ශ්‍රී ලංකාව පැරිස් පරිසර සම්මුතියට එක් වෙයි! (Lanka dna).


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීම සඳහා නිව්යෝර්ක් නගරයට සැපත් වී සිටින අතරවාරයේ ශ්‍රී ලංකාව පැරිස් පරිසර සම්මුතියට අනුමැතිය දෙන රටවල් අතරට අද (21) එක් විය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකි මූන් විසින් අද (21) උදෑසන සංවිධානය කර තිබුන විශේෂ සැසි වාරයකදී යි ශ්‍රී ලංකාව පැරිස් පරිසර සම්මුතියට එකඟතාවය පළ කළේ.

එක්සත් ජාතීන්ගේ නිලධාරීන් පවසන්නේ නව තත්වය තුළ ජගත් දේශගුණ ගිවිසුම බල පැවැත්වීම මේ වසර තුළ සිදු වීමට බොහෝ ඉඩකඩ පවතින බවයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම සඳහා නිව්යෝර්ක් නගරයට ලඟා වී සිටින ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලෝක නායකයන්ගේ දැඩි ප්‍රසාදයට පාත්‍ර වෙමින් සිටින බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග මගින් පැවසෙයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමුළුව ඇමතීම හෙට සිදු කිරීමට ඇති අතරවාරයේ ඉන් පෙර ඔහු ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා සහ මහ ලේකම් බැංකි මූන් ඇතුළු නායකයන් දැනටමත් හමු වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ වාර්තා මගින් පැවසෙන්නේ.


ශ්‍රී ලංකාව ප්‍රගති මාවතේ

සමුළුව අමතා මහලේකම්වරයා විසින් සිදු කරන ලද දෙසුමේ දී ඔහු 'ශ්‍රී ලංකාව' නමින් සඳහන් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව සහ මියන්මාරය වැනි රාජ්‍යයන් මේ වන විට ප්‍රගති මාවතේ ගමන් ගනිමින් ඇති බවයි.
2015 දේශපාලන වෙනසෙන් අනතුරුව ශ්‍රී ලංකාව අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තිය මහලේකම්වරයාගේ පැසසුමට ලක් වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සංහිඳියා සහ ඍජු ක්‍රියාමාර්ගය අගය කරන බවයි ඔහු සඳහන් කළේ.

ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් ද ශ්‍රී ලංකාව කටයුතු කරමින් ඇති ආකාරය හඳුන්වා ඇත්තේ 'ශුභවාදී දිසාවකට' ගමන් ගැනීමක් හැටියටයි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය දීමට තමන් සූදානම් බවයි මහලේකම්වරයා සහ ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබ තිබෙන්නේ.

ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් පිරිනමන ලද භෝජන සංග්‍රහයකට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහභාගී වූ අතර එම අවස්ථාවේ ශ්‍රී ලංකාව සහ ලෝකය පිළිබඳව සඳහන් කරමින් ඇමෙරිකානු නායකයා ප්‍රකාශ කළේ 'වෙන් වී ජීවත් වීම සඳහා වත්මන් ලෝකය කුඩා වැඩි හෙයින්' එකමුතුව ජීවත් වීම ලෝකයේ පැවැත්ම සඳහා වඩා වැදගත් වන බවයි.
කලාපීය සුහදතාව

කලාපීය සුහදතාවයේ වැදගත් භාවයත් ඇමෙරිකානු ජනාධිපතිවරයා ගේ අවධානයට ලක් විය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කැනඩා අගමැති ජස්ටින් ට්‍රුඩෝ සහ ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් සමඟත් සාකච්ඡා කළ අතර ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සමඟ පැවැත්වුන එම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව උපයෝගී කර ගනිමින් ඔස්ට්‍රේලියාවට සිදු කෙරෙන මිනිසුන් රට පැටවීමේ අනවසර ජාවාරම නතර කරනු ලැබීමට ගත යුතු පියවර පිළිබඳව අවධානය යොමු වූ බවයි නිව්යෝර්ක් සංචාරය වාර්තා කරන ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ චමුදිත සමරවික්‍රම බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ.



උපුටා ගැනීම බී.බී.සී. සිංහල සංදේශය වෙබ් අඩවියෙනි.











Share on Google Plus