ශ්‍රී ලංකාවේ හදවත මධ්‍යම කඳුකරයේ විනාශය - අනාගත ශ්‍රී ලංකාවට මරණය කැඳවයිද?




ශ්‍රී ලංකාව යනු ස්වභාවයෙන්ම නිවර්තන කලාපීය සමකාසන්න උෂ්ණ දේශගුණයක් සහිත රටකි.ස්වාභාවික විපත් බහුලම කලාපයක් ලෙස නිවර්තන කලාපය හැඳින්විය හැකිය.

මේ යතාර්ථය අප තේරුම් නොගත්තද අතීතයේ සිටි හෙළ රජ දරුවන් තේරුම් ගෙන තිබුණි.වර්තමාන මෙට්‍රික් මිනුම් වලින් උසින් මීටර් 1,000 පමණ වන සීමාවේ සිට කිසිදු ඉදි කිරීමකට ඉඩක් නොතබා ඝන වනාන්තරයක් සඳහා ඉඩ තබා තිබුණි.

ගංඟාධාර ජල පෝෂක ප්‍රදේශයක් සඳහාම පමණක් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ඉපැරණි හෙළ රජ දවසේ වෙන්කර තිබුණි.දකුණු ඉන්දියානු සොළී,චෝල ආක්‍රමණ හේතුවෙන් රාජධානි ක්‍රමයෙන් රටේ නිරිත දිග ප්‍රදේශයට යොමු වුවද මධ්‍යම කඳුකරයට අත නොතැබීමට හෙළ රජදරුවන් බුද්ධිමත් විය.

ඉන්දියානු නායක්කර් වංශික කුමාරිකාවන් සරණ පාවාගත් රාජකීය පිරිස් සහ පෘතුගීසින්ට ගැතිකම් කරමින් රජ වීමට උදවු පැතූ ජොන් දුවන් වැනි රාජකීය පිරිස් වල අනුවණ ක්‍රියාකාරීත්වය සහ ඉංග්‍රීසි බලපෑම් වලින් මිදීමේ තාවකාලික පියවරක් ලෙස මධ්‍යම කඳුකර කලාපයට අයත් ගම්පොළ සහ මහනුවර ප්‍රදේශයට රාජධානි යොමු වීමත් සමඟ ශ්‍රී ලංකාවේ හදවත බඳු වූ මධ්‍යම කඳුකරයට පාරිසරික විනාශයන් ගෙන එන්නට විය.

එම පාරිසරික විනාශය වඩාත් තීවෘ කරමින් ඉංග්‍රීසින්ගේ ශීත පිපාසාව සංසිදුවීමට මධ්‍යම කඳුකරයේ ලදු කැලෑ කපමින් කෝපි වගා කරන්නට විය.කෝපි වගාව දිලීර රෝගයකින් අසාර්ථක වීමෙන් අනතුරුව තේ වගාව ඊටත් වැඩි පාරිසරික විනාශයක් කරමින් ආරම්භ විය.ඒ සඳහා පහසුකම් සැපයීමට දුම් රිය මාර්ග,මහා මාර්ග තනන්නට විය.

අපි නිවටයින් ලෙස අදත් මහා ආඩම්බරයෙන් පවසන වදනකි;"සුද්දා කඩුගන්නාවේ කපොල්ලේ විශාල කළු ගල විද්ද පුවත..."නමුත්,කඩුගන්නාවේ කළු ගල බිඳ මහා මාර්ගයක් තැනීම සමස්ත ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස නිසා හට ගන්නා ස්වාභාවික විපත් ජාලයේ තිඹිරිගෙයයි...

