැකි වී ඇත.
ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සාදරයෙන් පිලිගන්නා ලංකාවේ දේශපාලන ධාරාව නිසැකවම ඉදිරියේදී නවලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඒකාබද්ධ දේශපාලනයක නිරතවනු ඇත. ඔවුන් පය ගසා ඉන්නේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය ලේබලයෙන්ද විපක්ෂ ලේබලයෙන්ද යන්න වැදගත් නොවේ. ආණ්ඩුවේ වේවා විපක්ෂයේ වේවා නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන දේශපාලනයේ ක්‍රියාමාර්ල අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ රුපියල අවප්‍රමාණය වීම, අධික උද්ධමන තත්වය සහ උද්ධමනය වේගය හමුවේ විකල්ප නොමැතිව පාලකයන් ඉදිරියට ගෙනයනු ඇති දැඩි පිළිවෙත්ය.


මෙම කරුනු සලකා බලන විට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ ආගමනය යනු, අප වටා ඇස් ඉදිරියේ ගොඩගැසෙන කැලිකසලවල දුර්ගන්ධය නොතකා, අනෝතප්ත විල අසබඩ ගැවසෙන මායා සිහින දකින්නට අවකාශ නොදෙන මොහොතක් එළඹ ඇති බව පමණක් දැනට ලියා තබමු!



'Lanka Views' වෙබ් අඩවියෙන් උපුටා නැවත පළ කිරීමකි.


Share on Google Plus