අදහස් නිද්‍යාපනය වූ නිදහස් අධ්‍යාපනය ...



"...මෛත්‍රී ලොක්කට එන්න කියාපිය-රනිල් ලොක්කටත් එන්න කියාපිය-කිරිඇල්ලේටත් එන්න කියාපිය-බැරිනම් අකුලන් යන්න කියාපිය..."

මේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය/භික්ෂු බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී එකතුව එක්ව සංවිධානය කරන පා ගමන් සහ උද්ඝෝෂණයන්හි සටන් පාඨයන් කිහිපයකි.'සයටම්' යනු අද ඊයේ ආකස්මිකව පහළ වූ ආයතනයක් නොවේ.හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ දෙවනවර ධුර කාලය තරම් ඈත ඉතිහාසයක් 'සයටම්' නම් දරුවාට ඇත.එක් අතෙකින් ගතහොත් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට 'සයටම්' ආයතනය ඉදි කිරීම සඳහා භූමිය ලැබුන ආකාරය පිළිබඳව විමර්ශනාත්මකව සොයා බලන්නෙකුට මේ පිළිබඳව සහ 'සයටම්' ආයතනය දක්වා මාලඹේ සිට දැවැන්ත මහා මාර්ගයක් ඉදි වූ ආකාරය පවා දැන ගත හැකිය.


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ 2005 නොවැම්බර් සිට ආරම්භ වූ ප්‍රථම ධුර කාලය තුළ සැබෑ ජන නායකයෙකු ලෙස ත්‍රස්ථවාදය විනාශ කර දැමීමේ අරමුණින් ක්‍රියා කළා යැයි කෙනෙකුට තර්ක කළ හැකිය.එහෙත්,2010 මැයි 19 ඊළමට එරෙහි යුද්ධ ජයග්‍රහනයේ පළමු සැමරුම සිදු වූ දින සිට මිය ගිය කොටි නායක ප්‍රභාකරන්ගේ අවතාරය වැහුනකු සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රියා කරන්නට විය.ඔහු විසින්  තම වැඩිමහල් පුත්‍ර රත්නය වූ නාමල් රාජපක්ෂව ඔටුනු පැළැන්දවීමේ වියරුවෙන් දැඩි තීන්දු ගෙන ජනතාව මර්දනය කරමින් ක්‍රියා කරන්නට වූ බව ඇස්,කන්,මොළය ඇති සෑම පුරවැසියෙකුටම දැනුනක් විය යුතුය.


තොරතුරු තාක්ෂණ,ඉංජිනේරු,අභිසාරීගත මාධ්‍ය,කළමනාකරණ,වෛද්‍ය තාක්ෂණ යන විෂයන් වෙනුවෙන් පමණක් ප්‍රථම උපාධි පාඨමාලාවන් පවත්වාගෙන යාමට සමාගම් පනත ප්‍රකාරව ලියාපදිංචි වූ 'සයිටමය' පසුව 2011 වන විට වෛද්‍ය උපාධි පිරිනැමීමට හිතුවක්කාරී ලෙස තීන්දු කළා විය නොහැක එය 'රාජපක්ෂ රජ පවුලෙන්'(මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ  පවුලේ දේශපාලනයේ නියුතු සාමාජිකයෙක්ගෙන්...)"සයිටමය' වෙත ලබා දුන් පොරොන්දුවක් යැයි විචාරශීලී ඕනෑම පුරවැසියෙකුට දැනිය ,හැඟිය යුතුය...එම පොරොන්දුව නෙවිල් ප්‍රනාන්දු වෙත ලබා දුන්නේ කවුදැයි නෙවිල්  ප්‍රනාන්දු සහ අදාළ පොරොන්දුව ලබා දී නෙවිල් ප්‍රනාන්දු නොමඟ යැවූ පුද්ගලයා සහ එවකට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනී මහාචාර්ය ක්ෂනිකා හිරිඹුරේගම අතර පමණක් වන රහසක් විය යුතු වීමේ සම්භාවිතාව ප්‍රබල මට්ටමක පවතී.


