welcome ITN FM ?ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා! (Lanka dna).



බටහිර සුදු අධිරාජ්‍යන්ට යටත්ව තිබූ යටත් විජිත තුළින් වඩාත් සබුද්ධිමත්ම ජන සමාජය ශ්‍රී ලංකාව තුළ වූ බවට එවකට සුදු අධිරාජ්‍යන්ගේ නියෝජිතයින් ලෙස මෙරටට කිරීටය විසින් පත් කර එවන ලද ආණ්ඩුකාරවරුන් පවා සදහන් කර තිබේ.මෙලෙස ශ්‍රී ලාංකේය ජන සමාජය සබුද්ධිමත් වීම කෙරෙහි ජනතාවගේ කියවීමේ පුරුද්ද බලපා තිබුණි.

'ලංකාලෝකය'/'ලක්මිණිපහන'/'ඥානාර්ථප්‍රදීපය'/'සිංහළබෞද්ධයා' යන පුවත්පත් තුළින් ඇරඹුන ජනතා බුද්ධිය පෝෂණය කිරීමේ ක්‍රියාදාමය 1908 ආරම්භ වූ 'දිනමිණ' පුවත්පත සමග වඩාත් තීව්‍ර වන්නට විය.ඩී.ආර්.විජේවර්ධන මහතා විසින් 'දිනමිණ' පුවත්පත් ආයතනය මිළදී ගැනීමෙන් අනතුරුව අධිරාජ්‍යවාදීන්ට විරෝධී ආකල්ප ජනතා මනස තුළ විචාරාත්මකව රෝපණය කරන අතරම ජනතාවගේ දැනුම,ආකල්ප වර්ධනය වන වර්ධනය කරවීම වෙනුවෙන්ම 'දිනමිණ' ඉඩ හසර වෙන්විය.

1973 දී එවකට සිරිමා බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමියගේ සමගි පෙරමුණ ආණ්ඩුව විසින් 'සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම් විශේෂ විධි විධාන පනත ' මගින් ලේක් හවුස් කොටස් වලින් අති බහුතරය ආණ්ඩුවට පවරා ගන්නා ලදි.

එමෙන්ම 1924 ආරම්භ වූ රේඩියෝ සිලෝන් හෙවත් කොළඹ ගුවන් විදුලිය 1953 ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යතුමාගේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පිහිටුවීමේ පනත මගින් ආණ්ඩුවට පවරා ගන්නා ලදි.1978 ප්‍රථම වරට රූපවාහිනී සේවාවක් ශාන් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරත් 1978 අප්‍රේල් 15 වෙනිදා එම රූපවාහිනී සේවාවත් එවකට ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ආණ්ඩුව විසින් පවරා ගත්තේ තම ඥාති පුත්‍ර සබදතාවන් පවා අමතක කරමිනි.

පසුව ස්වාධීන රූපවාහිනිය බවට පත් වන්නේ එම රූපවාහිනී සංඛ්‍යාත තරංගයයි.1982 ජපාන රාජ්‍යයේ පරිත්‍යාගයක් ලෙස 1982 'ජාතික රූපවාහිනී සංස්ථාව පිහිටුවීමේ පනත ප්‍රකාරව' ජාතික රූපවාහිනිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා අධීක්ෂණය යටතේ ආණ්ඩුවේ මාධ්‍ය ආයතනයක් ලෙස බිහි විය.

ස්වාධීන රූපවාහිනී සේවය සහ ලේක් හවුස් ආයතනයන් මහා භාරකාර දෙපාර්තමේන්තු පූර්ණ අධීක්ෂණය යටතේ පාලනය වන ආයතන වේ.ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට එම ආයතන සදහා එක එල්ලේ බලපෑම් කළ නොහැක.

පසුගිය රාජපක්ෂ ආණ්ඩු යුගය තුළදීම තරම් රාජ්‍ය මාධ්‍ය ආයතනයන් වෙත ආණ්ඩුවේ බලපෑම් සිදු නොවන බවක් පෙනෙන්නට , අසන්නට තිබේ.යහපාලන ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ 2 නායකයින් වන ජනාධිපතිතුමාගේ පාලනය යටතේ ජාතික රූපවාහිනී සංස්ථාව සහ ගුවන් විදුලි සංස්ථාව පැවතිය යුතු බවටත්; අග්‍රාමාත්‍යතුමාගේ පාලනය යටතේ ස්වාධීන රූපවාහිනී සේවය සහ ලේක් හවුස් ආයතනය පැවතිය යුතු බවටත් එකගතාවයක් මත කටයුතු සිදුවේ.ඒ අනූව අග්‍රාමාත්‍යවරයා විසින් තම බලතල ප්‍රකාරව ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ලෙස ප්‍රවීන ගීත රචක සහ මාධ්‍යවේදී සමන් ආතාවුද මහතා පත්කර පාඩු ලබමින් මහා භාණ්ඩාගාරයට වැය බරක් වෙමින් යන ස්වාධීන රූපවාහිනිය ලාභ උපයන ප්‍රමිතිගත වැඩසටහන් ඉදිරිපත් කරන ආයතනයක් බවට පත් කිරීමේ උත්සාහයක යෙදෙමින් සිටී.

එහි මුල් අදියරක් ලෙස 'ලක්-හඩ' ගුවන් විදුලිය 'අයි.ටී.එන්. එෆ්.එම්.' ලෙස සන්නාමය වෙනස් කිරීමත් ස්වාධීන රූපවාහිනිය 'අයි.ටී.එන්.ටී.වී.' ලෙස සන්නාම ගතකර රාත්‍රී 10.30න් පසුව වැඩිහිටියන් ඉලක්ක කර ජාත්‍යන්තර සම්මානලාභී ටී.වී.සීරීස් සහ හොලිවුඩ් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට සැරසේ.

ලාභ ඉපයීමට නම් ගතානුගතිකත්වයෙන් මිදී නව්‍යතා අත්හදා බැලිය යුතුය.නමුත්,ලක්-හඩ සන්නාමය එක් රැයක් තුළ වෙනස් කිරීම යලි සළකා බැලිය යුතුව තිබේ.මෙම සිදු වීමෙන් පටු වාසි ලබා ගැනීමට සැරසෙන රාජ්‍ය නිලධාරීන් පිළිබදවත් නැවත සළකා බැලීම වැදගත්ය.


Lanka dna -ඉෂාර ලක්මිණ.




Share on Google Plus