ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියාරු වීම සහ රාජපක්ෂවරු මහපාරට ඇද වැටීම තුළ ලාංකේය දේශපාලනය! (ඉෂාර ලක්මිණ.)



2015 ජනාධිපතිවරණයේදී 3 වන වතාවත් බලය අල්ලා ගැනීමට ගොස් මහින්ද රාජපක්ෂ මහතාට ජීවිතයේ ලද දැවැන්තම පරාජය ලැබීමට සිදුවිය.ඉන් නොනැවතුන මහින්ද රාජපක්ෂ මහතා 2015 අගෝස්තු මහ මැතිවරණයට කුරුණෑගල මැතිවරණ දිස්ත්‍රික්කයෙන් තරගකරනු ලැබුවේ එම මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සංධානය පරාජය වන බව දැන දැනමය.එහෙත් ඒ වගක තම සමීපතමයින් කීප දෙනෙක්ට පමණක් හෙළිදරවු කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රවේෂම් සහගත විය.

ඉතා තියුණු 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය වැඩි ආසන සංඛ්‍යාවක් ලැබුවද තවත් මන්ත්‍රී ආසන 7ක් ආණ්ඩු බලය ලබා ගැනීමට මදි වීම නිසා මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 40 දෙනෙකුගේ පමණ සහාය ලබා ගනිමින් ජාතික ආණ්ඩුවක් බිහි කරගත්තේය.උග්‍ර ලිබරල් ධනේෂ්වර ආර්ථික ප්‍රතිසංස්කරණ අනුගමනය කරන (ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට අනුගතව ජනතා යැපුම් සහන කප්පාදු කිරීම ප්‍රතිපත්තිය වූ),ඇමරිකාව ප්‍රධාන බටහිර ගැති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන,ජාතික ප්‍රශ්නය සම්බන්ධව ලිබරල් දේශපාලනික ප්‍රතිසංස්කරණ පිළිපදින (ෆෙඩරල් වැනි විසදුම් දක්වා දිවෙන.) එක්සත් ජාතික පක්ෂය සමග;
සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික සහ දේශපාලනයක් විශ්වාස කරන (රාජ්‍ය මූලික සේවාවක් සහ ආර්ථිකයක් 'සමූපකාර වැනි' රාජ්‍ය කර්මාන්ත සහ ව්‍යවසායන් බලගන්වන 'ලංකා සීනි කර්මාන්ත ශාලාව කන්තලේ,ලංකා ටයර්,ලංකා ලෝහ යනාදී කර්මාන්ත') ජාතික ප්‍රශ්නය සම්බන්ධව භූමි පුත්‍ර විසදුමකට දැඩිව මත දරන (සිංහළයන්ට ඓතිහාසිකව ශ්‍රී ලංකාව උරුම නිසා සුළු ජාතීන් යටත්ව වාසය කළ යුතුය.) , චීනය සහ ඉන්දියාව සමගත් රුසියාව සමගත් මිත්‍ර බටහිර විරෝධී විදේශ ප්‍රතිපත්තියක් සහ ජාත්‍යන්තරය හෙළා දකිමින් ස්ව අභිමානී රාජ්‍ය ප්‍රතිපත්තියක් ගෙන යන (මහින්ද රාජපක්ෂ යුගයේ මීට නිදසුන් ඇත.) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එක්ව ආණ්ඩු කිරීමට යාම තුළ ජාතික ආණ්ඩුව තුළ කැබිනට් මණ්ඩලයේ සුළුතරය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැබවින්ම දියාරු වන්නට විය.

මීට හොදම නිදසුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා(සභාපතිවරයා) වූ වර්තමාන ජනාධිපතිතුමා ආණ්ඩුව විසින් එක්ව සාකච්ඡා කර ගත යුතු වැදගත් තීරණ දැන ගන්නේ පසුවදා පුවත්පත් මගින් වීමයි.තීරණ ගෙන තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකකාරකාදීන්ය.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියාරු වීමේ එක් භූමිකාවකි.අනෙක් භූමිකාව ඉටු කරන්නේ පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසයි. මහජන එක්සත් පෙරමුණ,ජාතික නිදහස් පෙරමුණ,පිවිතුරු හෙළ උරුමය වැනි උග්‍ර සිංහළ ජාතිකවාදී මතධාරී දේශපාලන ප්‍රවාහයන් සමග එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුස්ලිම් සහ දෙමළ සහෝදරත්වය දිනෙන් දිනම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත් හරිමින් එක්සත් ජාතික පක්ෂය වැළද ගනිමින් සිටී.එමෙන්ම මධ්‍යස්ථ මතධාරී බුද්ධිමතුන් පවා මේ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයෙන් ඉවත් වෙමින් සිටී.