එසේ  තිබියදී වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අගාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ උසස් අධ්‍යාපන අමාත්‍ය  ලක්ෂ්මන් කිරිඇල්ල එන්න කියාපිය කියන අන්තරයේ සටන් පාඨය තුළින් මෙරටේ පුරවැසියන්ට නිගමනය වන්නේ වර්තමානයේ අන්තරයේ අවශ්‍යතාවය නිදහස් අධ්‍යාපනය රැක ගැනීමකට වඩා  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ එක්ව 'සයටම්' ප්‍රශ්නය විකුණාගෙන කමින් නැවත දූෂිත රාජපක්ෂ පවුලේ අයෙකුට බලය ලබා ගැනීමට මාර්ගය තරුණ ප්‍රජාව භාවිතා කරමින් සකස් කරවීම බවයි.


මේ බව තහවරු කිරීමට තරම් ප්‍රමාණවත් සාධක ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ජනතා රැලි කීපයකම වේදිකාවේ අසුන් ගැනීමට පමනක් නොව  ජනතාව ආමන්ත්‍රනයට පවා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් සොයිසා,වාසුදේව නානායක්කාර මෙන්ම එකාබද්ධ විපක්ෂයට අයත් පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයින් ලෙස බද්දේගම සමිත හිමි,නීතිඥ තුෂාර දිසානායක හට අවස්ථා ලබා දීම ඔවුන්ගේ කතා තුළදී 'සයටම් විරෝධය' පසෙකලා වර්තමාන රජයේ දේශපාලන ප්‍රතිපත්තීන් විවෙචනය.ජනතා විමුක්ති පෙරමුණ,පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජාතික හෙළ උරුමයේ නියෝජිතයින් යොදා ගෙන දිගින් දිගටම ආණ්ඩුවේ පුද්ගල ප්‍රතිරූප වෙත දෝෂාරෝපනය කරවීම සහ 'සයටම්' 2011 මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ ආරම්භ වූ වගක්වත්  හෙළිදරවු නොකර වර්තමාන ආණ්ඩුව වෙතම වාග් ප්‍රහාර එල්ල කිරීම යන කරුණු  සාධක බැලූ බැල්මට පෙනෙන්නට ඇත.


මේ  පිළිබඳව නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස බොහෝ අවස්ථාවන්හිදී මා විසින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ශවයේ නායකයින්ගෙන් සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී එකතුවේ ප්‍රබල භූමිකාවක් ඉටු කරන  රයන් ජයලත් සහෝදරයාගෙන් විමසූ අවස්ථාවන්හිදී ඔවුන් පවසා සිටියේ 'සයටම්' ප්‍රශ්නය විශ්වවිද්‍යාලයීය ප්‍රජාවට පමණක් සීමා වූවක් නොවන නිසා සමස්ත ප්‍රවාහයන්ම ඒ සටන වටා ගොනු කරගැනීම ශිෂ්‍ය ව්‍යාපාරයේ යුතුකමක් ලෙසයි...

නමුත්,2011 'සයටම්' ආරම්භ කිරීමට කැබිනට් පත්‍රිකා  මඟින් පාර  විවෘත කරදුන් නායකයා මහින්ද රාජපක්ෂ තම අනුගාමිකයින් සමඟ එක්ව 'සයටම්' හොඳ නෑ කියන්නේනම් එයින් හෙළිදරව් වන්නේ මහින්ද රාජපක්ෂ ජනධිපති  ලෙස තීන්දු තීරණ ගෙන ඇත්තේ වගකීමකින් තොරව රටේ මහජනතාවගේ ජීවිත බිළි දෙමින් බවයි.