පුරාණ ශ්‍රී ලංකාවේ පැවති මධ්‍යම කඳුකරයේ ඝන වනාන්තර ශාක ස්ථර තුනකින් ආවරණය වී පැවතුණි.උඩු වියන් ස්ථරයේ ශාක මඟින් පොළොවට ඇඳ හැලෙන්නට මූලිකව වර්ෂා ජල බිඳු කැබලි කර මැදි වියන් ස්ථරයේ ශාක වෙත රූටා එවීමට සලස්වයි.මැදි වියන් ස්ථරයේ ශාක මඟින් තව දුරටත් වර්ෂා ජල බිඳු පහරේ වේගය අඩු කර එහි ධාරිතාව අඩු කර කැබලි කරමින් යටි ස්ථරයේ ශාක වෙත යොමු කර අනතුරුව කුඩා පිනි බිඳු විලස පොළොවට පතිත වීමට සලස්වයි.පොළොව තුළත් කොළ රොඩු දිරාපත් වී සකස් වුණ හියුමස් පාංශු ස්ථරයක් පැවතීම නිසා ජල පහරේ වේගය විශාල ලෙස අඩාල වී ඉතා සෙමෙන් ගංඟා දිගේ රටේ පහළ ප්‍රදේශ වෙත ගලා යයි.

මේ ආකාරයේ ක්‍රියාවලියක් අතීතයේ පැවතුණි.එහෙත්,තේ වගාව සඳහා මධ්‍යම කඳුකරයේ පැවති ඝන වනාන්තරය එළි කොට තේ පැළ සිටුවීමත් , තේ වගාව සඳහා නීත්‍යානුකූල නොවන අයුරින් දකුණු ඉන්දීය කම්කරුවන් ගෙන්වා ඔවුන් වෙත ලැයින් නමින් අක්‍රමවත් අඩු වියදම් ජනාවාස තනා දීමත් සමඟ විනාශය තව තවත් වැඩි විය.

මධ්‍යම කඳුකරයේ සංචාරක ව්‍යාපාරය යැයි කියමින් විශාල හෝටල්,බංගලා,ගොල්ෆ් පිට්ටනි ඉදි කිරීමෙන් තව දුරටත් වනාන්තර හෙළි පෙහෙළි කරන්නට විය.ඒ 1948 ප්‍රථමයේ අධිරාජ්‍යවාදීන් සහ නායක්කාර් වංශික රාජකීයයන් අපේ රටේ හදවත් වූ මධ්‍යම කඳුකරය සංවේදී පරිසර පද්ධතියට සිදු කළ විනාශයයි.

1948න් පසුව පාලනය බාරගත් දේශීය අධිරාජ්‍ය ගැති නායකයින් ඉංග්‍රීසින්ගේ අසාර්ථක ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යමින් අධිරාජ්‍ය රටවල් වලින්ම ආධාර හිඟා කමින් මහවැලි නම් ව්‍යාපෘතියක් නිමවා මධ්‍යම කඳුකරය උඩු යටිකුරු කරවීමේ මූලාරම්භයක් දැමීය.මෙහි අභිප්‍රාය ලාභ මිලට ජල විදුලිය උත්පාදනය වුවද, මෙයින් සිදු වූ ස්වාභාවික හානිය සමඟ සමපාත කරන විට මෙය අන්වශ්‍ය වියදමක් පමණක්ම විය.ඉන් නොනැවතී ඊට පසුව පත් වූ ආණ්ඩු මඟින් කුඩා පරිමාණ ජල විදුලි බලාගාර 250කටත් අධික ප්‍රමාණයක් සඳහා 'පාරිසරික වාර්තා' කැඳවීමකින්වත් තොරව දේශපාලන බල පුළුවන්කාරකම් වලට බලපත්‍ර ලබා දී ඇත.(තොරතුරු දැන ගැනීමේ අයිතිය සුරක්ෂිත නිසා ඔබට මේ පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලයෙන්,මධ්‍යම පරිසර අධිකාරියෙන් සත්‍ය අසත්‍යතාවය ලිඛිතව විමසිය හැක...)

