මහින්ද සමඟ චොර වෙමු.


ජනවාරි 27දා තමන්ට තීරණාත්මක දිනයක් බව ඒකාබද්ධ විපක්ෂය කල්පනා කරන බව පෙනෙන්නට තිබේ. ‘පෙරළියක ඇරඹුම’ වශයෙන් ඔවුන්ගේ උද්ඝෝෂණ රැලි මාලාව ආරම්භ කරන්නට යන්නේ එදිනයි. එය සාර්ථක කරගැනීම සඳහා මුළු වැර යොදා වැඩකරන එම කණ්ඩායමේ නායකයෝ එදිනට විශ්මිත යමක් කරන බව කියති. ඇතැම් විට එසේ කියන්නේ එම රැලියට වැඩි ආකර්ෂණයක් ලබාගැනීමට හා සෙනඟ ගෙන්වා ගැනීමට විය හැකිය. නැත‍ෙහාත් ලොකු තුරුම්පු ඔවුන් සතුව තිබිය යුතුය. ඇත්ත කුමක්දැයි හෙට අනිද්දාට බලාගත හැකිවනු ඇත.

හෙට දින නුගේගොඩට එන්නේ මීට වසර දෙකකට පෙර මහින්ද සමඟ නැගිටිමු! කියමින් එම ස්ථානයටම පැමිණි පිරිස බව බැලූ බැල්මට පෙනෙන කාරණයකි. එදා නුගේගොඩින් පටන්ගත් ව්‍යාපාරය, පසුව හයිඩ්පාක් රැස්වීම්, කිරුළපනේ මැයි රැලිය හා නුවර සිට ආ පාගමන ආදී වශයෙන් අවස්ථා ගණනාවක් පසු කළේය. ඒ හැමවිටම කීවේ මහා පෙරළියක් අරඹන බවයි. එසේ වූවද එබඳු පෙරළියක් සිදුවුණේ නැත. දැන් කියන්නේ මෙවර නුගේගොඩින් තම පෙරළිය ආරම්භ කරන බවයි.

මේ අතර පසුගියදා තවත් වර්ධනයන් දෙකක් ගැන වාර්තා විය. එකක් නම් පළාත් සභාවල මහ ඇමැතිවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී කළ සාකච්ඡාවයි. මහ ඇමැතිවරුන් සියලුදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේය. උතුර හා නැ‍ඟෙනහිර මහ ඇමැතිවරුන් මෙයට සහභාගි වූයේ නැත. ඔවුන්ගේ ඉල්ලීම වූයේ ශ්‍රීලනිපය දෙකට කැඩීමෙන් වළකින ලෙසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව පක්ෂයේ ඉදිරි ගමනට සහය දෙන ලෙසයි.

කෙසේ වෙතත් වාර්තා වන අන්දමට හිටපු ජනාධිපතිවරයාගෙන් එයට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. එතුමා කියා ඇත්තේ ශ්‍රීලනිපය සමගි කරන්නට නම් ජනාධිපතිතුමා එජාපයත් සමඟ යන ගමන නතර කළ යුතු බවයි. එනම් ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාගත් ජනවරමට පිටුපා කටයුතු කළ යුතු බවයි. හිටපු ජනාධිපතිවරයා මේ යෝජනා කරන්නේ වත්මන් ජනාධිපතිවරයා දේශපාලන වශයෙන් සියදිවි නසාගැනීම වැන්නක් බව දේශපාලනය දන්නා බොහෝ දෙනාට වැටහෙනු නොඅනුමානය. නොෙක්රෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් අවශ්‍ය යැයි කියන්නේ මෙවැනි කතාවලටය.

සාකච්ඡාවට ගිය මහ ඇමැතිවරු කීවේ තීරණයක් නැතත් ඉදිරි සාකච්ඡා සඳහා ඉඩ තබා ගනිමින් සාකච්ඡාව අවසන් වූ බවයි. මහින්ද පිලේ උදවිය කීවේ සාකච්ඡා අසාර්ථක බවයි. මහ ඇමැතිවරුන් පැමිණියේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් ඉවත් කිරීමට බවද ඔවුන්ගෙන් කියැවිණි. පෙනෙන්නට තිබෙන්නේ ශ්‍රීලනිපයේ සමගිවීමක් ඉක්මනින් සිදුනොවන බවයි.

