තාජුඩීන්ගේ අස්ති අතුරුදන් කළ වෛද්‍යවරයාව SAITM උපකුලපති කරලා!



ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සිදු කරණ පරීක්ෂණවලදී එම පරීක්ෂණ වෙනතක යොමු කරමින් එය ඝාතනයක් නොවන බවත් හදිසි අනතුරක් බවත් ඒත්තු ගැන්වීම සඳහා ව්‍යාජ ලෙස පශ්චාත් මරණ පරීක්ෂණය වාර්තා නිකුත් කළ අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර සම්බන්ධයෙන් මේ දිනවල නිතර ප්‍රවෘත්ති පල වෙමින් තිබේ.

මේ වනවිට අනාවරණය වන්නේ වෛද්‍ය ආනන්ද සමරසේකර, මේ දිනවල තවත් ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව ඇති පෞද්ගලිකව මුදලට වෛද්‍ය උපාධිය ලබා දෙන මාළඹේ සයිටම් ආයතනයේ උපකුලපතිවරයා බවය.
තාජුඩීන් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය විශේෂ විමර්ශනයක් සිදු කළ බවත් වෛද්‍යවරයා තාජුඩීන්ගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය ඉතා අපරික්ෂා කාරීව සිදු කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම මහතා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඊයේ (11) ලබා දී තිබූ වාර්තාවකින්ද තහවුරු කර තිබේ.
තාජුඩීන්ගේ අස්ති කොටස් අතුරුදහන් වීම සම්බන්ධයෙන් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සෘජුවම වගකිවයුතු බවද එම වාර්තාවේ සඳහන් කර ඇති බව වාර්තාවේ.

තාජුඩීන් ඝාතනයේ කරුණු වසන් කිරීම, විමර්ශන යටගැසීම, අපරාධ සැඟවීම, සාක්ෂි විනාශ කිරීම, තාජුඩීන් මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනා මත විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අතර එම ඝාතනයට අදාළවම නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරාද රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

උපුටා ගැනීම - 'ලංකා පුවත් වෙබ් අඩවියෙනි.'


Share on Google Plus