"මබ්බිම අනතුරේ,රට බේරා ගන්න..." එම්.ඊ.පී. තරුණ බල මුළු කැදවයි!



2016.11.06 දින පෙරවරුවේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දේශන ශාලා පරිශ්‍රයේදී මහජන එක්සත් පෙරමුණ සමස්ත ලංකා තරුණ සමිති සම්මේලනය හදිසි නියෝජිත සමුළුවක් කැදවා තිබුණි.මේ සදහා ශ්‍රී ලංකාවම නියෝජනය වන පරිදි තරුණ නියෝජිතයින් පැමිණ තිබීම දක්නට ලැබුණි.

පෙරවරු 10.30ට පමණ මහජන එක්සත් පෙරමුණ නායක සහ ඒකාබද්ධ විපක්ෂයේ නායක පා.ම. දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ මහජන එක්සත් පෙරමුණ නියෝජ්‍ය නායක ගීතාංජන ගුණවර්ධන සහ මහජන එක්සත් පෙරමුණ තරුණ අංශයේ ප්‍රධාන යදාමිණී ගුණවර්ධන මහතා සභාවට පැමිණීමත් සමග සමුළුව ආරම්භ විය.

තරුණ පිරිස පිළිගනිමින් මහජන එක්සත් පෙරමුණ සමස්ත ලංකා තරුණ සමිති සම්මේලනයේ සභාපති සමිත කවිරත්න විසින් අරමුණු පැහැදිලි කරන ලදි.එම අරමුණු අතර;

*වර්තමානයේ ඊනියා යහපාලන ආණ්ඩුව විසින් ගෙන යන ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට හානිකර සහ බෞද්ධ සදාචාරයන්ට එරෙහි වැඩපිළිවෙල පරාජයට පත් කිරීම.

*ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්ම උල්ලංඝනය කරමින් තරුණ නියෝජනයට රටේ පාලන අංශයේ මූලිකම ඒකකය වන පළාත් පාලන ආයතන වලට නියෝජිතයින් ලෙස පත් වීම පළාත් පාලන මැතිවරණ කල් දැමීම මගින් අවහිර කිරීමට විරෝධය පෑම.

*රටේ ආර්ථිකය නංවාලමින් තරුණ තරුණියන් හට නව රැකියා අවස්ථා ලබා දෙමින් කුඩා ව්‍යවසායකරුවන් රැක ගෙන දේශීය ස්වයංපෝෂිත ආර්ථිකයක් කෙරෙහි විශ්වාසය තබන වැඩපිළිවෙලක් වෙත ගමන් කිරීම.

*මාලඹේ පුද්ගලික වෛද්‍ය පීඨය ජන සතු කරවීමේ සටනට උරදෙමින් රටේ නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යත් රැක ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරවා එය ක්‍රියාවේ නැංවීමත් රාජ්‍ය ප්‍රවාහන සේවය සහ රාජ්‍ය ව්‍යවසායන් ආරක්ෂා කරගනිමින් ඒවා ඵලදායී ආයතන බවට පත් කරවීම.

මීට අමතරව මහජන එක්සත් පෙරමුණ සමස්ත ලංකා තරුණ සමිති සම්මේලනයේ විධායක සභාවද සියලු මැතිවරණ දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි පිහිටුවා ගන්නා ලද්දේ ඉදිරියේදී ඊනියා යහපාලන ආණ්ඩුවේ ව්‍යාජත්වයට එරෙහි ජනතා සටන් සක්‍රීයව මෙහෙයවීම අරමුණක් කරගනිමිනි.

මෙහිදී අදහස් දක්වමින් මහජන එක්සත් පෙරමුණ තරුණ අංශය ප්‍රධාන යදාමිණී ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීම වෙනුවෙන් සිදු කරන අරගලයේ පෙරමුණ ගැනීමට එදා 1987 වකවානුව තුළදී මෙන් මහජන එක්සත් පෙරමුණට සිදු වන බවයි.