මෛත්‍රී-මහින්ද වෙනස

මහ ඇමැතිවරුන් කලබල වී තිබෙන්නේ පළාත් සභා මැතිවරණයද ළඟ එන නිසාය. පළාත් තුනක මැතිවරණ මේ වසරේ අග භාගයේ පැවැත්වීමට නියමිතය. ලබන වසර තුළ ඊළඟ තීරණාත්මක මැතිවරණ පවත්ෙවනු ඇත. එයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය ගන්නට නම් පක්ෂයේ බෙදීමක් වළක්වාගත යුතුය. නැත‍ෙහාත් වාසිය හිමිවන්නේ එක්සත් ජාතික පක්ෂයටය. මේ යථාර්ථය ඉතාම සරළය.

ශ්‍රීලනිපය පළාත් සභා මැතිවරණය ජය ගැනීමට නම් ඊට පෙර පැවැත්වීමට නිය්මිත පළාත් පාලන මැතිවරණ ජයගත යුතුය. එහිදීද පක්ෂය සමගි වී තරග කිරීම අත්‍යවශ්‍යය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ නායකයා වශයෙන් මෙය හොඳින්ම වටහාගෙන ඇතුවාට සැක නැත. මහින්ද රාජපක්ෂ මහතාද මෙය නොදන්නවා නොවේ. එසේ වූවද පක්ෂයේ ජයග්‍රහණය අවශ්‍ය මෛත්‍රීටය. මහින්දගේ ස්ථාවරය වී තිබෙන්නේ මෛත්‍රීගේ නායකත්වයෙන් ශ්‍රීලනිපයට දිනන්නට නොදීම බව පෙනෙන්නට තිබේ. එසේ නැත්නම් ඒ සඳහා විශාල වන්දියක් ගෙවීමට ජනාධිපතිවරයා පොළඹවා ගැනීම මෙහි අනෙක් අරමුණ විය හැකිය. එනම් මෙතෙක් පැමිණි යහපාලන ගමන නවත්වන එකය. මිනීමැරුම්, දූෂණ වංචා පරීක්ෂණ නවතා දැමීමය. ශ්‍රීලනිප ආණ්ඩුවක් මෙම පාර්ලිමේන්තුවේම හදනවා කියන්නේද ඒකටය.

මේ අතර තවත් වර්ධනයක් ගැනද වාර්තා විය. ඒ ගැන ප්‍රසිද්ධියේ හෙළිදරව් කළ එක් අයෙක් නම් ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතාය. ඒ මහතා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් ඉවත්කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය තවමත් ක්‍රියාත්මක බවයි. මෙරට අමෙරිකානු හා ඉන්දියානු තානාපති නිලධාරින් මගින් මහින්ද දේශපාලනයෙන් ඉවත්කිරීමේ ඉල්ලීම ඉදිරිපත්ව ඇති බවයි.

මේ ප්‍රකාශයට හේතු වූයේ මෙරට අමෙරිකානු තානාපති හා ඉන්දියානු මහ කොමසාරිස් ඒකාබද්ධ විපක්ෂයේ නායකයකු වන මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමුවී කළ ඉල්ලීමකි. ඔවුන්ගේ ඉල්ලීම වූයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාව වේගයෙන් හීනවෙමින් පවතින බවත්, ඒ මහතා දේශපාලනයෙන් ඉවත්කර ගන්නා ලෙසත්ය. එය මහින්ද රාජපක්ෂ මහතාගේත් එම පවුලේත් යහපත පිණිස වන බව මෙම නිලධාරින් ප්‍රකාශ කළැයි මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ රැස්වීමකදී ප්‍රකාශ කොට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදීය.

බන්දුලගේ අබග්ගය

පෙනෙන විදිහට විදේශ තානාපති නිලධාරින්ට අවශ්‍ය වී ඇත්තේ විපක්ෂය ශක්තිමත් කිරීමට විය හැකිය. එමගින් දේශපාලනයේ තුලනයක් ඇතිකිරීම ඔවුන්ගේ අරමුණ යැයි සිතිය හැකිය. අනෙක් අතට කල්පනාවට ගත යුත්තේ මෙම රාජ්‍යයන්ගේ භූ දේශපාලන අවශ්‍යතායි. හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොට සම්බන්ධයෙන් චීන සමාගම් සමඟ ආණ්ඩුව එළඹෙන්නට යන ගිවිසුම්වල අනාගත බලපෑම ඔවුන් කිරා මැන බලනවා විය හැකිය. මෙම වැඩපිළිවෙළට විකල්ප දේශපාලනයක් ඔවුන්ට අවශ්‍ය වී ඇති බව පෙනෙන්නට තිබේ. එසේ වූවද චීනයෙන් අසීමිතව ණය ගනිමින් මෙම චීන උගුලට රට හසු කළ නායකයා පෙරමුණේ තියාගෙන කිසිම ගමනක් නැති බව ඔවුන් සිතනවා විය හැකිය.

බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවකදී කරගත් ඇබැද්දියද මීට ආසන්න හේතුවක් වූ බව සිතිය හැකිය. ඒ මහතා කතා කළේ චීනයට ඉඩම් බදු දෙනවාට විරුද්ධවය. එවිට මාධ්‍යවේදියකු ඇසුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා චීනයට ඉඩම් සින්නක්කරව දුන්නා නේද කියාය. එසේ නොකළ බව කී මන්ත්‍රීවරයා එසේ දී ඇත්නම් පෙන්වන්න යැයි අභියෝග කළේය. මන්ත්‍රීවරයා තක්කු මුක්කු වූ‍ෙය් ඊළඟ ප්‍රවෘත්ති සාකච්ඡාවට ලිඛිත සාක්ෂි ගෙනඒමට මාධ්‍ය‍ෙව්දියා කටයුතු කිරීම නිසාය. එහි තුබුණේ වත්මන් ආණ්ඩුව මෙන් බද්දට නොව සින්නක්කර ලෙස චීනයට ඉඩම් දීමට ගිවිසගෙන තිබූ ආකාරයයි. එම ගිවිසුම අවලංගුකොට බදු ගිවිසුම් ඇතිකර ගත්තේ වත්මන් ආණ්ඩුවය.

ඒ කෙසේ වෙතත් සියලු කතාබහවලින් ඒකාබද්ධ විපක්ෂයේ උදවියට සිතන්නට දෙයක්ද ඇති බව පැහැදිලිය. එය නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තවදුරටත් මෙරට වලංගු දේශපාලන විකල්පයක්ද යන කාරණයයි.

ඒකාබද්ධ විපක්ෂයේ උදවියට මහින්ද රාජපක්ෂ යනු ගස් නැති රටේ ගහකි. සියල්ලට පරදුවට තබන්නේ යුද්ධයේ ජයග්‍රහණයත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා ගොඩනඟා ගත් කීර්තියයි. විපක්ෂය හිතන්නේ එය හැමදාම තිබෙනවා කියාය. සදාකල් පවතින්නක් වශයෙනි. මැතිවරණ දිනන්නට පුළුවන් මහින්ද සමඟ පමණකැයි ඔවුන් කල්පනා කරන බව පෙනෙන්නට තිබේ. එසේ වූවද සියලු රාජ්‍ය බලය, මාධ්‍ය බලය, පළාත් සභා බලය, පළාත් පාලන ආයතන බලය ආදී මෙකී නොකී සියල්ල තිබියදී තමන්ම තරග කළ මැතිවරණයද මහින්ද පරාදය එදා මෙදාතුර මහින්දගේ ජනප්‍රියතාව තවත් පිරිහුණා මිස වර්ධනය වූ බවක් පෙනෙන්නට නැත. පෙනෙන්නට තිබෙන්නේ පක්ෂය තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා ටිකෙන් ටික ශක්තිමත් වූ ආකාරයයි.

ආණ්ඩුවට චෝදනා එල්ල කරමින් පහර ගසමින් මහජනයා තමන් වටා ගොනුකරගත හැකි යැයි රාජපක්ෂ කල්ලියේ ඇතැම් නායකයන් සිතා සිටිනවා විය හැකිය. එසේ වූවද ඔවුන් ආණ්ඩුවට එල්ලකරන විවේචනම ඔවුන්ට පාරා වළලු ලෙස ආපසු කැරකෙන බව මොවුන්ට තේරෙන්නේ නැත. ආණ්ඩුවට දූෂණ චෝදනා එල්ල කරනවිට රාජපක්ෂ පාලනයේ කප්පරක් දූෂණ සිහියට නැගෙන බව මොවුන්ට සිතාගන්නට බැරිය. ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ ගැන කතා කළද සන්තෑසිය එයමය. කුමක් කීවත් එය ආපසු කැ‍රකෙන්නේ ඔවුන්ටමය.

මොවුන්ගේ මේ කතා අහන්නට සිටින්නේ හැමදාම ඔවුන් වටා කැරකෙන පිරිසකි. රාජ්‍ය බලය තිබියදී නොයෙකුත් වරප්‍රසාද යාන වාහන, කොන්ත්‍රාත් ආදී මෙකී නොකී දෑ භුක්ති විඳි පිරිසක් මොවුන් සමඟ සිටිති. තමන් කලින් වින්ද වරප්‍රසාද අහිමිවීමෙන් මොවුහු කෝපවී සිටිති. මහින්ද සමඟ නැඟිටින්නට වළිකන්නේ එම පිරිස බව මහජනයා හොඳින් දනිති.

