" දේශයේ ජීවය ආනන්දය සහ නාලන්දය නම්... "



වර්ෂ 1886 ඉල් මහේ පළමුවැනිදා කොළඹ මැලිබන් වීදියේ අංක 16 දරන භූමියේ පිහිටුවන ලද බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව පහතරට සිංහළ පවුල් වල දූ දරුවන්ට ඉංග්‍රීසියෙන් බෞද්ධ හා පාලි මෙන්ම ලෞකික විෂය දැනුම නොමිලයේ ලබා දීමේ මූලික අරමුණ පෙරදැරිව පිහිටුවන ලද්දේ ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙනි. 


මුල් කාලීනව ආනන්දය පවත්වාගෙන යාම සඳහා දේශීය බෞද්ධ ධනවතුන්ගේ අරමුදල් මෙන්ම , කොළඹ නාගරික කම්කරු දුගී ජනතාවගේ අරමුදල් 'පරම විඥානාර්ථ සංගමය' වෙත ලැබුණි.මෙලෙස ආරම්භ වූ පාඨශාලාව පසුව 'මරදාන පරණ වාඩිය ප්‍රදේශයේ රාජපක්ෂ මුදලිතුමාට අයත්ව තිබූ භූමිය' වෙත නැවත ස්ථාපිත කර පසුව ගුණානන්ද මහා විද්‍යාලය යනුවෙන් නම් තැබීමට යෝජනා වුවද එයට ගුණානන්ද හිමියන්ගේ දැඩි විරෝධතාවය එල්ල වීම නිසා ධර්ම භාණ්ඩාගාරික 'ආනන්ද හිමියන්ගේ' නමින් නැවත පාසල විශාල වපසරියක ගොඩනැඟිලි ද සමඟ ස්ථාපිත විය.

ආනන්දය මරදාන ප්‍රදේශයේ ස්ථාපිත කරන විට මුස්ලිම් , දෙමළ ජනතාව පවා තම මූල්‍යමය දායකත්වය සපයා ඇති බව ඩී.බී.ජයතිලක මහතාගේ චරිතාපදානයෙහි සඳහන් වේ.මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සිට ඩී.බී.ජයතිලක මහතාව ගෙන්වාගෙන කොළඹ ආනන්ද විද්‍යාලය ගොඩනඟන අභියෝගය පරම විඥානාර්ථ සංගමය විසින් පවරා තිබේ. 

ආනන්දය සිංහළ බෞද්ධයන්ට පමණක් සීමා වූ පටු විද්‍යස්ථානයක් නොවීය.ආනන්දයේ නියෝජ්‍ය විදුහල්පති ධුරය ශ්‍රී ලංකාවේ කීර්තිමත් පුරවැසියෙකු වන ටී.බී.ජයා මහතා විසින්ද හොබවා තිබේ.එතුමා ධූර දරන කාලය තුළ ආනන්දීයයන් අධ්‍යාපනික,ක්‍රීඩා සහ විෂය බාහිර යන සියලු අංශයන්හි විශිෂ්ටයන් කිරීමට එතුමා රාත්‍රී කාලයේ පවා නිදි වර්ජිතව ක්‍රියා කළ බව ආනන්දයේ කෞතුකාගාරයෙහි තැන්පත් කර තිබෙන පැරණි විදුහල්පති වාර්තා පරිශීලනය කරන ඕනෑම ඇස් පෙනෙන බුද්ධිය ඇති අයෙකුට වැටහෙන සත්‍යකි. 

ටී.බී.ජයා මහතාට මරදාන 'සහිරා විද්‍යාලය' පිහිටුවීමෙන් අනතුරුව විදුහල්පති ධුරයට පත්ව 'සහිරා විද්‍යාලයට' යාමට සිදු වූ අවස්ථාවේ එතුමා කඳුළු වගුරුවමින් ආනන්ද විද්‍යාලයේ එවකට සේවයේ කළ ගෞරවනීය භික්ෂූන් වහන්සේලාට වැද නමස්කාර කළ සත්‍යය දන්නේ කීයෙන් කී දෙනාද? 

අදටත් කොළඹ මහ නගර සභාව විසින් කොළඹ 10, මරදාන පොලිසිය ඉදිරිපිටින් සම්බන්ධ වී බොරැල්ල තෙක් දිවෙන මාර්ගය පී.ද ඇස් කුලරත්න මාවත ලෙසත්, මරදාන පොලිසිය අසලින් සම්බන්ධ වී පංචිකාවත්ත අතුරු පාර ඔස්සේ ඉබ්බන්වල හන්දිය දක්වා දිවෙන මාර්ගය ටී.බී.ජයා මාවත ලෙසත් නම් කර ඇත්තේ මේ ජීවමාන සත්‍ය ලොවට පෙන්වීමටයි. 

