ලෝක පූජිත සංගීතඥයෙකු බිහි වූ කතාව...(Lanka dna - ඉෂාර ලක්මිණ.)



හෙළයේ මහා ගාන්ධර්වයාණෝ ලෙස ජනතා ආදරයට ලක් වූ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන් දැයෙන් සමුගත්තේය.ඒ වෙනුවෙන් බොහෝ තරුණ තරුණියන්ගේ ෆේස් බුක් ගිණුම් පුරාවට ශෝක පණිවුඩ ලියවුණි,සුදු කොඩි ප්‍රදර්ශනය කෙරුණි.මෑත කාලීන ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයන් ජාතියක් ලෙස ශෝකජනක වූ සුවිශේෂ අවස්ථාවක් ලෙස මේ අවස්ථාව හැදින්වීමේ වරදක් නොමැත.

මේ ආකරයෙන් ශෝකාන්විතව තැවෙන තරුණ තරුණියන් සියලු දෙනාම අමරදේව ශූරින්ගේ සංගීත භාවිතාවට හුරුව ලබා තිබුනේනම් අද වන විට ශ්‍රී ලංකාවේ ඉතිරිව පැවතීමට ඉඩක් තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් සිංහල සේවාවන් පමණකි.පෞද්ගක්ලික ගුවන් විදුලි නාළිකා කිසිවක් පැවතීමට ඉඩක් බොහෝ දුරට නොමැත්තේ ඒවා කිසිවක් මගින් අමරදේවයන් ජීවත්ව සිටි අවධියේදී අමරදේවයන්ගේ සංගීත භාවිතාවට ප්‍රමාණවත් ගුවන් කාලයක් ලබා නොදුන් හෙයිනි.

පණ්ඩිත් අමරදේවයන් පිළිබදව මේ වන විට බොහෝ දෙනා දැනුවත්ව ඇති නිසා යළිත් පුනරුක්ත දෝෂ ඇති කිරීමට නොගොස් මා මෙම සටහන මගින් අමරදේවයන්ගේ ජීවිතය පිළිබදව නොදන්නා කතාවක් ඉදිරිපත් කරන්නේ අමරදේවයන්ට ඇති ගෞරවය තව තවත් ඇති කරවනු වස්ය.

මොරටුවේ පාරම්පරික පරපුරක උපත ලබන ඇල්බට් නම් දරුවා සංගීතයට ඇති දැඩි කැමැත්ත නිසාම 1946 යුගය වන විට ගුවන්විදුලිය තුළ දේශීය සුබාවිත ගීත කලාවක් බිහි කිරීම වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කළ සුනිල් සාන්තයන් හමුවට යයි.එහිදී ඇල්බට් නම් තරුණයාගේ සුවිශේෂ දක්ෂතාවයන් හදුනාගත් සුනිල් සාන්තයන් තමන් විසින් නොමිලයේ පවත්වාගෙන ගිය පානදුර ප්‍රදේශයේ සංගීත පන්තිය අමරදේව (පෙර ඇල්බට්) නම් තරුණයා වෙත පවරා දී ගුවන් විදුලිය වෙත ගොස් අත්දැකීම් ලබා ගැනීමට පවා අවස්ථා විවර කරයි.

උත්තර භාරතීය සංගීතය සමග දේශීය ජන ගී තනු මිශ්‍ර කරමින් නව අත්හදා බැලීම් කළ තරුණ අමරදේවයන්ට ගුවන් විදුලි ආගමනය තුළින් මහගම සේකරයාණන් හමුවෙයි.අමරදේව-සේකර සුසංයෝගය මගින් දේශීය කලා කෙත අස්වැද්දුම ඇරඹෙන්නේ ඒ ලෙසිනි.

මා හට මහරගම ප්‍රදේශයේම වාසය කිරීම නිසා නිතර
අමරදේවයාණන් දැක ගත හැකි විය.අමරදේවයන් සමග මට කුළුපගුව වචන කීපයක් කතා කිරීමට හමුවුනේ 2005 වසරේදීය.ඒ මහරගම බොරලැස්ගමුව වැව ප්‍රතිසංස්කරණය කොට උද්‍යානය සමග විවෘත කරන ලද උත්සවයේදීය.එහිදී එවකට නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍ය ප්‍රබල දේශපාලනඥ දිනේශ් ගුණවර්ධන මහතා අමරදේවයාණන්ගේ ශිෂ්‍යයෙකු බව මට දැනගැනීමට ලැබුණි.

වාමාංශික දේශපාලනයේ යටගියාව පිළිබදව බොහෝ කරුණු වලින් එහිදී මා දැනුවත් විය.(අමරදේවයාණන් හට කිසිදු පක්ෂ දේශපාලනයක් අදාළ නොවූ බවත් මෙහිදී සදහන් කළ යුතුමය.)වරෙක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් පිදුම් ලබන අමරදේවයාණෝ තවත් වරෙක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අතින්ද පිදුම් ලබයි.අමරදේවයාණන් විසින් හෙළ කලාකෙත පෝෂණයට ලබා දුන් දායකත්වය එයින් පිළිඹිබු වේ.

අවසාන වශයෙන් සදහන් කළ යුතුම කාරණාවක් ඇත.අමරදේවයාණන් ඉතා දැඩි ලෙස රෝගාතුර තත්වයට පත් වී බොහෝ කලක් වෙයි.අමරදේව මැතිනිය විසින් අමරදේවයාණන්ව රැක බලා ගත් අයුරු මහරගම ජීවත් වූ මා ඇස් වලින්ම දැකගත් අයෙකි."සදකිදුරු ජාතක කතාවේ ජීවමාන කතාවක් ඒ තුළින් මට ප්‍රතිරූපනය විය"අමරදේව මැතිනියනි,ඔබ තුමියට ලක්වාසී ජනී ජනයා ණයගැතිය.හෙළයේ මහා ගාන්ධර්වයාණන්ට නිබදවම ශක්තියක් වූයේ ඔබ තුමියයි.ඒ වෙනුවෙන් ගෞරවයක් පිණිස මේ සටහන මෙසේ මම ලියා තැබුවෙමි.



Lanka dna-ඉෂාර ලක්මිණ.


Share on Google Plus