පාසල් ශිෂ්‍යයින්ගේ ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර ප්‍රවේශ පත්‍රය රැක දීමේ අරගලයත් එදා දිනා දුන්නේ මහජන එක්සත් පෙරමුණ තරුණ කණ්ඩායම් විසින් බව සිහිපත් කරවන ලදි.ගම්පහ දිස්ත්‍රික් පා.ම.සිසිර ජයකොඩි මහතා අදහස් දක්වන ලදි.

අනතුරුව අදහස් දක්වමින් මහජන එක්සත් පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එදා 1987 ඉන්දියානු ව්‍යාප්ත වාදයට එරෙහිව සටනේ නොබියව පෙරමුණ ගත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලවේගය බවට මහජන එක්සත් පෙරමුණ පත්වූවා සේ වර්තමානය තුළ ඇමරිකානු සහ බටහිර ව්‍යාප්ත වාදයට එරෙහිව පෙරමුණ ගැනීමට කාලය අද වනවිට එළඹ ඇති බව සිහිපත් කරන ලදි.
එදා ඉරාකයට,ලිබියාවට,සිරියාවට,ඊජිප්තුවට කළ අපරාධය අද ශ්‍රී ලංකාවට වෙනස් මුහුණුවරකින් බටහිර ව්‍යාප්තවාදය විසින් සිදු කරනු ලබන බව සාක්ෂි සාධක ඇතුව රැස්ව සිටි තරුණයින් හට පැහැදිලි කිරීමට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා උනන්දු විය.

නීති විරෝධී වැට් බදු සංශෝධන වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට පරිනත නීතිඥයින් පවා හැකිලෙද්දී සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා සහ නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා තරුණ නීතිඥ කණ්ඩායමක් සමග වැට් පනත ගරු අධිකරණය ඉදිරියේ දන ගස්වන ලද ආකාරයත් පැහැදිලි කරන ලදි.

එමෙන්ම ඊනියා ප්‍රෝඪාකාරී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවලට විරෝධය පෑමට 2015 මහ මැතිවරණයේදී බුලත් කොළයෙන් තේරී පත් වූ නියෝජිතයින් 95 දෙනාටම සම වගකීමක් ඇති බවත් එය ඉටු නොකරන පටු වාසි වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක්වූ නියෝජිතයින් ගැනත් ජනතාවට තීරණයක් ගැනීමට අයිතියක් ඇතැයිද සිහිපත් කරන ලදි.

මෙම සමුළුවේදී සිදු වූ විශේෂිතම සිදු වීම වූයේ ඉදිරියේදී ගොඩනගන ඊනියා යහපාලන ආණ්ඩු විරෝධී පෙරමුණක් වෙත මහජන එක්සත් පෙරමුණ සහාය දක්වන්නේ යෝජනා 23ක් මූලික කරගෙන බවට මහජන එක්සත් පෙරමුණ සමස්ත ලංකා තරුණ සමිති සම්මේලනයේදී සභා සම්මත වීමයි.

ඒ යෝජනාවන් 23 අතර;

1.ශ්‍රී ලංකාවේ ඒකීයභාවය...

2.බෞද්ධ දර්ශනයට මූලිකත්වය දෙමින් දැහැමි පාලනයක්...

3.පළාත් පාලන මැතිවරණය කඩිනමින් ලබා ගැනීම...

4.පළාත් පාලන ආයතනයන්හි අවම වශයෙන් 3න් 1ක් තරුණ නියෝජනයක්...

5.රටේ තව අවුරුදු 30ක් තුළ මුහුණපෑමට නියමිත බුද්ධිමත් ශ්‍රම බළකායේ හිගයට විසදුම් ලෙස සෑම පවුලකම 2 දරුවාගේ සිට ඉන් අනතුරුව උපත ලබන දරුවන් වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවයට අමතරව අධ්‍යාපනය නිම කරන තෙක් සියලු වියදම් රජය විසින් දැරීම...

6.අධ්‍යාපනයේ සම අවස්ථා සුරැකීම හා නිදහස් අධ්‍යාපනය මුදුන් මල්කඩක් සේ සුරැකීම...

7.2017 අයවැයෙන් සිදු කිරීමට යන දැවැන්ත අධ්‍යාපන කප්පාදුවට ප්‍රබල විරෝධයක් දැක්වීම...

