" කකුළුවා දිය කෙළින්නේ 'හැළිය' රත් වෙනකම් ද?"



බොහෝ පාඨකයින් මගෙන් විමසා සිටියේ ලාංකේය දේශපාලනයේ අතිශය උණුසුම් මේ අවස්ථාවේදී "Lanka dna" බ්ලොග් අඩවිය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයිද? යන කාරණාවයි.

නිදහස් මාධ්‍යවේදීන් වශයෙන් සහ සක්‍රීය පුරවැසියන් වශයෙන් මේ අවස්ථාවේදී නිහඬ වීමට අපට කිසිදු අවශ්‍යතාවයක් හෝ යටි අරමුණක් නොමැත.අප හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ බෑනාගේ සමාගම් වල මුදල් මත යැපෙන මාධ්‍යවේදීන් නොවේ.

බොහෝ දෙනක් කකුළුවාට අත් වන ඉරණම දන්නවා විය යුතුය.කකුළුවා මත්ස්‍ය අලෙවිසැල් වලදී අලෙවි කරන්නේ බොහෝ විට ප්‍රාණය අර්ධ වශයෙන් නිරුද්ධ කොටය.කකුළුවන් මිළදී ගන්න පාරිභෝගිකයා නිවසට ගොස් වතුර හැළි‍යට කකුළුවන් දමා ලිප ගිනි පත්තු කරයි.ලිප ගිනි මෙලවෙන තෙක් කකුළුවන් තමනට යළිත් දිය කෙළීමට හොද පරිසරයක් ලැබුනැයි සතුටෙන් යුතුව ඒ මේ අත හැළිය තුළ ගමන් කරයි.එහෙත් ක්‍රමයෙන් හැළිය රත් වෙත්ම කකුළුවා අවසන් ගමන් යන්නේ පාරිභෝගිකයින්ට රස භෝජනයක් වෙමිනි.

ධනේෂ්වර දේශපාලන සමාජ ක්‍රමය තුළ 'කකුළුවා සහ හැළිය' අවබෝධ කර ගැනීම පාඨක ඔබට භාරය.

රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස තනතුරු දරන අවධියේදී ඔහුගේ විෂය පථයට ශ්‍රී ලංකා මහා බැංකුව අයත් නොවූ බවත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විෂය පථයට ශ්‍රී ලංකා මහ බැංකුව අයත්ව තිබූ බවත් දිගින් දිගටම පැවසීය.එහෙත් යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව නිකුත් කරන ලද මුදල් නෝට්ටු වල මුදල් අමාත්‍යවරයා ලෙස අත්සන් තබා තිබුනේ අමාත්‍ය රවී කරුණානායක මහතාය.එයින් තහවරු වන්නේ අමාත්‍ය රවී කරුණානායක මහතා තමන්ට එල්ල වන චෝදනා වලින් ගැලවීමට අග්‍රාමත්‍යවරයාව වුවද උකසට තැබීමට පසුබට නොවන පුද්ගලයෙකු බවයි.

ඛනිජ තෙල් සංස්ථා සේවකයින් කැඳවූ හදිසි වැඩ වර්ජනය දවසේ කොළොන්නාවේ එ.ජා.ප. සංවිධායකවරයාගේ ආධාරකරුවන් විසින් පොලිසිය ඉදිරිපිටදීම ඛනිජ තෙල් සේවකයින්ට පොලු මුගුරු වලින් පහර දෙන වීඩියෝ දර්ශන පවා තිබියදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සිදු කර විහිළු සහගත් ප්‍රකාශය නිසා ශ්‍රී ලංකා පොලිසියේ කීර්තියට බරපතළම හෑල්ලුව සිදු විය.

එමෙන්ම යාපනය මහාධිකරණ විනිසුරු ඝාතන උත්සාහයේ සිදු වීම පිළිබඳව පවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සිදු කළ විහිළු සහගත ප්‍රකාශය යාපනය ගරු මහාධිකරණ විනිසුරුතුමන් විසින් පවා දෝෂදර්ශනයට ලක්කරන ලදි.