පී.ද ඇස් කුලරත්න මහතා යනු ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයෙක් වගේම ටී.බී.ජයා මහතා මෙන්ම ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙකි.කොළඹ ආනන්ද විද්‍යාලයේ වසර 131 ඉතිහාසය තුළ ලද විශිෂ්ටතම විදුහල්පතිවරයා වූ බවට ඉතිහාසය සාක්ෂ්‍ය දරයි.1924 වසරේ දී ආරම්භ වූ 'යාපනය තරුණ කොංග්‍රසය' කීර්තිමත් අධ්‍යාපනඥයෙකු වූ හැන්ඩි පෙරින්පනායගම් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වන විට එහි කොළඹ දී පැවති සාකච්ඡා සඳහා සෙවන සැලසූයේ කොළඹ ආනන්දය බව දන්නේ කීයෙන් කී දෙනාද?යාපනයේ තරුණ කොංග්‍රසයේ දෙවැනි සම්මේලනයේ දී එහි සභාපති තනතුරට යාපනයේ දෙමළ තරුණයින්ගේ ඒකච්ඡන්දයෙන් එවකට ආනන්ද විද්‍යාලයීය විදුහල්පති පී.ද ඇස් කුලරත්න මහතාව ඉතාම ගෞරවෙන් පත් කර ගත් සත්‍යය දන්නේ කීයෙන් කී දෙනාද? 

එමෙන්ම ආනන්ද විද්‍යාලයේ පී.ද ඇස් කුලරත්න විදුහල්පතිතුමාගේ ධුර කාලය තුළ දෙමළ ජාතික ගුරුවරුන් කිහිපදෙනෙක් විසින් ආනන්දීයයන් හට දෙමළ භාෂාව ද , සති අගදී පී.ද ඇස් කුලරත්න මහතා විසින් යාපනයේ තරුණ සංගමයේ මූලස්ථානයට ගොස් යාපනයේ තරුණයින්ට සිංහල භාෂාවද ඉගැන්වූ සත්‍ය දන්නේ කීයෙන් කී දෙනාද? 

එවකට යාපනයේ දෙමළ තරුණයින් විසින් ආනන්ද විද්‍යාලයේ විදුහල්පති පී.ද ඇස් කුලරත්න මහතාව 'ලංකාවේ ගාන්ධි' යන ආදර නාමයෙන් හඳුන්වා තිබේ. 

කොළඹ ආනන්ද විද්‍යාලය වෙත දරුවන් ඇතුළත් කිරීමට තිබුණ දැඩි තදබදය නිසා එයට විසඳුමක් ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ අරමුණු සහ දැක්ම මත පදනම්ව සහෝදර පාසලක් ලෙස කොළඹ නාලන්දා විද්‍යාලය ස්ථාපිත කරන ලද්දේත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රේෂ්ඨ විදුහල්පතිවරයෙකු වූ පී.ද ඇස් කුලරත්න මහතා විසින්ම වේ. 

මෑතකාලීනව ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයෙකු වූ ඉමිතියාස් බාකිර් මාකර් (කළුතර-බේරුවල.)කේන්ද්‍ර කර ගනිමින් දේශපාලනය සිදු කළ අයෙකි.ඔහු ආදි ආනන්දීයකු පමණක් නොව ආනන්ද විද්‍යාලයීය සිංහල භාෂා විවාද කණ්ඩායමේ සිටි දක්ෂතම නායකයා බව දන්නේ කීයෙන් කී දෙනාද? 

........................................................................................................... 

ඔව්, අපි යුද්ධ කළා. අවුරුදු 30ක් යුද්ධ කළා.අපි අපේ අනාගතය කාලකන්නී යුද්ධයකට අවුරුදු 30ක් පාවලා දුන්නා.ඇත්තටම යුද්දේ ඇති කළේ කවුද>සිතන්න!!! 'යුද්දය ඇති කරවපු' සිංහල,දෙමළ දේශපාලුවෝ උන්ගේ ළමයි යුද්ද කරන්නද යැවුවේ? එංගලන්තයටද යැවුවේ?සිතන්න!!! 

