ලාභ ලබන රාජ්‍ය ආයතන පණ බේරා ගන්නා හැඩයි!(Lanka dna).


ලාභ ලබන රාජ්‍ය ආයතන කිසිවක් විකිණීමට ප්‍රතිපත්තියක් ලෙස තමා කිසිවිටෙකත් එකඟ නොවන බව ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


පාඩු ලබන ආයතනවල ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීමට,නිෂ්පාදන ඵලදායිතාව වර්ධනය කර ගැනීමට පුද්ගලික අංශය සමග ඒකාබද්ධව කටයුතු කිරීමට සිදුවිය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේ වුවද කිසිසේත්ම ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමට තමන් එකඟ නොවන බව කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා අද (10)සඳහන් කළේය.

කොළඹ වරාය විසින් පසුගිය වසරේ රජයට හම්බකරදුන් ආදායම රුපියල් බිලියන 40ක් බවත්,ඉදිරියේදී මෙම තත්ත්වය තවත් වර්ධනය වනු දැකීම තම අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

එම නිසා වරාය යනු ජාතික සම්පතක් බැවින් එය ශක්තිමක් කර ගැනීමට හා ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කළ යුතු බව ඔහු සඳහන් කළේය.

රටක් දියුණු කිරීමට තම රට වගේම ලෝකයේ සෙසු රටවල් සමග සැසඳීමේදී ණය බර තුරන් කර ගැනීම කෙරෙහි අවධානය යොමුකළ යුතුව ඇති බවත්,ලෝකයේ වේගවත් ගමන තුළ අපද එකී තරඟකාරිත්වයට මුහුණදිය යුතු බවත් හෙතෙම පැවසීය.

එහිදී මතුවන අභියෝගය මැති ඇමතිවරුන්ගේ,රාජ්‍ය නිලධාරීන්ගේ පමණක් නොව රටේ සමස්ත ජනතාවත් රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඕනෑකමකින් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

කොළඹ වරායේ ආදායමෙන් කොටසක් හම්බන්තොට වරායේ පාඩු පියවීම සඳහා යොදාගැනීමට සිදුවුවද එකී බර සම්බන්ධයෙන් පුද්ගලිකව ඇඟිල්ල දිගු කළ නොහැකි බවත්,එම බර හැමෝම කරට ගත යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.



'අද දෙරණ සිංහල' වෙබ් පිටුවෙනි.



Share on Google Plus