"ජනපතිදුගේ වෙබ් අඩවිය,අධිකරණය සහ පාසල් සිසුවාගේ පාඩමට ප්‍රතිචාර අතර සිරවුණ ලාංකේය අධ්‍යාපනය" (ඉෂාර ලක්මිණ.)


මෙම වියමන ලියන මම දැනට නීති ශිෂ්‍යයෙකු වීම නිසා උත්තරීතර අධිකරණ පද්ධතියට සහ ගෞරවනීය නීතියට ගරු කිරීමට සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමට සාමාන්‍ය පුරවැසියෙකුටත් වඩා වැඩි පමණකට බැදී සිටින බව පළමුවෙන්ම සදහන් කර සිටිමි.මගේ මේ උත්සාහය නීතියට හෝ අධිකරණ පද්ධතිය විසින් ලබා දුන් තීරණයක් විවේචනය කිරීමට නොවේ.නමුත්,වෘත්තීය වශයෙනුත් ජනතාවට වග කියන නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ සහ භාෂණයේ නිදහස ලබා දී ඇති සීමාව තුළ හිදිමින් "ජනාධිපතිතුමන්ගේ නිල වෙබ් අඩවිය හැක් කිරීම සහ අදාළ පාසල් සිසුවාගේ අනාගතය පිළිබදව යම් අදහසක් දැක්වීමට අවසර!"

පසුගිය දිනෙක ජනාධිපතිතුමා පිළිබදව පුවත් වඩාත් උණුසුම් තත්වයට ලක්වූයේ ඔස්ට්‍රේලියානු මාධ්‍ය මගින් වර්තමාන ජනාධිපතිතුමන් වාරිමාර්ග සහ මහවැලි අමාත්‍යවරයාව කටයුතු කරන ලද වකවානුවක සිදු වූ යම් සිදුවීමක් පිළිබදව නොසිතූ හෙළිදරවුවක් කිරීමයි.එම ප්‍රවෘතියේ උණුසුම පහව යාමත් සමග සිදුවූයේ තවත් නොසිතූ සිදුවීමකි.

ජනාධිපතිතුමන්ගේ නිල වෙබ් අඩවිය හැකර් කෙනෙකු විසින් ආක්‍රමණය කරන ලද පුවතකි.වඩාත් තොරතුරු අද මාධ්‍යයට නිල වශයෙන් නිකුත් විය.වයස අවුරුදු 17 පාසල් දරුවෙකු විසින් මෙලෙස ජනාධිපතිතුමන්ගේ නිල වෙබ් අඩවිය හැක් කර ඇති බවත්,ඔහුව ඒ සදහා පොළඹවා ඇත්තේ වයස අවුරුදු 26 තරුණයෙක් බවයි.

පාසල් ශිෂ්‍යයා මීට පෙරත් කීප වරක් ජනාධිපතිතුමන්ගේ නිල වෙබ් අඩවියට පාරාවදන් නොමැතිවම රිංගා තිබෙන බව පාපොච්ඡාරණය කරයි.නමුත්,ජනාධිපතිතුමන්ගේ තොරතුරු තාක්ෂණය භාර මාධ්‍ය ඒකකයේ නිලධාරී උතුමන්ලා කවුරුත් ඒ බවක් නොදැන සිටින නිසා පාසල් ශිෂ්‍යයා විසින් මෙවර වුවමනාවෙන්ම තමන් විසින් වෙබ් අඩවිය හැක් කර බව දැන්වීමට පණිවිඩ කීපයක් සදහන් කර තිබුණි.ඒ පණිවිඩ අතර;

*මෙවර උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වලට සමහර ශිෂ්‍යාවන් මුහුණු ආවරණය කරගෙන පැමිණීමෙන් යම් විභාග අක්‍රමිකතා සිදි විය හැකි බව.

*මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහාම රජයට පවරා නොගතහොත් රටේ විශ්වවිද්‍යාල තුළ කළහකාරී තත්වයක් උද්ගත විය හැකි බව.

*අග්‍රාමාත්‍යවරයා ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ සමහර ඇමතිවරු ගන්නා තීරණ පිළිබදව යළිත් කල්පනා කර බලන ලෙස.

*ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරික කලාපයේ ආරක්ෂක කේන්ද්‍රයක පිහිටි රටක් නිසා ජාතික ආරක්ෂාව සහ රාජ්‍ය රහස් වෙබ් අඩවි වල සයිබර් ආරක්ෂාව පිළිබදව මීට වඩා සැලකිලිමත් වන ලෙස.

මෙම පණිවිඩ සියල්ල තුළ ජනාධිපතිතුමා විසින් වඩාත් සැළකිලිමත් විය යුතු කරුණු පමණක් අන්තර්ගත බව ඉතා පැහැදිලිව සදහන් කළ යුතුය.

මීට මාස කීපයකට පෙර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියද සයිබර් ප්‍රහාරයකට ලක් විය.මෙලෙස ඉතා පහසුවෙන් රාජ්‍ය වෙබ් අඩවි හැක් කළ හැක්කේ හේතු කීපයක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය වෙබ් අඩවි භාරව කටයුතු කරමින් ජනතා බදු මුදලින් වැටුප් ගන්නා උත්තමයන් විසින් නොකිරීම නිසාය.එම සරල හේතු නම්;

*සර්වරය යාවත්කාලීන නොකිරීම.

*දත්ත ඇතුලත් කිරීමේ ක්‍රමවේදය සහ මෘදුකාංග යාවත්කාලීන නොකිරීම.

*ඇතුලත් වීමේ ක්‍රමවේදයන් සහ පාරාවදන්(රහස් අංක.)ඉතාම ආරක්ෂාකාරීව භාවිතා නොකිරීම යන සරල කාරණාවන් නිසාය.

මේ වන විට කොළඹ ගරු මහේස්ත්‍රාත්තුමා විසින් ලාංකේය දණ්ඩ නීති සංග්‍රහයට සහ අධිකරණ මූලාශ්‍ර වලට අනුගත වෙමින් පාසල් සිසුවාට සැප්තැම්බර් මස 2වෙනි දින දක්වා යම් දඩුවමක් ලබා දී අවසන්ය.ඒ පිළිබදව විවාදයක් නොමැත.ඒ නීතියයි...

සදාචාරය කෙතරම්ද එය නීතියෙන් යම් පමණකට දුරස්ව වෙනස් වේ.ජනාධිපතිතුමා හෝ එතුමාගේ උපදේශකකාරකාදීන් සැබෑ ලෙසම දරුවන්ට ආදරය කරන පියවරුන් නම් මේ මොහොතේ සදාචාරමය යුතුකමක් ඇත.

අදාළ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයා වෙනුවෙන් ජනාධිපති පොදු සමාව ලබා දී ඔහුට වයස අවුරුදු 18 ක් වූ පසුව රාජ්‍ය බුද්ධි අංශයට බදවා ගෙන ඔහු තුළ ඇති තොරතුරු තාක්ෂණ දැනුම අගයමින් ඔහුවෙත විදේශ විශ්වවිද්‍යාලයක හෝ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හෝ උපාධි පාඨමාලාවකට අනුයුක්ත කර ඔහුගේ සේවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙත ලබා ගත යුතුව ඇත.

එසේ නොකර උත්තරීතර ගරු නීතියට මුවාවෙමින් අදාළ පාසල් ශිෂ්‍යයා පරිවාස ගත කිරීම් කරමින් ඔහුගෙන් පළි ගැනීම් සිදු නොකළ යුතුය.එසේ සිදු වීමේ ප්‍රතිඵලය ප්‍රභාකරන්ට වඩා අන්තවාදී ත්‍රස්ථයෙකු අනාගතයේදී බිහි වීමේ ඉඩක් මේ සිසුවාගේ සුපහන් සිතේ ක්‍රියාකාරීත්වය තුළින් ඇති විය හැකි වීමට ඉඩක් තිබීමයි.මන්දයත්,මේ ශිෂ්‍යයා මෝඩයෙකු හෝ උන්මත්තකයෙකු නොවේ දක්ෂයෙකි.


Lanka dna-ඉෂාර ලක්මිණ





Share on Google Plus