දූෂිතයන් එළවන්න කැබිනට් සංශෝධනයක්!



සම්මුතිවාදී ආණ්ඩුව තුළ කැබිනට් අමාත්‍ය ධුර දරමින් දූෂිත ක්‍රියාවල නිරත වන අමාත්‍යවරුන් තනතුරුවලින් ඉවත් කිරීම සඳහා විශේෂ කැබිනට් සංශෝධනයක් කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු කරවූ බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ඉකුත් සැප්තැම්බර් 13 වන දින රාත්‍රී කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැති සිවිල් සංවිධාන නියෝජිත හමුව පිළිබඳව ‘සත්හඬ’ කරන ලද විමසීමකට පිළිතුරු දෙමිනි. මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් කිරීම සඳහා ප්‍රමුඛ වී කටයුතු කළ සිවිල් සංවිධාන 48 ක සංවිධායකයන් කලාකරුවන් ඇතුළු නියෝජිතයන් එකසිය හතළිහකට වැඩි පිරිසක් මේ සඳහා සහභාගි වී ඇත.

සිවිල් සංවිධාන නියෝජිත හමුවේ දී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් විජේසූරිය මහතා, “අපි ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන සලකා බලන්න කියලා කරුණු පහක් ඇතුළත් විශේෂ සංදේශයක් ජනාධිපතිතුමාට භාර දුන්නා. මෙහි දී මේ ආණ්ඩුවේ දූෂණ චෝදනා එල්ල වන සහ අකාර්යක්ෂම අමාත්‍යවරු සම්බන්ධයෙන් කරුණු සොයා බලා විධිමත් කැබිනට් සංශෝධනයක් කරන ලෙස අපි එතුමාට යෝජනා කළා.

විගණන පනත සම්මත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් දූෂිත රාජ්‍ය නිලධාරීන්ට හා දූෂණ චෝදනාවලට ලක් වූ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව කරන විමර්ශන කටයුතුවලට බාධා කරන නිලධාරීන්ට එරෙහිව නොබියව කටයුතු කරන ලෙසත් අප ඉල්ලා සිටියා. ජනතාවගෙන් වැටුප් ලබන නිලධාරීන්ගේ තර්ජනවලට බියෙන් ඔවුන්ට එරෙහිව ඇති චෝදනා විමර්ශනය කිරීම නවතා දැමීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා.

 ඒ වගේම කලින් දූෂණ වංචාවලට හවුල් මේ ආණ්ඩුවත් නියෝජනය කරන ජ්‍යේෂ්ඨ අමාත්‍යවරු ඔවුන්ට එරෙහිව විමර්ශන කටයුතු කරන නිලධාරීන්ට සහ ආයතනවලට විවිධ බලපෑම් එල්ල කරමින් සිටිනවා. එම තත්ත්වය වහාම නතර කිරීමට කටයුතු කරන ලෙස හතර වන යෝජනාවෙන් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. බරපතළ මූල්‍ය අපරාධ, වංචා දූෂණ ඇතුළු මහා පරිමාණ අපරාධ සම්බන්ධයෙන් අඛණ්ඩව නඩු විභාග කරන ස්වාධීන විශේෂ අධිකරණයක් පිහිටුවන ලෙස පස්වෙනි යෝජනාවෙන් අපි එතුමාගෙන් ඉල්ලා සිටියා” යනුවෙන් පැවසීය.

සංදේශයට ඇතුළත් කරුණු සම්බන්ධයෙන් අගමැතිවරයා සමඟ සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට ජනාධිපතිවරයා සහතික වූ බව ද ආචාර්ය සරත් විජේසූරිය මහතා අවධාරණය කළේය.

මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා ලැබූ ප්‍රධාන පෙළේ ඇමැතිවරු 08 දෙනකු ගැන තොරතුරු වාර්තා වී ඇති බවය. ඔවුන් සම්බන්ධයෙන් දැඩි පියවරක් ගැනීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවත් අගමැතිවරයා ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.


උපුටා ගැනීම - 'සත්හඩ' පුවත් වෙබ් අඩවියෙනි.








Share on Google Plus