ඇමැති රිෂාඩ්ගේ සංස්ථාවේ විස්කි ගැහිල්ලක්!(උපුටා ගැනීමකි.)


රාජ්‍ය තාන්ත‍්‍රික විදෙස් නිලධාරීන්ට සහ තානාපති සේවයේ නියුතු පිරිසට හිමි (Duty Free) රට බීම කෝටා යොදා ගනිමින් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ (STC) පිරිසක් දැවැන්ත ජාවාරමක නිරත වන බව අනාවරණය වී ඇත.
මෙම ජාවාරම සඳහා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකුගේ අනුග‍්‍රහය ලැබෙන බව ද දැනගන්නට ඇත. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ පාලනය වන අතර විෂයභාර අමාත්‍යවරයා වන්නේ රිෂාඩ් බදියුදීන්ය.

තීරු බද්දෙන් නිදහස් (Duty Free) මත්පැන් කෝටාව ලබා නොගන්නා නිලධාරීන්ගේ හා දූත පිරිස්වල දත්ත භාවිත කරමින් ඔවුන්ට හිමි මත්පැන් කෝටාව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සහ රේගු නිලධාරීන් කිහිප දෙනකුගේ මැදිහත් වීම මත රහසිගත ලෙස අධික මිල ගණන්වලට සාමාන්‍ය වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කර ඇත.

මැදපෙරදිග රටවල තානාපති කාර්යාල නියෝජිතයන් සහ රාජ්‍ය තාන්ත‍්‍රිකයන් තීරු බද්දෙන් නිදහස් මත්පැන් කෝටාව බොහෝ විට ලබා නොගනී. ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් කරන්නේ ඔවුන්ගේ මත්පැන් කෝටාව ප‍්‍රයෝජනයට ගනිමින් ජාවාරමේ නිරත වීමය. මේ සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් සිදු කළත් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මෙම ජාවාරමට සම්බන්ධ වීම හේතුවෙන් කිසිවක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත. ජාවාරම හේතුවෙන් වසරකට රුපියල් මිලියන ගණනක ආදායමක් රජයට අහිමි වෙමින් පවතී.

තීරු බද්දෙන් නිදහස් මත්පැන් කෝටා අනිසි ලෙස භාවිත කරමින් සිදු කරන ජාවාරම පිළිබඳ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී පී. එම්. පැරකුම් මහතාගෙන් අප කළ විමසීමක දී හෙතෙම සඳහන් කළේ එම චෝදනාව අසත්‍ය එකක් බවය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ අදාළ කෝටා නිකුත් කරන බවත්, ජාවාරමක් ක‍්‍රියාත්මක වන බවට රේගු දෙපාර්තමේන්තුවට ලැබුණු ඔත්තුවක් අනුව විමර්ශන සිදු කළ බවත්, එහි දී මත්පැන් කෝටා ජාවාරම සම්බන්ධයෙන් කිසිවක් හෙළි නොවූ බවත් හෙතෙම පැවසීය. කරුණු මෙසේ වූව ද ඩියුටි ෆ‍්‍රී මත්පැන් කෝටා ජාවාරම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය වෙත තොරතුරු වාර්තා කර ඇති බව දැනගන්නට ඇත. මෙකී ජාවාරම සම්බන්ධයෙන් කරුණු හෙළි කළ නම සඳහන් කිරීමට අකැමැති වූ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ පුද්ගලයකු පැවසුවේ රේගු නිලධාරීන්ගේ සහායත් ජාවාරම සඳහා ලැබෙන නිසා රජයට සිදු වන පාඩුව අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවයි. ඩියුටි ෆ‍්‍රී මත්පැන් කෝටා, කැරෝකේ ඇතුළු සමාජ ශාලා වෙත වැඩි මිලට අලෙවි කර එම මුදල් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් විසින් බෙදාහදා ගන්නා නිසා ජාවාරමේ තොරතුරු අනාවරණය කරගැනීමට පහසු නැති බව ද හෙතෙම කීය.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව අදාළ මත්පැන් ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ දී ද එම ටෙන්ඩර් දූෂිත ආකාරයෙන් ලබා දීමට කටයුතු කර ඇත. ටෙන්ඩර් කැඳවා ලබාගත් මත්පැන් තොග රාජ්‍ය තාන්ත‍්‍රික කෝටා යටතේ නිදහස් කර ඒවා වැඩි මිලට විකිණීමේ ජාවාරම වැඩිපුරම සිදු කෙරී ඇත්තේ උත්සව කාලවල දී බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ටෙන්ඩර් කැඳවා ඇති ආකාරයෙන් අනාවරණය වේ.

දයා නෙත්තසිංහ විසිනි.


'සත්හඩ පුවත්පත' වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලද ලිපියකි.

Powered by Blogger.