මෙම කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර මධ්‍යම කඳුකරයෙන් නොනැවතී රටේ අභ්‍යන්තර තැනිතලා කලාපයේ ශේෂ කඳු දක්වාත් ව්‍යාප්ත වී අහිතකර ප්‍රතිඵල මෙවර නිරිත දිග මෝසම් වර්ෂාවත් සමඟම ගෙන දුණි.මෙවර නාය යෑම් ඇති වූ බොහෝ කඳු ගැටවල කුඩා පරිමාණ විදුලි බලාගාර ඉදි කිරීමේදී පරිසරයට සිදු වූ හානිය මඟින් නාය යෑම තීවෘ කර තිබේ.ආඳා දොළ මීට හොඳම නිදසුනයි.




මධ්‍යම කඳුකර කලාපයේ ගිනිකොණ දිග ප්‍රදේශයේ පිහිටි බදුල්ල දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 66%ක් නාය යෑම් අවධානම් කලාප බව ඔබ දන්නවාද?(තොරතුරු ලබා ගත හැකියි ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය...)මේ ආයතනය මඟින් 2005 වර්ෂයේදී 'මීරියබැද්ද ප්‍රදේශයේ' සිදු කළ පර්යේෂණ වාර්තාව මඟින් හෙළි කර තිබුනේ මීරියබැද්ද දැඩි නාය යෑම් අවධානමක පවතින නිසා එම ප්‍රදේශයේ පදිංචි පවුල් සඳහා වෙන ස්ථාන ලබා දී පදිංචි කරවන ලෙසයි.එහෙත් 2014 වර්ෂයේ නාය යෑම වන අවස්ථාවේ 34 දෙනෙක් නායට යට වී මිය යන තුරා එවකට ආණ්ඩුවට ඇස් ඇරුනේ නැත.

තත්වය එසේ තිබියදී 2008 වර්ෂයේ එවකට පැවති ආණ්ඩුව 'උමා ඔය' ව්‍යාපෘතිය හිතුවක්කාරි ලෙස පරිසර වාර්තා පවා ලබා නොගෙන ආරම්භ කරේ ඉරානයේ ප්‍රාග් සමාගමේ ඉරාන ජාතික ඉංජිනේරුවන්ට රැකියා ලබා දීමත්,ඉරානයට 7%ක් ණය පොළිය ගෙවීමත්,හම්බන්තොට ජනතාව ඇස් බැන්දුමකට ලක් කරවා ඡන්ද ලබා ගැනීම සහ තමන්ට එන කොමිස් මුදල ගැන පමණක් සිතාය.

'උමා ඔය ව්‍යාපෘතිය' යනු මහවැලි ව්‍යාපෘතියට වඩා වැඩි පාරිසරික හානියක් සිදු කරන අභ්‍යන්තරික භූ විද්‍යා ක්‍රියාවලියකි.මේ මඟින් පොළොව අභ්‍යන්තරයේ කි.මී. ගණනාවක දැවැන්ත උමන් ජල මාර්ගයක් සකස් කරමින් භූ අභ්‍යන්තරික ජල පද්ධතියට පවා අවහිරතා ඇති කරවයි.එපමණක් නොව පොළොව අභ්‍යන්තරයේ දැවැන්ත කැනීම් සිදු වන නිසා අභ්‍යන්තර භූ ජලය ටොන් ගණනින් පිටතට විශාල පීඩනයක් සහිතව කාන්දු වී දැවැන්ත නාය යෑම් ඇති විය හැකිය.

බණ්ඩාරවෙල - බදුල්ල පාරේ 'මකුලැල්ල' නම් ස්ථානයේ පොළොව අභ්‍යන්තරයේ විශාල භූ ගත ජල කාන්දුවක් සිදු ව්න බව රටේ පුරවැසියන්ට දැන ගැනීමට අයිතියක් ඇත.එහි මතුපිට සාධකනම් පෙනෙන්නට තිබේ. බණ්ඩාරවෙල මධ්‍යම මහා විද්‍යාලයේ කනිෂ්ඨ අංශයේ ගොඩනැඟිලි සියල්ලම පාහේ බිත්ති දැවැන්ත ලෙස පුපුරා ගොස් තිබෙන බව එහි යන ඔබට නිරීක්ෂණය කළ හැකිය.