8.පිරිවෙන් සාමණේර වහන්සේලාගේ පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් මූලික අවධානයක් ලබා දී අවශ්‍ය පහසුකම් නැංවීම...

9.නවීන ලෝකයට ගැළපෙන පුරවැසියන් බිහි කිරීම වෙනුවෙන් නවීන තාක්ෂණික අධ්‍යාපනයක් වෙත ගමන් කිරීම...

10.වයස අවුරුදු 21 වනවිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමා කර රටේ බුද්ධිමය ශ්‍රම බළකායට තරුණ ප්‍රජාවට එක්විය හැකි ලෙස අධ්‍යාපනය ක්‍රමය වෙනස් කරලීම...

11.බාහිර උපාධි කප්පාදුව හෙළා දකින අතර බාහිර උපාධි ලියාපදිංචිය යථා තත්වයට පත් කරලමින් අසාධාරණයට ලක් වූ උපාධි අපේක්ෂකයින්ට සහන ලබා දීම...

12.මාලඹේ 'සයිටම්' වහාම ජනසතු කරලමින් රජයේ වෛද්‍ය පීඨයන්හි පහසුකම් නංවා ලීම...

13.අ.පො.ස.(සා.පෙ.)අ.පො.ස.(උ.පෙ.) කඩයිම් වලින් පාසල් හැර යන තරුණ ප්‍රජාවට වෘත්තීය අධ්‍යාපනය අනිවාර්යයෙන්ම රජය විසින් ලබා දීම...

14.තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපනය සදහා අවශ්‍ය ණය සහනදායී ලෙස ලබා දීම...

15.වතුකරයේ තරුණ ප්‍රජාව පිළිබදව විශේෂ අවධානයකින් කටයුතු කිරීම සහ ඔවුනට භාෂා දැනුම තොරතුරු තාක්ෂණය,වෘත්තීය නිපුණතාවය කඩිනමින් ලබා දීම...

16.තරුණ ව්‍යවසායකයින්ට බදු විරාම සහ සුවිශේෂී බදු සහන ලබා දීම...

17.විදේශගතව සිට ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දෙන තරුණ ප්‍රජාවගේ ගිණුම් ඵලදායී ලෙස ආයෝජනය කරවීමේ වැඩපිළිවෙලක්...

18.තරුණියන්ට ජාත්‍යන්තරව සම්මත වූ සේවා පැය ගණනක සම්මතයක් ලබා දෙමින් සේවා අයිතිවාසිකම් තහවරු කරලීම...

19.උසස් රසඥතාවයෙන් යුත් තරුණ පරපුරක් සදහා නව නිර්මාණ බිහි කරන තරුණ පිරිස් දිරිගැන්වීම...

20.විනයගරුක තරුණ පරපුරක් සදහා නව ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක්...

21.රටේ පුරා වස්තු ආරක්ෂාව සහ ඒ වෙනුවෙන් තරුණ පරපුර උනන්දු කරවීම...

22.මත් රකුසාගෙන් තරුණ පරපුර ගලවාගන්නා විධිමත් වැඩපිළිවෙලක්...

23.ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන ලෝක ශිෂ්‍ය සහ තරුණ සමුළුවේ අරමුණු දේශීයව සාර්ථක කර ගැනීමට ලාංකේය ශිෂ්‍ය තරුණ ප්‍රජාව සවිමත් කරවීම...

යන යෝජනාවලියයි.

මහජන එක්සත් පෙරමුණ සමස්ත ලංකා තරුණ සමිති සම්මේලනයේ විධායක ප්‍රධානී ලෙස යදාමිණී ගුණවර්ධන,සභාපති හසිත ඒකනායක,ලේකම් ජයන්ත රෝහන,භාණ්ඩාගාරික ආසිරි ප්‍රියරංග,ජාතික සංවිධායක සමන්ත උදය කුමර ගමගේ යන තරුණයින් තේරී පත්විය.


වාර්තා කළේ -Lanka dna( ඉෂාර ලක්මිණ.)

Share on Google Plus