"මැයි දිනය ආවනේ...තැබෑරුම් හල් පිරුණනේ...පසුදා ඉදන් පරණ සෙල්ලමනේ...කෝ කිසි වෙනසක් නෑනේ..."



හේමාකට් චතුරශ්‍රයේ කම්කරු අරගලයෙන් ආරම්භ වූ 'මැයි දිනය'(ලෝක කම්කරු දිනය.)ශ්‍රී ලංකාවේ සමකාලීන සමාජ දේශපාලන ක්‍රමය තුළ තම තමන්ගේ දේශපාලන පක්ෂ,කණ්ඩායම් වල පිරිස් ගහනය පෙන්වීමේ සාධකයක් බවට පත් වී ඇත.

2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ලක්ෂ 4 ඉක්මවූ  ඡන්ද  ප්‍රමාණයකින්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම හිටපු මහ ලේකම්වරයා වූ , ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පක්ෂ  සහ බලවේගයන්හි  පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන හමුවේ පරාජයට පත් විය.

එතැන් සිට 2015 පෙබරවාරි 18 දින පටන් නුගේගොඩින් ආරම්භ වී කුරුණෑගල,රත්නපුර,ගාල්ල,මහනුවර සහ හයිඩ් පිටිය දක්වා පරාජයට පත් මහින්ද රාජපක්ෂ ජනතා අවධානයෙන් ඈත් වීමට ඉඩ නොදී විවිධ සටන් පාඨ  ඔස්සේ රැස්වීම් මාලා සංවිධානය කිරීමට 'ඒකාබද්ධ විපක්ෂය' නමින් රාජපක්ෂවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්,මහජන එක්සත් පෙරමුණ,ජාතික නිදහස් පෙරමුණ,පිවිතුරු හෙළ උරුමය,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ විසින් පියවර ගත්හ.

මේ අතරතුරවාරයේදී 2015 අගෝස්තු 17 පැවති ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහ මැතිවරණයට 'එක්සත් ජනතා නිදහස් සන්ධානය'  යටතේම තරඟ කරමින්  මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්  බවට පත් විය.විපක්ෂ නායක ධුරය පවා ඔහුට අහිමි විය.

යහපාලන ආණ්ඩුවට සහාය නොදක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  මන්ත්‍රීවරුන් 51ක් 'ඒකාබද්ධ විපක්ෂය' නමින් විපක්ෂයේ ස්වාධීන භූමිකාව ඉටු කරන අතරේ පැවති 2016 මැයි රැළිය  රාජපක්ෂවරු සිතූ  තරම්ම සාර්ථක නොවීය.පොලිස් බුද්ධි අංශ වාර්තා වලට අනූව 2016 කිරුළපන මැයි රැළිය සඳහා 35,000ක පමණ ජනතාවක් පැමිණෙද්දී , 2016 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ කැම්බල් මැයි රැළිය සඳහා 100,000 ජනතාවක්ද, 2016 වසරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල සමනල ක්‍රීඩාංගන මැයි රැළිය සඳහා 60,000ක පමන ජනතාවක්ද ,  ජනතා විමුක්ති පෙරමුණ බී.ආර්.සී. මැයි රැළිය සඳහා 2016 දී 10,000ක පමන ජනතාවක්ද , කදුරට ජනතා පෙරමුණ, පී.දිගම්බරම් අමාත්‍යවරයා,මනෝ ගනේෂන් අමාත්‍යවරයා එක්ව පවත්වන්නට  යෙදුන 2016 තලවකැලේ මැයි රැළිය සඳහා 42,000ක පමන ජනතාවක්ද සහභාගී වූ බව වාර්තා විය.



වසරක  ඇවෑමෙන් මෙම තත්වය මෙවර පොලිස් වාර්තා වලට අනූව හාත්පසින්ම වෙනස් තත්වයක් පිළිඹිබු කරයි.මහින්ද රාජපක්ෂ පෙරටුකරගත්  'ඒකාබද්ධ විපක්ෂයේ'(ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ.) ගෝල් ෆේස්  මැයි රැළිය රාජපක්ෂවරු සිතුවාටත් වඩා අතිශයින්ම සාර්ථක විය.ඒ වෙනුවෙන්  උපරිම වශයෙන් 200,000 ජනතාවක් උද්යෝගයෙන් යුතුව සහභාගි වී තිබේ.එක්සත් ජාතික පක්ෂයේ කැම්බල් මැයි  රැළිය වෙනුවෙන්  70,000ක පමන ජනතාවක් සහභාගි වී ඇත.ජනතා විමුක්ති පෙරමුණ බී.ආර්.සී. මැයි රැළිය වෙනුවෙන් 22,000ක පමන ජනතාවක් සහභාගි වී ඇත.පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිටකොටුවේ පැවති මැයි රැළිය වෙනුවෙන් 2,000ක පමන  පිරිසක් සහභාගි වී තිබීම සැලකිය යුතු කාරණයකි.මන්ද විපක්ෂ නායකයා වන ආර්.සම්පන්ධන්ගේ දෙමළ ජාතික පක්ෂ මැයි රැළිය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වා වුවද ඔවුනට 1,500ක  පමන ජනතාවක් පමනයි එකතු කර ගත හැකි වී ඇත්තේ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස්  සන්ධානයේ මහනුවර ගැටඹේ මැයි රැළි‍ය සඳහා 60,000ක පමන පිරිසක් සහභාගී වී ඇති බවට වාර්තා වුවද මේ අගය සඳහා තවත් 5,000ක පමන  පිරිසක් එකතු විය යුතුය.ගැටඹේ ක්‍රීඩාංගනය ප්‍රමාණයෙන් කුඩා වීමත්,පේරාදෙනිය සහ මහනුවර  නගර ආශ්‍රිතව පැවති කි.මී.5ක පමන දැඩි  රථ වාහන තදබදයත් නිසා 5,000ක පමන පිරිසක් බස් රථ තුළ,මහනුවර දළඳා මාලිගය පරිශ්‍රයේ,පේරාදෙනිය උද්භිද උද්‍යානය ආශ්‍රිතව කල් ගත කළ බව පොලිස් වාර්තා වල සඳහන් වේ.