මෙම භූ අභ්‍යන්තරික ජල කාන්දුව වසා දැමීමට තරම්වත් තාක්ෂණයක් ඉරානයේ ප්‍රාග් සමාගමට නොවීය.ඔවුන් ඒ සඳහා ජර්මන් සමාගමක සහාය පතයි.ජර්මන් සමාගමේ ක්‍රමවේදය කළු ගල්,සිමෙන්ති දමා සිදුර වැසීම නොවේ.රසායනිකයක් ස්ප්‍රේ කිරීම මඟින් සිදුර වැසීමයි.එමඟින් මධ්‍යම කඳුකරයේ භූ අභ්‍යන්තරයේ ජල අංශු වෙත විෂ රසායනික එක් වීමේ අවධානමක්ද පවතී.



පුරාණ හෙළ රජවරු වැව් සකස් කිරීමේදී වැවට ඉහත්තාවෙන් කුරුළු පාළුව නමින් විශාල ඝන වනාන්තරයක් නිර්මාණය වෙන්නට ඉඩ හැරියේ නාය යෑම් වළක්වා ගැනීමේ තාක්ෂණයක් ලෙසයි.එහෙත්,වර්තමාන ආණ්ඩු සියල්ලම නිර්මාණය කරන ජලාශ ව්‍යාපෘති වලට ඉහළින් විශාල නගර නිර්මාණය කරයි.මෙය මරුවාට අත වැනීමකි.

මේ මධ්‍යම කඳුකරය තුළ සිදු වන පාරිසරික හානියයි.මධ්‍යම කඳුකරයේ සිට ඇඳ හැළෙන ගංඟා අවහිර කරමින් හෝටල්,කර්මාන්තශාලා ,අධිවේගී මර්ග පද්ධති පාරිසරික වාර්තා නොසලකා හරිමින් ඉදි කරයි.මෑත අතීතයේවත් කඩුවෙල,අතුරුගිරිය,මාළඹේ ජලයෙන් යට වූයේ නැත.එහෙත් වර්තමානයේ එම ප්‍රදේශ ජලයෙන් යට වන්නේ අධිවේගී මාර්ගය තැනීමේදී පස් ටොන් ගණනින් පුරවා විශාල ප්‍රාකාරයක් ලෙස අධිවේගී මාර්ගය තැනීමෙන් ස්වාභාවිකව ජලය බැස ගිය ඇල මාර්ග , දොළ මාර්ග අවහිර වීම හේතුවෙනි.



ආණ්ඩු ඇත්තේ ආපදාවක් වූ විට ජනතාවගෙන්ම හිඟා කා ආධාර එකතු කර ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමට නොවේ.ආපදා ඇති වීමට ඉඩ ඇති හේතු වළක්වා ජනතාවත්,සොභාදහමත් ආරක්ෂා කොට යථා පරිදි පවත්වා ගැනීමට පමණි.සංවර්ධනය අවශ්‍ය වේ එහෙත් සංවර්ධනය සොභාදහමට අනුගත එකක් විය යුතුය.තිරසාර නමින් බෝඩ් ලෑලි එල්ලාගෙන දේශපාලන හිතවත්කම් මත සිදු වන සංවර්ධනය මඟින් රටත්,ජනතාවත් ඛේදනීය තත්වයකටම පමණක් පත් වේ.

සොභාදහමට සාප නොකරන්න!අප විසින් සාප කළ යුත්තේ අපේම අදූරදර්ශී ක්‍රියාකාරීත්වයන් වෙතයි...




*මේ ලිපිය ලිවීමට මා උනන්දු වූයේ 'ජීවයේ අයිතිය' නමින් කොළඹ පැවති විද්වත් හමුවකදී පළ වූ මතවාද මගේ හෘද සාක්ෂිය තුළ කිඳා බැසි නිසාවෙනි.


- නිදහස් මාධ්‍යවේදී / නීති ශිෂ්‍ය ඉෂාර ලක්මිණ.



















Share on Google Plus