අකිල විරාජ්ගේ පවු වලට තෙවරප්පෙරුම කර ගැසීම...


පාලිත තෙවරප්පෙරුම බෙල්ලේ වැල දාගෙන ෆෑන් එකක එල්ලී (අම්මප) මැරෙන්නට ගියේ පසුගිය සතියේය. ඒ තමන් නියෝජනය කරන දිස්ත‍්‍රික්කයේ දරුවන් කීප දෙනෙක්ව එම (කළුතර) දිස්ත‍්‍රික්කයේම පාසලකට දමාගන්නටය.

අදාළ පාසලේ විදුහල්පතිවරයා, නිශ්චිත පටිපාටියෙන් බැහැරව එසේ කළ නොහැකි යැයි දිගින් දිගටම කියද්දීත් එය පිළිනොගත් පාලිත තෙවරප්පෙරුම සියදිවි නසාගන්නට තැත් කරන බව පෙන්වීය. ඒ මොහොතේ බියට පත් වූ විදුහල්පතිවරයා, වහාම අර දරුවන්ව පාසලට ඇතුළත් කරගන්නට කටයුතු යොදන බව අප දුටුවේ රූපවාහිනියෙනි.

ඒ නාටකය අවසන් වී සතියක් ගතවෙන්නට මත්තෙන් ඊටම ඈඳුණු තවත් එකක් කරළියට ආවේය. එනම්, එදා තෙවරප්පෙරුම සමඟ පාසලට දරුවන් රැගෙන ආ මවුවරුන් කීපදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමය. ඔවුනට එල්ල කළ චෝදනාව ‘අයුතු ජන රාශිය’යි. ඒ වන විට තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයා රෝහල්ගතව සිටි අතර, ඔහු වහා ටිකට් කපාගෙන පැමිණ බලෙන්ම වාගේ පොලිස් අත්අඩංගුවට පත් වූයේ, ‘මව්වරුන්’ අත්අඩංගුවට පත්වීම අසාධාරණ බව කියමිනි. මෙය ලියන මොහොත වන විට ඒ මව්වරුනුත් තෙවරප්පෙරුමත් බන්ධනාගාරයේය. ‘අම්මා ඕනේ’ කියමින් හඬන දරුවෝ පියවරුන් තුරුලේ හඬා වැටෙති.
මේක මොන විකාර රටක්ද? දරුවකු පාසලට ඇතුළත් කිරීම මොන තරම් දරුණු යුද්ධයක්ද? අර පාසල් මේ පාසල් කියා නහුතයක් පාසල් වර්ග තිබුණාට දරුවන්ට අවශ්‍ය පහසුකම් තිබෙන්නේ පාසල් කීයෙන් කීයකද? හැම දෙමව්පියෙක්ම උත්සාහ කරන්නේ ‘හොඳ’ (යැයි සම්මත) පාසලකට තමන්ගේ දරුවා දමා ගැනීමටය. ඒ ‘හොඳ’ මනින විට ‘හොඳට’ වඩා මනින්නේ ‘නම’ය. වැඩිය ලොකු නමක් නැති ‘හොඳ’ පාසල් තිබුණ ද හොයන්නෙම අර ජාතියේ නමක් තියෙන ඒවාය. මේක එච්චර තියා කොච්චරවත් හොඳ මානසිකත්වයක් නොවේ. හැබැයි, මිනිස්සුන්ව පුරුදු කර තිබෙන්නේ සහ මිනිසුන් පුරුදු වී තිබෙන්නේ එහෙමය.

මේක ෆෑන්වල එල්ලී බේරන්නට පුළුවන් හුටපටයක් නොවේ. මේක හරිහමන් අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් නැතිකම නිසා නිර්මාණය වන විකාරසහගත තත්ත්වයකි. මහා සමාජ වෙනසක් වෙනකන් මේවා සම්පූර්ණයෙන් විසඳෙන්නේ නැතත් ඒ වෙනස වෙනකම්ම නොඉඳ අතරමැද විසඳුම් හොයාගන්නට ද බැරි නැත. අප ආණ්ඩුවක් පත් කර ගන්නේ - ඒ ආණ්ඩුවට අධ්‍යාපන ඇමැති කෙනෙක් ඉන්නේ ඒකටය. දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ නිශ්චිත ක‍්‍රමවේදයක් හදන්නට ඕනෑය. දුක්ගැනවිලි විසඳන්නට (නමට විතරක් නැති) සක‍්‍රිය කාර්ය සාධක බළකායක් ඕනෑය. ඒවා කරන්නේ නැතුව කුලියාපිටියට වී බකන්නිලාගෙන සිටියාට ප‍්‍රශ්න විසඳෙන්නේ නැති බව අකිල විරාජ් කාරියවසම් දැනගත යුතුය.

ඒ ක‍්‍රියාමාර්ග නොගන්නා තාක් සිදු වන්නේ විකාරය. තෙවරප්පෙරුම වැනි හයිස්පීඞ් අවංක මෝඩ මන්ත‍්‍රී චණ්ඩි පිස්සු කෙළින්නේ අධ්‍යාපන ඇමැති මේවා නොදැක්කා සේ ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාව එනතුරු ඇඟිලි ගණින නිසාය. (තෙවරප්පෙරුම වගේ අයත් වැඩිය නැත. ඉන්න තරමක් ඉන්නේ ප‍්‍රශ්න දැක හෙමින් ලිස්සා යන ‘කැඳ කෝමාරිකා සෙවල බණ්ඩක්කා’ වර්ගයේ උදවියයි.) ඊළඟට මේ විකාර නාටකයට ඔළුව දමා ඇත්තේ පොලීසියයි. ඔවුන් කර ඇති වීර ක‍්‍රියාව නම්, අර අහිංසකයන් හිරේ දැමීමයි. එකෙකුට එකෙකු නොපරදින ගොන්පාට් පෙළක් නිර්මාණය වී ඇත. බලන් ඉන්න අයට මොළේ කචල් වීම වළක්වන්නට නොහැකිය.

- විමල් කැටිපෙආරච්චි

'සත්හඩ පුවත්පත වෙබ් පිටුවෙන්' උපුටා නැවත පළ කිරීමකි.




Share on Google Plus