ඔව්.1983 මුලින්ම මරණයට පත් වුණ හමුදා නිලධාරියා ආනන්දයේ ඉගෙන ගත්තු කෙනෙක් තමයි.ඇයි ඒ විතරද 2009 යුද්දය අවසන් කරන්න නායකත්වය දීපු ගොඨාභය රාජපක්ෂ,සරත් ෆොන්සේකා,වසන්ත කරන්නාගොඩ,කමල් ගුණරත්න... ආනන්දේ ඉගෙනගත්තු කොල්ලෝ තමයි.(ඔවුන්ගේ සේවය ගෞරවනීයයි එයට මා අභියෝග නොකරමි.) 

හැබැයි,ඔය යුද්දය නිසා ගමේ කනිෂ්ඨ පාසලේ ඉගෙනගෙන ඕලෙවල් වලින් පස්සේ ගෙදර ඉන්නකොට පවුලේ නංගිලා , මල්ලිලා බඩ ගින්න ඉවසගන්න බැරුව අඬද්දී ගෙදර හරියේ හාල් සේරුවක් නැති හන්දා, කිරි පිටි පැකට් එකක් ගන්න සල්ලි නැතිව අම්මා ලත වෙද්දී අම්මාගේ තන පුඩු වැහැරිලා මල්ලි කිරි උරද්දී වේදනාවෙන් මැටි කළයෙන් මඩ මිශ්‍ර වතුර උගුරක් අමාරුවෙන් බොන අම්මා දිහාව බලන් ඉදලා පවුලේ කුස ගින්න නිවන්න බොරු වයස් හරි දාලා, හමුදාවලට බැදුන අයියලා යුද්ද බිමේ ඉදිරියෙන් යුද්ද වදිද්දි ටෙරාලා අටවපු ජොනි බට්ටෝ පෑගිලා කකුල්,අත් පය ,ඇස් ජීවිත අහිමි වෙද්දී සමහර විට උන්ගේ මළ කඳන් පිච්චිලා කර වෙලා සීල්කරපු මිනී පෙට්ටියක කෙසෙල් කඳන් ගෙවල් වලට ආපු ගම්වල කනිෂ්ට පාසල් වල කොල්ලෝ, කෙල්ලෝ යුද්ද කරේම නැද්ද? (සියඹලා ගෙනෙල්ලාම නැද්ද?) 

* කුරුණෑගල මහව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ , අනුරාධපුරය කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගෙයක් ගෙයක් ගානේ ඇවිදලා බලපල්ලා...( ඊනියා පුහු අභිමානයෙන් වැජඹෙන ගෙවල් වල සැප මෙට්ට උඩ ඉදන් යුද්ධ විචාර කරන ආනන්දයේ කියා ගත් සමහර ආනන්දියනි.) 

ඒ දකුණේ සිංහල ආණ්ඩුව යටතේ හමුදා සේවය කළ කොල්ලන්ගේ, කෙල්ලන්ගේ ඉරණමයි.උතුරේ ඊළාම් පාලනය යටතේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් අවුරුදු 11 යාන්තමින් පිරුණු පොඩි එකාව පාසල්වලට කඩා පැන බලහත්කාරයෙන් ගෙන ගොස් සයනයිඩ් කරල් බෙල්ලේ රුවා, පැන්සල අතට ගෙන හුරුවූ පොඩි එකාට තුවක්කුව අතට දෙයි.පොඩි එවුන් එදිරිපිටම උන්ව එල්.ටී.ටී.ඊ. යෙන් රැගෙන ගියාට විරෝධ‍ය පාන පොඩි එකාගේ තාත්තාට වෙඩි තබා මරා දමයි.බිම පෙරළි පෙරළී ළතැවෙන අම්මාට එල්.ටී.ටී.ඊ. කේඩරයින් විසින් පයින් ගසමින් ඇඳගෙන ගොස් දමයි. 

එල්.ටී.ටී.ඊ. කේඩරයින් විසින් පොඩි එවුන් ඉදිරියේදීම අක්කාගේ බඩට මරාගෙන මැරෙන බෝම්බ ගැට ගසා අක්කාගේ මනස විකෘති කර මරාගෙන මැරෙන්න පුහුණු කරයි. 

මේ සියල්ල අවසන ඉතිරි වූ අසරණ අම්මලා තම දරුවන්ගේ ෆොටෝ අතැතිව තම දරුවන් සොයා දෙන්නැයි ඉල්ලමින් අහින්සක උද්ඝෝෂණයක් කරද්දී ඒ තැන් වලට පර දේසක්කාර ජාත්‍යන්තර සංවිධාන සහ 'අන්තවාදී' දෙමළ දේශපාලුවෝ ගොස් ඔවුන්ව තව තවත් ශ්‍රී ලංකා ආණ්ඩුවට විරුද්ධව පෙළ ගස්වයි. 