ලංකා සමසමාජ පක්ෂය,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වැනි යල්පැනගිය මතවාද දරන වයස්ගත පක්ෂ නායකයින් තම පැවැත්ම සදහා තවදුරටත් මහින්ද රාජපක්ෂ තුරුල්ලේ එල්ලී සිටී.නමුත් එහි කිසිදු දාර්ශනික හෝ තාර්කික පදනමක් නොමැත.
වර්තමාන යහපාලන ආණ්ඩුව කෙරෙහි ජනතාව දැඩි ලෙස කළ කිරී ඇතැයි සිතා ඒකාබද්ධ විපක්ෂය පෙරටුකරගත් මහින්ද රාජපක්ෂ පිරිස මහනුවර සිට කොළඹට පාද යාත්‍රාවක් පැමිණියද එහි කිසිදු ජනතාවාදී ස්වභාවයක් නොවීය.එහි නියෝජනය වූයේ මහින්ද රාජපක්ෂ පාලන යුගයේ විවිධ අක්‍රමිකතා සහ වංචා වලට වැරදිකරුවන් ලෙස චෝදනා ලද පුද්ගලයින් සහ නාමල් රාජපක්ෂ ඔටුනු පැළැන්දවීමේ උත්සාහයක නිරතවන කිසිම දේශපාලන දැක්මක් හෝ මතවාදයක් නොමැති තරුණ පිරිස් කිහිපයක් පමණි.

මෙම පා ගමන තුළ හැසිරීම් පවා ඉතාම ලජ්ජා සහගත විය.සැබෑ ජනතා ප්‍රශ්න මෙම පා ගමන තුළ නියෝජනය නොවීය.ඒ වෙනුවට රට බීම මත් වතුර සප්පායමක් නම් පදමට ලැබී තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වන බව පෙනෙන්නට තිබුණද කිසිදාක එසේ නොවනු ඇත.මන්ද,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගැටලුව ඇත්තේ තමනට අගමැතිකම නොදුන් රාජපක්ෂ වරුන් සමග පමණි.සෙසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින්ට මේ මොහොතේ අවශ්‍ය එක්සත් ජාතික පක්ෂය පදනම දමා ගොඩනැගූ ආණ්ඩුවට වී ප්‍රතිපාදන ලබා ගෙන 2020 සූදානම් වීමය.දැනට මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින බොහෝ ප්‍රාදේශීය දේශපාලන තලයේ නායකයින්ට සැබවින්ම අවශ්‍ය වැඩි ජනතා ආකර්ශනයක් ලබා පළාත් පාලන මැතිවරණය ජයගෙන සභාපති,පුරපති පුටුවල වාඩි වී අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්වී ප්‍රතිපාදන ලබා ගෙන තම නාමය වර්ධනය කර ගැනීමට පමණි.(මෙය ජාතික දේශපාලන තලයේ නායකයින් වන සුසිල් ප්‍රේමජයන්ත,අනුර ප්‍රියදර්ශන යාපා,චන්දිම වීරක්කොඩි,මනූෂ නානායක්කාර,දයාසිරි ජයසේකර...යනාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබල නායකයින් අනුගමනය කළ තියරිය වේ.)

අවසානයේ සිදු වන්නේ දේශපාලනය තුළ රාජපක්ෂ පවුල තනි වීම පමණි.රාජපක්ෂ පවුල තුළත් 2020 අරඹයා ගෝඨාභය භූමිකාව සහ බැසිල් භූමිකාව තුළ විශාල දේශපාලන පිපිරීමක් සිදු වීමට නියමිත බව සක්සුදක් සේ හෙළිදරවු කිරීමට පුළුවන් කමක් ඇත.

*මෙම දේශපාලන විග්‍රහය තුළ දේශපාලන පක්ෂවල සහ දේශපාලන නායකයින්ගේ නම් සදහන් කරනු ලැබූවේ විග්‍රහයට සීමා වෙමින්ය.මෙය පුද්ගලික මඩ ගැසීමක් නොවන බව කරුණාවෙන් සළකන්න!


(Lanka dna)-ඉෂාර ලක්මිණ.




Share on Google Plus