නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට යන අයට වැඩ දරුණු වෙයි! (Lanka dna).


මිනිස් ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියානු රජයන් සමීපව කටයුතු කරන බව මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.

නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සහ කළ ශ්‍රී ලාංකික සරණාගතයින් 6 දෙනෙකු යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය මේ බව සඳහන් කර තිබේ.
පිටුවහල් කරන ලද සංක්‍රමණිකයින් පිරිස ගුවන් මගින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ(16) අත්අඩංගුවට ගනු ලැබීය.
වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් පසුගිය මස 21 වනදා කාන්තන්කුඩි මුහුදු ප්‍රදේශයේ සිට නීතිවිරෝධීව ඔස්ට්‍රේලියාව බලා යාත්‍රා කර ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් ඔවුන් රැගත් යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්ව දින ගණනාවක් මුහුදේ පාවෙමින් තිබීයදී ඔස්ට්‍රේලියානු මුර යාත්‍රාවක් විසින් බේරාගෙන පසුව එම සංක්‍රමණිකයින් මෙරටට පිටුවහල් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ මෙම සිදුවීම හරහා ඔස්ට්‍රේලියාවේ දේශසීමා ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්තිවල කිසිඳු වෙනසක් සිදුව නොමැති බව පෙන්නුම් කෙරෙන බවයි.

2013 වසරේ සිට අනවසර සංක්‍රමණිකයින් රැගත් කිසිඳු යාත්‍රාවකට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවස්ථාව හිමි නොවු අතර මිනිස් ජාවාරම්කරුවන්ට මුලාවී ජීවිත අවදානම නොසළකමින් මෙවැනි නීතී විරෝධී කටයුතුවල නිරත නොවන ලෙස එම කාර්යාලය දැනුම් දෙයි.

මිනිස් ජාවාරම් මැඩලීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රසාදය පළ කරන බවත් ඉදිරියේදීත් මෙම ජාවාරම මැඩලීම සඳහා ශ්‍රී ලංකා රජය සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Lanka dna.




Share on Google Plus