දකුණේ අසරණ අම්මලා මැයි 18 යුද්ද හමුදාවට බැදී මිය ගිය තම දරුවා සිහි කර පහනක් දල්වා තම සිතට පොඩි හෝ සහනයක් ලබා ගන්න හදද්දී ආදි ආනන්දීයකු කියන කැබිනට් ප්‍රකාශකතුමා රණවිරු සැමරුම් සංහිදියාවට බාධාවක් නිසා තහනම් කරන්න කියයි. 

උතුරේ අසරණ අම්මලා තමන්ගේ පුතා,දුව වෙනුවෙන් මහවිරු සැමරුම් තියලා හිත සනසා ගන්න හදද්දී ආදි නාලන්දීයකු කියන හිටපු ජනාධිපතිතුමා ඔන්න කොටි ඔළුව උස්සනවෝ කියලා කෑ ගහලා රට අවුලුවයි.සිතන්න!!! 

ආනන්දයට සහ නාලන්දයට දෙමළ, මුස්ලිම් ජාතික ගුරුවරුන් පැමිණීමේ වරද කුමක්ද?මා සාක්ෂ්‍ය සහිතව සදහන් කළ පරිදි සහයෝගයෙන් සියලුම දෙනා ක්‍රියා කළ ඉතිහාසයක් ආනන්දයට ඇත. 

ආනන්දයේ උගන්වපු ගුරුවරුන්ගේ ශිල්පය ගමේ කටු මැටි බිත්ති ඇති කනිෂ්ට පාසලේ දරුවා ඉගෙනගෙන ඒ දරුවාත් වෛද්‍යවරයෙක්,ඉංජිනේරුවරයෙක්,නීතිඥයෙක්,ගණකාධිකාරවරයෙක්,හමුදාපතිවරයෙක්,ගුරුවරයෙක්...වගේම අභිමානවත් පුරවැසියෙක් වීම වරදක්ද? 

අපි සෑම දෙනාම සිත්හි තබා ගත යුතු කරුණ වන්නේ ජාතික ගුරු මාරු කිරීම් ප්‍රතිපත්තියට අනූව අඛණ්ඩව වසර 10ක් ඉක්මවා එකම විද්‍යාලයක සේවය කළ ගුරුවරයෙක් ඊට තදාසන්න ආණ්ඩුවේ පාසලකට මාරු කර ඒ වෙනුවට තදාසන්න ආණ්ඩුවේ පාසලකින් ගුරුවරයෙක් අදාළ පාසල වෙත අනියුක්ත කිරීමට ආණ්ඩුවට අයිතිය තිබේ. 

උසස් පෙළ පන්ති සඳහා යොමු කරන්නේ උපාධිධාරී සම මට්ටමේ ගුරුවරුන්ය.අදාළ ගුරුවරුන්ටද රජයේ සේවයේ යෙදෙන්නෙක් ලෙස තමන්ට ලැබෙන මාරු වීම් සාධාරණ නම් එය ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගැනීමට සදාචාරයක් තිබේ.මන්දයත්,ඒ ගුරුවරයා උපාධි ධාරියෙකු වූයේ මේ රටේ මහජන බදු මුදල් වලිනි.සෑම පුරවැසියෙකුගේම දරුවෙකුට වෙනස්කමකින් තොරව කෙතරම් දුශ්කරතා යටතේ වුවද ශිල්පය ලබා දීමට ගුරු පත් වීම් ලද ගුරුවරයෙකු තම උත්තම ගුරු භූමිකාව තුළ සූදානම්ව සිටිය යුතුය.එසේ කළ නොහැකිනම් ගෞරවනීය ගුරු සේවයට සම්බන්ධ නොවී සිටිය යුතුය.මෙය ආනන්දයට නාලන්දයට පමණක් නොව සහිරා විද්‍යාලවලට , හින්දු විද්‍යාලවලට සහ රාජකීය විද්‍යාලයට විසාඛා විද්‍යාලයන්හි ගුරුවරුන්ට පවා පොදු ධර්මතාවයකි. 

නියම ආනන්දීයකු යනු,කුහකත්වයෙන් තොරව සෑම දෙනාම සතුටින් සමඟියෙන් ජීවත් වන ලස්සන ලංකාවක් දකින්නට කැමති ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරන්නෙකු වේ. 