යහපාලන ආණ්ඩුවේ ධුර කාලය අවසන් වූ දිනෙක ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමයට හානි කළ සියල්ලන්ටම නීතියෙන් දඩුවම් විඳීමට සිදු වනු නියතය.

රතුපස්වලදී ජනතාවගේ උද්ඝෝෂණයට හිතුමනාපයට වෙඩි තැබීමට අණ දුන් බ්‍රිගේඩියර් වරයාට අත් වූ ඉරණම අපි දුටුවෙමු.

ඛනිජ තෙල් සේවකයින්ද පෙර දැනුවත්කිරීම් නොකර හිතුමනාපයට වැඩවර්ජන කැඳවීම ඉතාම අසාධරණය.නමුත්,කිසිම දේශපාලකයෙකුට වැඩ වර්ජන සිදු කරන සේවකයින්ට මැරවරයෝ යොදා පහරදීමේ බලයක් නීතියෙන් පැවරී නොමැත.

එදා භාරත ලක්ෂ්මන් ඝාතන චෝදනාව හමුවේ හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා දුන් මාදිලියේ උත්තර බැඳීමක් අමාත්‍ය රවී කරුණානායක විසින් ජනාධිපති කොමිසම හමුවේ ලබා දීම වරලත් ගණකාධිකරන වෘත්තියට පවා සිදු කළ අපහාසයකි.

මේ සියලු සිදුවීම් දාමය හමුවේ සතුටින් ඉපිළ යන ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් කකුළුවන්ගේ හැසිරීමක් දක්වයි.එහෙත් නීතිය සැමට සමාන රාජ්‍යයක ඩුබායි බැංකු ගිණුම් සහ ඩුබායි වත්කම් සොයනා දිනය වැඩි ඈතක නොවන බව මතක් කළ යුතුය.

ජනතාව වසර 05 කට වරක් ආණ්ඩුවක් පත් කරගන්නේ 'සයිටම්' වැනි ආයතනවල බංකොලොත්භාවය රැකීමට නොවේ.ආණ්ඩුව මුදලාලි කෙනෙකු විසින් මෙහෙයවයිනම් ඒ ආණ්ඩුවේ පැවැත්ම වැඩි ඈතක නොවන බව ධනේෂ්වර ක්‍රමයේ පරිහානිගත සිව්වෙනියාමය තුළ ඇමරිකාවෙන්,ග්‍රීසියෙන් අපි දුටු සත්‍යය ශ්‍රී ලංකාවටද අදාළය.


මේ සියලු දේශපාලනික කාරණාවන් මහපොළොව උණුසුම් කරද්දී ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය පරිපාලනය මුලුමනින්ම බිඳ වැටී නිලධාරීවාදී පාලනයකට නතු වී ඇත.ඩෙංගු උවදුර ව්‍යාප්තියට පවා එය හේතුවක් වී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක යුතුකම වහාම නිසි කල්වේලාව ඉක්මවීමට ප්‍රථම මැතිවරණ පවත්වා ජනතාවට තම ඡන්ද බලයෙන් නියෝජිතයින් පත්කර ගැනීමට ඉඩ සැලැස්වීමය.

සියලු දේශපාලකයින්ට මතක් කිරීමට ඇත්තේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් 1971,1977,1987,1994,2001 යුගවලදී මෙන් තවදුරටත් ඇන්ඳවීම දුශ්කර බවය.වර්තමාන සිවිල් සමාජය ඉතාම සක්‍රීය තත්වයක පවතී.සමාජ ජාල මාධ්‍ය හරහා රටේ තරුණ පරපුර නිතර යාවත්කාලීන වන දැනුවත් පුරවැසියන් බවට පත් වී තිබේ.



- නීති ශිෂ්‍ය / නිදහස් මාධ්‍යවේදී ඉෂාර ලක්මිණ.








Powered by Blogger.