පොලිස්පතිතුමාව තනතුරෙන් පහ කරයිද? (Lanka dna).

 


පොලිස්පතිවරයා විසින් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේ රැස් වී තීරණය කරන බව ජාතික පොලිස් කොමිසම පවසයි.

පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා කියා සිටියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරීවරයා පත්කිරීම සම්බන්ධයෙන් කොමිසම ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා මෙතෙක් කටයුතු කර නොමැති බවයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිළධාරීවරයා ලෙස පත් කිරීමට පොලිස් කොමිසම පසුගියදා නිර්දේශ කරන ලදී.

අගෝස්තු මස 09 වන දින සිට අදාළ පත් කිරීම සිදුකිරීමට නියමිතව තිබුණද මෙතෙක් පොලිස්පතිවරයා විසින් එම පත් කිරීම සිදුකර නොමැති බව වාර්තා වේ.

ඒ පිළිබදව පොලිස්පතිවරයාගෙන් කරුණු විමසීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇති අතර අද දිනයේ පැවැත්වෙන රැස්වීමේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන බව එහි ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේය.
 

එමෙන්ම පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ තාජුඩීන් ඝාතනය,මහාපරිමාණ ඇවන්ගාඩ් වංචාව සහ අමාත්‍ය පාඨලී චම්පික මහතාගේ රාජකාරි රථයේ තරුණයෙකු ගැටීම ආදී සිදුවීම් වල විමර්ශන කටයුතු උදාසීන මට්ටමක පැවතීමට වර්තමාන පොලිස්පතිවරයා පවාද වග කිව යුතු බවට විවිධ සිවිල් සමාජ සංවිධානයන්හි දෝෂාරෝපනයට පොලිස්පතිවරයා ලක් වී ඇත. 
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේදී තීරණයක් ගන්නා බව ආරියදාස කුරේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Lanka dna.








Share on Google Plus