* ඔය අද ආනන්දයේ ගුරු හිඟය ගැන කළබල වෙන මිනිස්සු 2010 වසරේ සිට ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයට භූ ගෝල විද්‍යාව උගන්වන්න ස්ථිර ගුරුවරයෙක් නොසිටි බවත්,භූ ගෝල විද්‍යාව උගන්වන්න ස්ථිර විද්‍යාගාරයක් හෝ අඩුම තරමේ අඩි 10' අඩි 10' පන්ති කාමරයක් හෝ වෙන්වී නොතිබුණ බව දන්නේද? 

අනාගත හමුදාපතිවරුන් බිහි කරන්න ඕනෑ තරම් කැඩෙටින් වලට, ශිෂ්‍ය නායකයින්ට හෝල් ගනන් පවා වෙන් කර තිබෙන වපසරියක කලා අංශය තියෙන්නේ ක්‍රීඩාගාරයේ යට තට්ටුවේ ක්‍රීඩා පිටියේ තරඟාවලියක් පැවැත්වෙන වෙලාවක ශිෂ්‍යයොයි ගුරුවරුයි දූ විල්ලෙන් නෑවි නෑවි ඉගෙනගන්න බව දන්නේ කීයෙන් කී දෙනාද? 

භූ ගෝල විද්‍යා ගුරු හිඟය නිසා 2010-2013 කාලයේ දී සහකාර විදුහල්පතිතුමිය සීතා කුලතුංග මහත්මිය උදෑසන 6ට පාසලට පැමිණ උදෑසන 7.15 දක්වා ස්ව කැමැත්තෙන් ශිෂ්‍යයන්ට උසස් පෙළ භූගෝල විද්‍යාව උගන්වා 98%ක් විභාග ප්‍රතිඵල වාර්තා කළ බව දන්නේ කීයෙන් කී දෙනාද?එතුමියගේ මෙහෙයවීමෙන්,භූ ගෝල විද්‍යා සහ භූ ගර්භ විද්‍යා සංගමයේ උනන්දුවෙන් 2011 වර්ෂයේදී මිනුම්දෝරු දෙපාර්තමෙන්තුවෙන් සහ භූ විද්‍යා සහ පතල් කැනීම් කාර්යාංශයෙන් ත්‍යාග වශයෙන් ලද මෙට්‍රික් සිතියම් 92ක් සහ දුර්ලභ පාෂාණ සාම්පල 67ක් භූගෝල සහ භූ විද්‍යාව සඳහා විද්‍යාගාරයක් නොමැති වීමෙන් කලා අංශ ප්‍රධානී කාර්යාලයේ වීදුරු කබඩ් මත තැන්පත් කර තබා ඇති බව දන්නේ කීයෙන් කී දෙනාද? 

මා පාසල් ජීවිතයේ අධ්‍යාපනය ලද පාසල් ද්විත්වයටම මම එක සේ ආදරය කරමි.එහෙත් ආනන්දය තුළදී පුදුමාකාර ක්‍රියාකාරී ජීවිතයක් මට ගත කිරීමට ලැබුණි.ආනන්දය වෙත මා තනතුරු දරන ලද සංගම් හතර මඟින්ම විශාල සේවයක් මගේ සහෝදර ශිෂ්‍ය මිතුරන් සමඟ එක්ව ඉටු කිරීමට මට හැකි විය.ඒ නිසාම ආනන්දයේ සැබෑ ජීවය පිළිබඳව විග්‍රහයක් කිරීමට මට අයිතියක් ඇතැයි සිතමි. 

*** ටී ෂර්ට් එකෙන්,පෙරඩ් එකෙන්,බැච් පාටි එකෙන්,එෆ්.බී.පෝස්ට් එකෙන් ආනන්දීයකු වූවාට ඵලක් නැත.දැන් ශ්‍රී ලංකාවට අවශ්‍ය කුලරත්න පරපුරේ,ජයා පරපුරේ සාමකාමී, විද්වත්, විචාරශීලී ආනන්දීයයන් ය / නාලන්දීයයන් ය. 

එවිට සැබෑ ලෙසින්ම 'දේශයේ ජීවය ආනන්දය සහ නාලන්දය' වනු ඇත.




- නීති ශිෂ්‍ය / නිදහස් මාධ්‍යවේදී ඉෂාර ලක්මිණ.

Share on Google Plus

About Ishara Lakmina