කෙසේ  වෙතත් 'සයටම්' වෙත සුදු හුණු ගෑමේ අවශ්‍යතාවයක් මට නොමැත.'සයටම්' ආයතනය  සතුව වෛද්‍ය ශිෂ්‍යයින් පුහුණු කරවීමේ දක්ෂ  පරිපූර්ණ ආචාර්ය මණ්ඩලයක් නොමැත.ඒ බව 'සයටම්' ප්‍රධාන විධායක නිළධාරී විසින් සිදු කළ ව්‍යාජ රංගනය තුළින්ම සයටම් ආයතනය සතු ආචාර්යවරුන්ගේ මානසිකත්වයේ බොළඳ බව ලෝක ප්‍රජාවටම ප්‍රදර්ශනය විය.


එමෙන්ම  නෙවිල් ප්‍රනාන්දු රෝහල තුළ හදිසි අනතුරු ඒකකයක් හෝ නොමේරූ ළදරු සැත්කම් ඒකකයක් හෝ නොමැත.වෛද්‍ය ශිෂ්‍යයින් පුහුණු කරවීමට ප්‍රමාණවත් තරම් රොගීන් නේවාසිකව ප්‍රතිකාර  නොලබයි.


'සයටම්' වෛද්‍ය ශිෂ්‍යයින් අතර බොහෝ දෙනෙක් උසස් පෙළ අවම සාමාර්ථයෙන් විෂයන් ත්‍රිත්වයම සමත් වී නොමැති බවටද සාක්ෂ්‍ය සාධක මත හෙළිදරව් වී ඇත.

මගේ යෝජනාව වන්නේ 'සයටම්' ආයතනයම එහි සියලු පීඨ සමඟ නාවල පිහිටි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට පවරාගෙන මණ්ඩපයක් ලෙස , ' හත් දෙනෙකුගේ පාලක සභාවක් පත් කරගෙන ' පරිපාලනය කරගෙන ලාභ අරමුණු කර නොගත්  ආයතනයක් ලෙස පවත්වා ගෙන යා යුතු බවයි.

*එහි  පාලක සභාවේ පුදගලයින් 'හත් දෙනා' මේ  ආකාරයෙන් පත් කළ යුතුය.

1)සභාපති -  නාවල විවෘත විශ්වවිද්‍යාලයේ කුලපති.
2)ලේකම් -  නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ලේකකාධිකාරී
3)ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ගරු සභාපති.
4)අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ ලේකම්.
5)නාවල , විවෘත විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් වෛද්‍ය ශිෂ්‍යයෙක්.
6)වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු නියෝජනය කරමින් නීතිඥයෙක්.
7)සිවිල් සංවිධාන නියෝජනය කරමින් ස්වාධීන වෛද්‍ය වෘත්තිකයෙක්.


ශිෂ්‍යයින්ගේ ගාස්තු අය කිරීම ආදිය නාවල,විවෘත විශ්වවිද්‍යාලයීය වර්තමානයේ පවතින සහනදායී ක්‍රමවේදය අනූව පමණක් විය යුතුය.ශිෂ්‍ය කණ්ඩායමෙන් 10%ක් උසස් පෙළ විභාගයේදී දක්වන ඉසෙඩ් අගය විශිෂ්ටත්වය මත ගාස්තු අය කිරීමෙන් තොරව ශිෂ්‍යත්ව ලබා දී නොමිලයේ අධ්‍යාපනය හැදෑරීම සඳහා අවස්ථා ලබා දිය යුතුය.අදාළ ශිෂ්‍යත්ව ක්‍රමය ත්‍රීමා - වෙනුර අනුස්මරණ විශිෂ්ටතා ශිෂ්‍යත්ව ප්‍රදානය ලෙස නම් කළ යුතුය.


මෙම ප්‍රශ්නය මෙලෙස නිරාකරණය කරන අතර,අනාගතයේදී උසස් අධ්‍යාපනය අරඹයා කිසිදු පෞද්ගලික ආයෝජනයක් සිදු කළ නොහැකි ලෙස නීති පැනවිය යුතුය.අධ්‍යාපනය යනු ලාබ ඉපයීමේ භාණ්ඩයක් නොවන බව ලෝක ධර්මතාවයයි.


නිදහස් මාධ්‍යවේදී - ඉෂාර ලක්මිණ.










Share on Google Plus