ගල් අඟුරු සමාගම විසුරුවා හැර වළ ඉහගෙන කන්න සූදානමක්!


නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීම වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලංකා කෝල් සමාගම’ විසුරුවා හැර එම බලතල විදුලිබල මණ්ඩලය වෙත ලබා ගැනීම සඳහා මේ වන විට කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙළක් දියත් වෙමින් පවතී.

ලංකා කෝල් සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට අභූත චෝදනා නගමින් මේ වන විට අදාළ විෂය සම්බන්ධයෙන් වගකීම උසුලන දේශපාලන බලධරයන් හා ඉහළ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකු ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට බලපෑම් කරමින් සිටින බවත් දැනගැනීමට ඇත.

මෙම ගල් අඟුරු ටෙන්ඩරය අවලංගු කර නැවත ටෙන්ඩර් කැඳවීම සිදු කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබුණ ද එය නොතකා හැර තවදුරටත් එම ටෙන්ඩරය අදාළ ‘ස්විස් සිංගප්පූරු’ සමාගම වෙතටම ලබා දීම ආණ්ඩුවේ දේශපාලන බලධරයන්ගේ ඒකායන අරමුණ වී තිබේ. නමුත් එල්ල වී ඇති දූෂණ චෝදනාවලින් මිදීම සඳහා එම චෝදනා ‘ලංකා කෝල් සමාගම’ වෙත පටවා නිදහස් විය හැකි බව දේශපාලන බලධාරීන්ට ඒත්තු ගැන්වීම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් විසින් සිදු කරනු ලැබ ඇත. මහ බැංකු බැඳුම්කර සම්බන්ධ සිදුවීමේ දී මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීමෙන් එම චෝදනාව යටපත් වීම මෙහි දී උදාහරණයකට ගෙන තිබේ.

අපගේ අවබෝධය පරිදි මෙම ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලයන් රැසක් මෙම මගඩියෙන් මේ වන විට විශාල කොමිස් ආදායමක් ලබා ඇති නිසා මේ අවලංගු කිරීමට නොහැකි තත්ත්වයක පසුවේ. ඒ කෙසේ නමුත් පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම ගල් අඟුරු මගඩිය සම්බන්ධ තොරතුරු මාධ්‍යයට හෙළිදරව් කිරීම ලංකා කෝල් සමාගමේ නිලධාරීන් විසින් සිදු කළාය යන්න බරපතළ සැකයක් මෙම අමාත්‍යාංශ නිලධාරීන්ට තිබිණි. එය ද මේ සඳහා බලපා ඇත.

මෙම ගල් අඟුරු මගඩියට වගකිව යුතුව ඇත්තේ විදුලිබල මණ්ඩලයත්, විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු එම ප‍්‍රසම්පාදන කමිටුව හා තවමත් මේ දූෂිත ගනුදෙනුව සඳහා අනුබල දෙමින් සිටින ඇමැති රංජිත් සියඹලාපිටිය සහ නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා යන අය බවත් මේ වන විට අනාවරණය වී ඇති තොරතුරු අනුව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. එහෙත් එම දූෂිත ගල් අඟුරු ගනුදෙනුව සිදු කරනු ලැබුවේ‘ලංකා කෝල් සමාගම’ බවට අසත්‍ය තොරතුරු මාධ්‍යයට ලබා දීමට එම අමාත්‍යාංශයේ නිලධාරියකු පසුගිය දින කිහිපයේදීම උත්සාහ දරා තිබුණු බව දැන ගැනීමට තිබේ.

කෙසේ නමුත් ලංකා කෝල් සමාගම විසුරුවා හැර ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධ වගකීම විදුලිබල මණ්ඩලයටම ගැනීම ඉදිරියේ දී සිදු විය හැකි ජාවාරම්කාර ගනුදෙනු තවදුරටත් මාධ්‍යයට හෙළිදරව් වීම වැළැක්වීම සඳහා ගන්නා සටකපට පියවරක් වන බව පැහැදිලිය.

ආන්දෝලනයට තුඩු දුන් ‘ස්විස් සිංගප්පූරු’ සමාගමට ලබා දුන් ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට සහ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ ලේඛන සහ කමිටු වාර්තා ආදිය තුළින් මෙම ටෙන්ඩරය දූෂිත නොවන බවත් එය වාසිදායක බවත් පැවසිණ.

එම ටෙන්ඩරය එම සමාගම වෙතටම ලබා දීම සඳහා ඇමැතිවරයාත් අමාත්‍යාංශ ලේකම්වරයාත් දැඩි උත්සාහයක් ගනු ලැබීය. මෙහි දී එම වාර්තා සකස් කර තිබුණේ අතිශය සංකීර්ණ හා තොරතුරු වසන් කරලීමෙන් බව මේ සම්බන්ධයෙන් අපි මීට ප‍්‍රථම අනාවරණය කළෙමු.

මේ අනුව ලංකා කෝල් සමාගම වසා දමා එම කටයුතු විදුලිබල මණ්ඩලය තුළට ගැනීම මේ ගල් අඟුරු ජාවාරම වඩා හොඳින් හා රහසිගතව කරගෙන යාමේ අවස්ථාව මේ දූෂිත බලධාරීන්ට හිමි වේ.

ලංකා කෝල් සමාගමේ වත්මන් සභාපතිවරයා වන්නේ එජාපයේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයකු වූ මෛත‍්‍රී ගුණරත්න මහතාය. ඔහු යටතේ මෙම සමාගම සම්බන්ධයෙන් දූෂණ චෝදනා කිසිවක් එල්ල වී නොමැති බවත් සමාගමේ වියදම් කපා හැර එහි ලාභය වැඩිකර දීමට ඔහු සම්බන්ධ වී තිබෙන බවත් එම සමාගමේ ප‍්‍රකාශකයකුගෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමක දී පැවසීය.


- සුභාෂ් ජයවර්ධන


Share on Google Plus