හැමෝටම වැදුන 'වැට් බදු' වර්තමාන තත්වය!(උපුටා ගැනීමකි.)





වැට් බද්ද පිළිබඳ වෙළෙඳ සංගම්වල නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

ජනාධිපති කාර්යාලයේ දී ඊයේ(04) පස්වරුවේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වෙයි.

වැට් බද්ද පිළිබඳ සියලු පාර්ශවවල අදහස් හා යෝජනා ලබාගැනීමේ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර එහි පළමු සාකච්ඡාව මෙලෙස වෙළෙඳ සංගම් නියෝජිතයින් සමග පවත්වා තිබේ.

වැට් බද්දට බලපාන භාණ්ඩ සහ එහි බලපෑමක් සිදුනොවන භාණ්ඩ පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකමින් ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බව වෙළෙඳ සංගම් නියෝජිතයින් මෙහිදී පෙන්වා දී ඇත.

එම නිසා වැට් බදු පැනවීම සිදුව ඇත්තේ කුමන ආකාරයෙන් ද යන්න පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව ඔවුන් පෙන්වා දී තිබේ.

එහිදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් වැට් බදු පැනවීම සිදුව ඇත්තේ කුමන ආකාරයෙන් ද යන්න පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පාරිභෝගික භාණ්ඩයක් ආනයනය කිරීමේ සිට එය පාරිභෝගිකයා අතට පත්වන තුරු සිදුවන වෙනස්වීම පිළිබද සටහන් කෙරෙන විධිමත් ක්‍රමවේදයක් නොමැතිකම මෙම ගැටළුවට ප්‍රධාන හේතුවක් වී ඇති බව පෙන්වාදුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ කඩිනම් අවධානය යොමුකරන ලෙස උපදෙස් ලබා දී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ වෙළෙඳ සංගම් නියෝජිතයින් සහභාගී වී සිටියේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරලියගහ මන්දිරයට කැඳවා වැට් බදු සංශෝධනය පිළිබඳ දැනුවත් කර තිබේ.
වැට් බදු පනවා ඇති භාණ්ඩ පිළිබඳ සහ වැට් බදු අදාළ නොවන භාණ්ඩ පිළිබඳ මෙන්ම වැට් බදු ඉහළ නැංවීමට හේතුව පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් ආසන සංවිධායකවරුන් දැනුවත් කර ඇති බව වාර්තා වෙයි.
වැට් බදු සංශෝධනය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් මාර්ගයෙන් ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණ වී තිබේ.


මෙහිදී රට තුළ මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතළ තත්ත්වය පැහැදිළි කර දුන් අතර රටේ ආර්ථිකය බිඳ නොවැටී පවත්වා ගැනීමට හා දියුණු කිරීමට නම් ආර්ථික ප්‍රතිසංස්කරණ හා තීන්දු තීරණ ගනිමින් ඉදිරියට යා යුතු බව පැහැදිලි කර දෙනු ලැබීය.

එමෙන්ම සරළ බදු ක්‍රමයක් ඇති කිරීමේ අවශ්‍යතාවය හා ක්‍රමවත් බදු ක්‍රමයකින් රටේ සියලුම දෙනාට විනිවිද භාවයකින් යුතුව බදු ගෙවීමට ඇති වාතාවරණයක් ඇති කළ යුතු බව සාකච්ඡා කරන ලදී.

එසේම සැගවුණු බදු වෙනුවට කාටත් පෙනෙන බදු ක්‍රමයක් මගින් ජනතාව රටේ ආර්ථිකයට, පාලන ක්‍රමයට සම්බන්ධ කරගැනීමක් කළ යුතු බවට එකගතාවලට පැමිණි බවද සඳහන්ය.

එහිදී බාරගත් විනාශ වු ආර්ථිකය නිවැරදි මාවතකට ගෙන ඒමටත් එය ආසියාවේ දියුණුම ආර්ථිකය බවට පත් කරගැනීමටත් ඔවුන්ගේ උපරිම සහයෝගය පල කරනු ලැබ තිබේ.

'අද දෙරණ' සිංහල වෙබ් පිටුවෙන් උපුටා නැවත පළ කිරීමකි.




Share on Google Plus