ගැටඹේ පෙළපාලියේදී සිදු වූ තවත් විශේෂත්වයක් වන්නේ සටන් පාඨ කියමින් ජය ගෝෂා නඟමින් පෙළපාලියේ ගිය ඇතැම් දෙනෙක් "මහින්ද මහත්තයට ජයවේවා!ගෝඨාභයට ජයවේවා!ජනාධිපතිතුමාටත් ජය වේවා!ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය වේවා!..." කියමින් පෙළපාලියේ ගමන් ගැනීමයි.

මෙය සුවිශේෂ සිදු  වීමක් ලෙස සඳහන් කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුලු බෙදීමක් පෙන්වන මෙම වකවානුවේ, ජනාධිපති මෛත්‍රී   පවාද සිදු කළ  මැයි රැළිය අමතන ප්‍රකාශයේදී රාජපක්ෂවරුන් ඉලක්ක කරගනිමින්  වීදුරු ගෙවල් ඇතුලේ ඉදන් ගල් ගහන්න එපා! කියද්දී...ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් නිර්භයව තම හදවතේ ප්‍රාර්ථනාවන් සටන් පාඨ ලෙස වාතලයට මුදා හැරීමයි.

මෙම සුවිශේෂ සිදු වීම සිදු වූයේ රත්නපුර,ගලිගමුව,මාතර,මහරගම,කෑගල්ල යන ආසනයන්හි පෙළපාලි වෙන වෙනම  ගමන්ගන්නා අවස්ථා තුළදීය.

මැයි පෙළපාලි සහ රැළි පැවැත්වීමෙන් අනතුරුව පරිසරය පවිත්‍ර කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකයන්ගේ දායකත්වයෙන්ම වැඩසටහන් දියත් කිරීම ප්‍රසංශනීය තත්වයකි.ජනාධිපති මෛත්‍රී මැයි 02 පෙරවරුවේම ගැටඹේ ක්‍රීඩාංගනයට ගොස් තම දෑතින්ම ප්ලාස්ටික් බෝතල් පොලිතින් බෑග් එකතු කරනු ලැබීම ජපානයේ වැනි දියුණු සංස්කෘතියක් හික්මීමක් පවතින රාජ්‍යක නායකයෙකු විසින් සිදු කරන ආකාරයට දෛනික ක්‍රියාවලියකි.

එක්සත් ජාතික පක්ෂය යොවුන් පෙරමුණ  තරුණයින් යොදා පරිසරය පවිත්‍ර  කරනු දක්නට ලැබුණි.එහෙත්,මවුබිම වෙනුවෙන් මැරෙන්න වුනත් සූදානම් පාක්ෂිකයින් සිටින සිංහල බෞද්ධ සුචරිතවාදී ,ජාතිකවාදී නායකයින් සිටින ඒකාබද්ධ විපක්ෂයේ 'ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ' මැයි රැළිය පැවති  ගෝල්ෆේස් පිටිය පරිසරය මුලුමනින්ම අපවිත්‍ර කර විනාශ කර තිබෙනු මැයි  03 වෙනිදින පෙරවරුව දක්වාම ගාලු පාර ඔස්සේ කොළඹට පිවිසෙන ඕනෑම අයෙකුට දැක ගත හැකි විය.මෙය කණගාටුදායක තත්වයකි.



2017  මැයි දිනයේ 'කම්කරු අයිතීන් පිළිබදව' කතා කරනවාට වඩා ශ්‍රී ලංකාවේ සෑම දේශපාලන පක්ෂයකටම පාහේ පැවතියේ 'බලය' තහවරු කර ගැනීම සඳහා කම්කරුවන්ගේ ඔළුගෙඩි ගණන  හිලව්වට තබන උත්සාහයකි.එයින් රාජපක්ෂවරු ජය ලැබීය.එහෙත් 2020 වනතුරු ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේනමය.නමුත්,අග්‍රාමාත්‍ය ධුරය පිළිබදවනම් ස්ථිරත්වයක් ප්‍රකාශ කිරීම උගහටය.

පින්බර වෙසක් මාසයේ අවසානයට පෙර ඉන්දියානු බලපෑම්  හමුවේ ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත කුමන මඟක් ගනියිද?යහපාලන ආණ්ඩුවේ අභ්‍යන්තරය තුළ පුටු පෙරළියක් සිදු වේද?මේ කුමන වෙනස්කම් ඇති වුවත් සවිඥානික පුරවැසියන් ලෙස අපි අවධානයෙන් සක්‍රීයව සිටිය යුතු වෙමු!

මැයි 01 සිදු වුනා වගේ දේශපාලකයින්ගේ කළු අරක්කු බී සුරා මතින් කල් ගෙවුවොත් අපට නැති වන්නේ අපේ අනාගතයයි!නූපන් දූ දරුවන් අනාගතයේ අපට සාප කරනු ඇත...



ඉෂාර ලක්මිණ (Lanka dna).





Powered by Blogger.