ජනතාවගේ කෝපය

ආණ්ඩුවේ වැඩ ගැන කලකිරීමත් මහජනයා තුළ ඇති බව පැහැදිලිය. එම කලකිරීම ඇත්තේ ආණ්ඩුවට සහය දුන් පිරිසටය. යහපාලනය බලයට ගෙනා උදවිය අතරය. ඔවුන්ට තියෙන්නේ වංචා දූෂණ පිටුදැකීම හරියට සිදුනොවීම ගැන විවේචනයකි. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වේගවත් නොවීම ගැන කලකිරීමකි. එමෙන්ම රාජපක්ෂ නඩය හුරතල් කිරීම ගැන කෝපයකි. ඇතැම් විට චෝදනා එල්ල වන්නේ ආණ්ඩුවේ ඒ බලවතා හෝ මේ බලවතා රාජපක්ෂලා සමඟ ඩීල් දාන බවටය. එලෙස ආණ්ඩුව කෙරෙහි තිබෙන කලකිරීමෙන් රාජපක්ෂ කල්ලියට වාසි ලබාගත හැකි යැයි සිතීම මුලාවක් පමණකි.

මහින්ද රාජපක්ෂ දේශපාලන විකල්පයක් නොවීමට තවත් හේතුවක් ඇත. එනම් ව්‍යවස්ථා වෙනසක් සිදුනොවුණහොත් ඔහුට යළිත් ජනාධිපතිවරණයක් තරග කිරීමට නොහැකිවීමය. මේ කණ්ඩායම ව්‍යවස්ථා වෙනසකටද විරුද්ධය. ඔවුන්ට අවශ්‍ය යළි ජනාධිපතිවරණයකි. ඇත්ත උපාය මාර්ගය ඒකනම් කළ යුතු වන්නේ ඒ සඳහා විකල්ප නායකයකුට දැන් සිටම ඉඩ සැලසීමයි. එසේ නොකරන්නේ නම් මේ කරන්නේ වෙනත් දේශපාලන ගේමක් ගැසීමකි. ඔටුන්න හිමි කුමාරයා සූදානම් වනතෙක් ශ්‍රීලනිපය විපක්ෂයේම තබාගැනීම එම ගේමේ යටි අරමුණද යන්න කියන්න දන්නේ නැත.

මේ මොහොතේ විකල්පයක් වීමට නම් රටට නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුව ඇත. සෑමවිටම බල පෙරළි සිදුවන්නේ නව දේශපාලන වැඩපිළිවෙළත් සමඟය. ජනවාරි අට සිදුවූයේද එවැන්නකි. දැන් අවශ්‍ය වන්නේ ඉන් ඉදිරියට යන්නා වූ ක්‍රියාවලියකි. එවැන්නක් මතුවීමේ ඉඩකඩ තවමත් ඇත්තේ යහපාලන සටනට සම්බන්ධ වූ බලවේගයන්වය. ආණ්ඩුවේ පක්ෂවලින් එය සිදුනොවන්නේ නම් සිවිල් සමාජයෙන් අලුත් රැල්ලක් ලෙස එවැන්නක් මතුවිය හැකිය.

ඒකාබද්ධ ඉරණම

ඒකාබද්ධ විපක්ෂයට සැබෑ දේශපාලන විකල්පයක් වීමට නම් යා යුතු දුර බොහෝය. එහි පළමුවැන්න නම් රාජපක්ෂ පාලනයේ වැරදි පිළිගෙන එම මාර්ගයෙන් කැඩී වෙන්වීමයි. මහින්ද රාජපක්ෂ නායකත්වයේ තබාගෙන එය කරන්නට බැරිය. අනෙක් අතට මෙම කණ්ඩායමේ සිටින්නේ මහින්ද රාජපක්ෂ නැතිවූ විට කිසිම හයියක් නැති පිරිසකි. ඒ කිසිවකුට තමන්ගේ කියා ජන පදනමක් නැත. දේශපාලනයේ යෙදී සිටින උදවිය අතර තිබෙන කියමනක් නම් දේශපාලන වශයෙන් චොරවීම යන්නයි. ඒ කියන්නේ මහජන පදනමක් නැතිවීමයි. එලෙස චොර වූ පිරිසකට දැන් සිටින එකම ගැලවුම්කරුවා මහින්ද රාජපක්ෂ මහතායි. ඒ නිසා මේ උදවියට මහින්ද නැතිවම බැරිය. ඔවුන්ට වෙන නායකයෙක් ඇත්තේ නැත. ගොඩ නගා ගැනීමද සිහිනයකි.එබැවින් මහින්ද සමඟම ගොස් විනාශයට යෑම නැතහොත් චොරවීම හැර මෙම කණ්ඩායමට වෙනත් අනාගතයක් ඇති බවක් පෙනෙන්නට නැත.

සී. ජේ. අමරතුංග

Share on Google Plus