කිළිනොච්චියේ යළි ගින්නක් ඇවිලේ! (Lanka dna).



කිලිනොච්චිය පොදු වෙළඳ සංකීර්ණයේ ඊයේ(16) ඇති වූ ගින්නෙන් සිදු වී ඇති අලාභය දළ වශයෙන් රුපියල් කොටි තිහකට අධික බව කිලිනොච්චිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කෙසේ වෙතත් ගින්නෙන් සිදු වී ඇති සම්පූර්ණ හානිය මෙතෙක් ගණන් බලා නොමැති බවයි කිලිනොච්චිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියෙක් කියා සිටියේ.

16 වනදා රාත්‍රියේ ඇති වූ ගින්නෙන් කඩ කාමර 78 ක් සහ ඒවා තුළ තිබූ බඩු භාණ්ඩ සම්පූර්ණයෙන්ම දැවී අලු වී ගොස් ඇති බවත් තවත් කඩ කාමර 20 කට පමණ අර්ධ වශයෙන් හානි සිදු වී ඇති බවත් කිලිනොච්චිය පොලිසිය පවසයි.

ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් හඳුනා ගෙන නොමැති අතර විදුලිය කාන්දු වීමක් හේතුවෙන් ගින්න හට ගෙන ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
මේ වන විට කිලිනොච්චියේ දැඩි නියං කාලගුණයක් පවතින අතර මිනිත්තු කීපයක් ඇතුළත ගින්න වෙළඳ සංකීර්ණය පුරා පැතිර ගිය බවත් ඇසින් දුටුවෝ පවසති.

ගින්න හට ගත් අවස්ථාවේදීම පොලිසිය, යුද හමුදාව සහ ගිණි නිවන ඒකක වහාම ක්‍රියාත්මක වුවත් නියං කාලගුණය සමග පවතින අධික සුළං හේතුවෙන් ගින්න මැඩපැවැත්වීමට අසීරු වූ බවයි දිනසේන රතුගමගේ බීබීසී සිංහල සේවයට වාර්තා කළේ.

ගින්නට හසු වූ වෙළෙඳසැල්වල තිබූ බඩු භාණ්ඩ පැහැර ගෙන යාමට පිරිසක් උත්සහ දැරීම හේතුවෙන් ප්‍රදේශයේ විශේෂ පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.



උපුටා ගැනීම - බී.බී.සී. සිංහල සංදේශය වෙබ් අඩවියෙනි.




Share on Google Plus